බේරූට් මනාලිය: සාරා ෆෙරාස්



බිත්තියේ රැඳවූ ලොකු ඔරලෝසුවේ, වෙලාව සටහන් වූයේ සවස 5:42 ක් ලෙසිණි. ‘ගින්නක් !’ අනතුරු නළා නාද වෙද්දී, ලහිලහියේ ආරක්ෂිත ඇඳුම් කට්ටලවලින් සැරැසුණු ගිනිභටයෝ දස දෙනා ගිනි නිවන ට්‍රක් රථවලට නැග ගත්හ.

‘ඉක්මන් කරන්න. වරයේ ගින්නක්. ඉක්මන් කරන්න. කෝ ෆෙරාස් ?’ ගිනි නිවන ඒකකයේ ප්‍රධානියා කෑ මොර දෙන්න විය. ‘මම එනවා’ ගිනිභට ඇඳුම් කට්ටලයෙන් සැරැසී, සිය ප්‍රථමාධාර බෑගය එල්ලා ගත් ෆෙරාස් දිව ආවාය. ගිනි නිවන ඒකකයේ සිටි එකම ගැහැනිය ඇයයි. ඇය 27 හැවිරිදි සාරා ෆෙරාස් ය. ගිනි නිවන ඒකකයේ වෛද්‍ය ආධාරකාරිය ඇයයි. ගින්නක් ඇති විට, ඇය ද ගිනි නිවන භට කණ්ඩායමට එක් වන්නීය. ගින්න ඇති ස්ථානයට ගොස්, තුවාල ලැබූවන් සිටින්නේ නම්, ගිලන් රථ පැමිණ ඔවුන් රෝහල්වලට ගෙනයෑමට පෙර අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබා දීම සාරාගේ රාජකාරිය විය.

වරායෙන් නැගෙන්න වූ ගිනිදැල් ඈතදීම දකින්න ලැබුණි. 5.54 වනවිට ගිනි නිවන ට්‍රක් රථ වරායට පිවිස තිබුණි. ගිනිභටයන්ට දැක ගන්නට ලැබුණේ වරායේ ප්‍රධාන ගබඩා අංගනය ගිනි ගන්නා අයුරුය. අංක 9 ගබඩාවෙන් ඇරැඹී තිබූ ගින්න, අංක 10, 11 සහ අංක 12 ගබඩාව තෙක් පැතීරී ගොස් තිබුණි. පළපුරුද්දක් නොමැති, නිර්භීත වරාය සේවකයෝ කීප දෙනෙක් ගින්න නිවා දැමීමට උත්සහ දරන්න වූහ. එය අසාර්ථක උත්සාහයක් බව පැහැදිලිව පෙණුනි. වරාය බලධාරීන් පසුව පැවැසුවේ, සේවකයන් පිරිසක් ගබඩා අංගනයේ තිබූ පැල්මක් පෑස්සීම කළ බවත්, ඔවුන් එම කටයුතු අවසන් කර පිටවී ගොස් පැයකට පසු ගින්න හටගත් බවත්ය.

තම සහෝදර ගිනි නිවන භටයන් ගින්න නිවා දැමීමට වෙහෙසෙද්දී, සාරා ගිනි නිවන ට්‍රක් රියට හේත්තු වී බලා සිටියාය. තුවාලකරුවන් නොසිටි බැවින්, ඇගේ සහාය අවශ්‍ය නොවිණි. ජංගම දුරකතනය අතට ගත් සාරා, ඇය නිතතරම අමතන අංකයට වීඩියෝ ඇමතුමක් ගත්තාය. ‘හලෝ’ කීවේ ගිල්බට් කරාන් ය. ඔහු සාරාගේ පෙම්වතාය. දෙදෙනාගේ විවාහය ලබන 2021 වසරේ ජූනි මාසයේ දී පැවැත්වීමට දින වෙන් කර තිබුණි. කරාන් ලෙබනන් ඇමැති ආරක්ෂක අංශ නිලධාරියෙකි.

