බැග්ඩෑඩිගේ අවසන් හෝරාව



ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  පැවැසුවේ පසුගිය 27 වැනිදා උදෑසනය. සිදුවුණේ කුමක්දැයි ජනපති ට්‍රම්ප් අනාවරණය කළේ ධවල මන්දිරයේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදීය.

ඉරාකයේත් සිරියාවේත් ක්‍රියාත්මක වූ අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩැඩිගේ මරණය පිළිබඳ පුවත කෙරෙහි ලොව කාගේත් අවධානය යොමු විය. සිත්පිත් නැති ඝාතකයකු ලෙස ප්‍රසිද්ධියට පත් අල් බැග්ඩෑඩි, ශ්‍රී ලංකාවේ අපට ද ආගන්තුකයකු නොවන්නේ, පසුගිය අප්‍රේල් 21 වැනිදා, එනම් පාස්කු දා බෝම්බ පිපිරීම්වල පසුපස අයි.එස්. ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානය සිටින බව එම සංවිධානය විසින් පිළිගනු ලැබීමත්, සැඟවී ජීවත්වුණු අල් බැග්ඩෑඩි එම බෝම්බ පිපිරවීම් සම්බන්ධයෙන් වීඩියෝ දසුන් පෙළක් ප්‍රසිද්ධියට පත් කිරීමත් නිසාය.

මීට පෙර ද අල් බැග්ඩෑඩි මියගිය බව ඇමෙරිකන් හමුදාව අවස්ථා කිහිපයකදී පැවැසුවත්, ඒ බව තහවුරු කිරීම ඔවුන්ට ද ගැටලුවක් විය. 2015 වසරේ ඇමෙරිකාව ඉරාකයේ සිදු කළ මෙහෙයුමෙහිදී, ඇමෙරිකාව අල් බැග්ඩෑඩි ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් බැග්ඩෑඩි මිය යන්නට හෝ බරපතල ලෙස තුවාල ලබන්නට හෝ ඇතැයි පැවැසිණි. එම ප්‍රහාරයෙන් පසු බැග්ඩෑඩි සැබැවින්ම ලොවෙන් අතුරුදන් විය. ඔහු යළි කරළියට පැමිණියේ පසුගිය අප්‍රේල් 21 පාස්කු දින සිදුවුණු ප්‍රහාරයෙන් පසු අයි.එස්. ත්‍රස්ත සංවිධානය ප්‍රසිද්ධ කළ විඩියෝ දසුන් පෙළිනි. අයි.එස්. ත්‍රස්ත සංවිධානය සිරියාවට හෝ ඉරාකයට හෝ කොටු වී නොමැති බවත්, ආසියාවට ද අයි.එස්. තර්ජන ඇති බවත් පසක් කරදීමට එම වීඩියෝ දසුන් පෙළ සමත් විය.

මේ වන විට ඉරාකයෙන් සහ සිරියාවෙන් අයි.එස්. ත්‍රස්තයන්ගේ බලය ගිලිහී ගොස් අවසන්ය. අල් බැග්ඩෑඩි ඇතුළු ඉතිරි වුණු අයි.එස්. නායකයන් වයඹදිග සිරියාවට සීමා වූ බව ඇමෙරිකන් බුද්ධි අංශ අනාවරණය කර ගෙන තිබුණි. ඉරාකය අයි.එස්. ත්‍රස්තවාදීන් අඩපණ කළේ ඇමෙරිකාවේ සහාය ඇතිවය. කෙසේ නමුත් සිරියාවේ තත්ත්වය ඊට වෙනස්ය. සිරියානු අර්බුදය නිර්මාණය වූයේ දිගු කලක් තිස්සේ සිරියාවේ බලයේ සිටින ෂියා මුස්ලිම් ජනපති බෂීර් අල් අසාද් ප්‍රමුඛ රජයට විපක්ෂ දේශපාලන කණ්ඩායම් විරෝධය දැක්වීමක් වශයෙනි. රජය පෙරළන්න විපක්ෂ දේශපාලන කණ්ඩායම් විරෝධතා පවත්වද්දී, එම පිරිස් මර්දනයට ජනපති අසාද් හමුදාව යෙදවීය.