‘වරායේ ලොකු ගින්නක්. අපේ කට්ටිය ගින්න නිවා දමන්න ආවා. මේ බලන්න’ යැයි ඇය කරාන් ට ගින්නේ දසුන් ජංගම දුරකනයෙන් පෙන්වන්න වූවාය. ‘ඔයාට ඔතැන ආරක්ෂිතද?’ කරාන් විමසුවේ, තම පෙම්වතිය සාරා ගැන කනස්සලෙනි. ‘මට මගේ කණ්ඩායම තනි කරලා යන්න බැහැ.’ සාරා පිළිතුරු දුන්නාය. ගින්න පැතිරෙද්දී, ගබඩාවෙන් නිකුත් වීමට පටන් ගත්තේ තද තැඹිලි පැහැති දුමකි. ‘මම හිතන්නේ ඔයා ඔතැනින් ගියොත් හොඳයි’ යැයි කරාන් පැවැසුවේය. සාරා ඔහුගේ කීමට කන් දුන්නාය. ඇය තවත් පියවර කීපයක් පසුපසට ගියාය.

‘ගින්න වේගයෙන් පැතිරෙනවා. පාලනය කරන්න අමාරුයි. මොනවද මේ ගබඩාවේ තියෙන්නේ ?’ ඒ වනවිට අංක 12 ගබඩාවෙන් ගිනි දැල් නැගෙන්න පටන්ගෙන තිබුණි. ‘දන්නේ නැහැ. ඉබ්බා දාලා. දොර පාස්සලා සීල් තියලා.’ ගිනි නිවන භටයන්ට සහාය දක්වමින් සිටි එක් වරාය නිලධාරියෙක් පැවසීය. ‘දොර කඩලා බලන්න වෙනවා’ ගිනිභට කණ්ඩායමේ නායකයා කෑ ගැසුවේය. ඒ අනුව, වරාය සේවකයාගේ ද සහාය ඇතිව, ඉබ්බා කඩා, යකඩ කූරකින් ගබඩා අංගනයේ දොර තල්ලු කරමින් විවර කිරීමට වරාය නිලධාරියා සහ ගිනි භටයෝ දෙදෙනා සමත් වූහ.

ගබඩාව ඇතුළත අඳුරුය. දුමෙන් පිරී පැවතිණි. ගබඩාව කෙළවරේ ගිනිදැල් නැගෙන්න විය. දුම්වලා මැදින්, අඳුරට ඇස් හුරුවෙද්දී, එක පෙළට ගබඩාව තුළ ගොඩ ගසා තිබූ ගෝනි තොගය ඔවුන්ට දකින්න ලැබුණි. ඒවායේ ලොකු කලු අකුරින් ලියා තිබූ දේ කියවා ගැනීමට ගිනි භටයන්ට හැකිවිය. ‘දෙවියන්ට ඔප්පුවෙච්චාවේ. ඇමෝනියම් නයිට්‍රේට්’. ඒ සමඟම, ටොන් 1,200 ක ඇමෝනියම් නයිටේ්‍රට් තොගය පුපුරා ගියේය. එය පරමාණු බෝම්බ පිපිරුමකට නොදෙවැනි විය. පළමුවෙන් පිපිරුමට හසුවූයේ දොර විවර කළ ගිනි භටයන් දෙදෙනා සහ වරාය නිලධාරියාය. සාරාගේ වීඩියෝ ඇමතුම විසන්ධි වූයේ ගිල්බට් කරාන් තැති ගන්වමිනි. ගිනි භටයන් දස දෙනාගේත් සාරාගේත් සිරුර පිපිරුමටත් ඉන්පසු නිකුත් වූ මහා ගිනි ජාලලාවටත් හසුවී සුනුවිසුණු විය.

අවමංගල්‍යය මංගල උත්සවයක් වෙයි

පසුගිය අගෝස්තු හතර වැනිදා සවස 6.08 ට ලෙබනනයේ බේරූට් නුවර වරායේ සිදුවුණු එම බිහිසුණු පිපිරුමෙන් කිලෝ මීටර් 5 ක් දුරින් වූ සියල්ල විනාශ විය. කිලෝ මීටර් 15 ක් දුරට පිපිරුමේ කම්පන තරංග ඇදී ගියේය. කිලෝ මීටර් 200 ක් දුරින් මධ්‍යධරණී මුහුදේ පිහිටි සයිප්‍රස් දූපතට දෙදරුම් කෑවේය. බේරූට් නුවර නිවාස ලක්ෂ 3 කට හානි විය. සිදුවුණු හානිය ඇමෙරිකන් ඩොලර් බිලියන 15 ක් බව පසුව තහවුරු විය. 150 කට ආසන්න පිරිසක් මරුමුවට පත් වූහ. තුවාල ලැබූ ගණන 4,000 කි. ගින්න නිවීමට ගිය සාරා ඇතුළු ගිනි භටයන් 10 දෙනාත්, ඔවුන්ගේ සහායට සිටි වරාය නිලධාරීන් ද අතුරුදන් වූවන් ලෙස සැලකිණි. ඔවුන්ගේ සිරුරු කොටස් සොයා පිරිස හඳුනා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

සාරාගේ වියෝව, ඇගේ පෙම්වතා කරාන් ට දරාගත නොහැකි විය. එය ඔහුට කම්පනයක් විය. සාරා මියගියේ වීරවරියක ලෙසිණි. අනතුර පෙනි පෙනී ඇය ඇගේ සහෝදර ගිනි භටයන් තනි කළේ නැත. ඒ අනුව සාරා, ලෙබනන් වැසියන්ගේ පමණක් නොව, ලොව පුරා බොහෝ දෙනකුගේ අවධානය දිනා ගත්තාය.

සාරාගේ උපන් ගම අල් කා ය. මෙම ගම්මානය පිහිටා ඇත්තේ ලෙබනනයේ උතුරු දෙසින්, සිරියාවට මායිම්වය. අල් කා ගම්මානයේ වැසියන්ගේ ජීවිත අවදානම් විය. ඔවුන්ට නිසි ආරක්ෂාවක් ලැබුණේ නැත. 2016 දී සිරියාවේ සිවිල් යුද්ධයත් සමඟ අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් හිස ඔසවද්දී, අල් කා ගම්මානයේ වැසියන්ගේ ජීවිත අනතුරේ වැටුණි. ත්‍රස්තයෝ ගම්මානයට කඩා වැදී බොහෝ දෙනකු මරා දමූහ. සාරා සහ ඇගේ පවුලේ අය දිවි ගලවා ගත්තත්, සාරාගේ ඥාතීහු බොහෝ දෙනෙක් ම්ලේච්ඡ ත්‍රස්තයන් අතින් මැරුම්කෑහ. සාරාගේ එක් ඥාතී නැගණියක අසල්වැසි නිවසේ පදිංචි වී සිටි පවුලක අයගේ පිහිටෙට යෑමෙන් ත්‍රස්තයන්ගේ ග්‍රහණයට හසුවූවාය. ඇයට අත්වූයේ කුරිරු මරණයකි. සාරාගේ පියා ඇලුමිනියම් වෙල්ඩිම්කරුවෙකි. මව ගුරුවරියකි. සාරා ට සොහොයුරියන් දෙදෙනෙකි. ආර්ථික අර්බුද රැසකට මුහුණ දෙද්දී, රජයේ රැකියාවක් තෝරා ගැනීමට සාරා උනන්දු වූවාය. ඒ, රජයේ රැකියාවක ඇති ස්ථාවරත්වය සහ ලැබෙන වරප්‍රසාද ගැන සිතමිනි. සාරා හෙදියක ලෙස පුහුණුව සම්පූර්ණ කළ තැනැත්තියකි. ඇය ගිනි නිවන භට වෛද්‍ය ආධාරකාරියක ලෙස සිවිල් සේවයට එක් වූයේ 2018 දීය. ඇයට කරාන් හමුවූයේ ඉන්පසුවය.

බේරූට් පිපිරුමෙන් සාරා ෆෙරාස්ගේ මියයෑම, අල් කා ගම්මානයේ වැසියන් කම්පනයට පත් කිරීමට සමත් විය. එය ඔවුන්ට දරා ගත නොහැකි විය. බේරූට් වරායේ සිදුවුණු එම බිහිසුණු පිපිරීම ලෙබනනය උඩු යටිකුරු කළේය. අනාරක්ෂිත අයුරින් ඇමෝනියම් නයිට්‍රේට් වසර ගණනක් තිස්සේ ගබඩාවේ අසුරා තැබීමත්, වරාය නිලධාරීන් පවා ඒ ගැන හරිහැටි නොදැන සිටීමත් ලෙබනන් වැසියන්ගේ කෝපයට හේතුවක් විය. තම ජීවිත අනතුරේ දැමීම සම්බන්ධයෙන් බේරූට් වැසියන්ගෙන් රජයට චෝදනා නැගෙද්දී, ලෙබනන් අගමැති ප්‍රමඛ රජය කනගාටුව පළ කළ කරමින් ඉල්ලා අස්විය. මහ මැතිවරණයක් කඩිනමින් පවත්වනතුරු අන්තර්වාර රජයක් ලෙස අගමැති ප්‍රමුඛ ඇමැති මණ්ඩලය කටයුතු කරයි.