ඇමෙරිකාව (එවකට ඇමෙරිකාවේ ජනපති වූයේ බැරැක් ඔබාමා ය.) ප්‍රංශය ඇතුළු බටහිර රටවල් එක් වී සිරියානු විපක්ෂයට අවි ලබා දීම කළේ මෙම අවස්ථාවේදීය. ඒ, සිරියානු රජයේ හමුදාවලට එරෙහි වීමටය. මේ කාලයේ, ඉරාකයේ කුඩා ඉස්ලාමීය කල්ලියක සාමාජිකයන් පිරිසක් දේශසීමා හරහා සිරියාවට පැමිණ සිරියානු විපක්ෂ කණ්ඩායම්වලට එක් වූහ. බටහිරින් ලැබුණු අවි ආයුධවලින් මෙම ඉස්ලාමීය සාමාජිකයෝ ශක්තිමත් වූහ.

2014 වසර වෙද්දී ඉරාකයේත් සිරියාවේත් පළාත් අල්ලා ගනිමින්, ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටවූ මෙම ත්‍රස්ත කල්ලිය, බිහිසුණු ම්ලේච්ඡ ත්‍රස්ත සංවිධානයක් බවට පත්විය. අයි.එස්.අයි.එස්, අයි.එස්.අයි.එල්, දයේෂ් ආදී නම්වලින් හැඳින්වෙන මොවුන් අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයයි. අයි.එස්. අලුගෝසුවෝ, අල්ලා ගන්නා සිරකරුවන්ගේ බෙල්ල කපා දමමින්, එම දසුන් ප්‍රසිද්ධියට පත් කරන්නට වූහ. ඉරාක හමුදාවේත් පොලිසියේත් දහස් ගණනක් වෙඩි තබා අමු අමුවේ මරා දැමූහ. දළදඬු තීරණ ගන්නා, අභීත නායකයකු ලෙස අල් බැග්ඩෑඩි පළමුවරට වීඩියෝ දසුන් හරහා පෙනී සිටියේ ඉරාකයේ මොසූල් නගරයේ නූරි මුස්ලිම් පල්ලියේ සිට තම සාමාජිකයන් අමතමිනි. තමන් සමඟ සහ තම අරමුණ සමඟ එක් වන්නැයි බැග්ඩෑඩි ලොව පුරා සිටින මුස්ලිම් තරුණ තරුණියන්ට ඇරැයුම් කළේය. ඒ සමඟ ලොව නන්දෙසින්, මුස්ලිම් තරුණ තරුණියෝ සිරියාවට ගොස් අයි.එස්. සාමාජිකයන් බවට පත් වූහ. මේ අතර, විදේශවල අයි.එස් අනුගාමිකයෝ බෝම්බ පුපුරුවන්නට පටන් ගත්හ; මෝටර් රථවලින් පදිකයන් යට කරන්නට වූහ. අල් බැග්ඩෑඩි සහ අයි.එස්. ත්‍රස්ත සංවිධානයට සහාය දක්වමින්, වෙනත් රටවල් 29 ක ත්‍රස්ත ප්‍රහාර 140 ක් සිදුවිය. එම ප්‍රහාරවලින් මියගිය ගණන 2,043 ඉක්මවන බව පැවැසෙයි. බටහිර යුරෝපා රටවලටත්, ආසියාවටත් අයි.එස්. ත්‍රස්තවාදීන් බලවත් තර්ජනයක් විය. වෙන් වෙන්ව අයි.එස්. ශාඛා කාර්යාල පිහිටුවීම ඇරැඹිණ. සෙසු අන්තවාදී ඉස්ලාමීය කල්ලිවල සහාය ද අයි.එස්. ත්‍රස්තයන්