සාරා ෆැරේස් හැඳින්වෙන්නේ ‘බේරූට් මනාලිය’ ලෙසිනි. ඒ, ඇය ලබන වසරේ මනාලියක වීමට සූදානමින් සිටි බැවිනි. පසුගිය දා සාරා වෙනුවෙන් සුවිශේෂී අවමංගල්‍යයක් පැවැත්විණි. ඒ, ඇය උපන් අල් කා ගම්මානයේ ය. ඥාති මිත්‍රාදීන් ඇතුළු අල් කා ගම්මානයේ බොහෝ දෙනකු ඊට සහභාගී වූහ. ලෙබනන් ගිනි භටයෝ ඇයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියහ. අවසන් කටයුතු කෙසේ විය යුතුදැයි තීරණය කළේ කරාන් ය. සීල් කරන ලද ඇගේ මිනී පෙට්ටිය සුදු පැහැති එකක් විය. අවසන් ගෞරව දැක්වීමට ආ ලෙබනන් ගිනි භටයෝ ඔවුන්ගේ නිල ඇඳුමින් සැරැසී සිටි අතර, ගිල්බට් ආවේ මනාලයකු ලෙස ටයිකෝට් පැලඳගෙනය.

අවමංගල්‍යය මංගල උත්සවයක් බවට පරිවර්තනය විය. ඉතා නිහඬව ගෞරවයෙන් මිනී පෙට්ටිය මද දුරක් ඔසවා ගෙන යෑමෙන් පසු, එම පරිවර්තනය සිදුවිය. මිනී පෙට්ටිය ඔසවා ගත් පිරිස නටමින් පෙට්ටිය අතින් අතට විසි කරමින් උඩ දමමින් ප්‍රීති වන්න පටන් ගත්හ. ‘මිනී බෑන්ඞ්’ එකක් වෙනුවට මංගල උත්සවවලදී සංගීතය සපයන සංගීත කණ්ඩායමක් පැමිණ සංගීතය සපයමින්, ගී ගයන්න විය. ‘මා සුදු මංගල ඇඳුමින් ඇය විවාහ කරගන්න නියමිතව සිටියා. ඒත් දැන් ඒකට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඇගේ අවමංගල්‍යය, මංගල්‍යයක් කරන්නේ ඒ නියයි. සුදු මංගල ඇඳුම වෙනුවට තෝරා ගත්තේ සුදු මිනී පෙට්ටයක්.’ අවමංගල්‍යය අවස්ථාවට සහභාගී වෙමින්, කරාන් ඉන්ස්ට්‍රගෑම් සමාජ මාධ්‍ය ඔස්සේ සංවේදී සටහනක් පළ කළේය. සෝ සුසුම් මැද උත්වශ්‍රීයෙන් සාරාගේ අවසන් කටයුතු සිදුවිය. සාරාගේ ඥාතීහු කරාන් ඔසවා ගත්හ. කරාන්, මිනී පෙට්ටිය ඔසවාගෙන නටමින් ගිය පිරිසට පසුපසින් ගමන් කළේ ඥාතීන්ගේ කරමතිනි. ඒ, සුදු පැහැති ලේන්සුයක් වනමිනි. ‘අප දෙදෙනා එකතට ජීවිතය ගත කරන්නයි හිටියේ. ඒත් ඔබ මා දමා ගියා. ඔබ නැති ජීවිතය නීරසයි. ඔබේ ආදරේ වෙනුවෙන් මා ජීවත් වෙනවා. මියෙන තුරා මාගේ ආදරය අඩු වෙන්නේ නැහැ.’ තම ආදරිය වෙනුවෙන් කරාන්ගේ අවසන් ඉන්ස්ට්‍රගෑම් සටහන එය විය.

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS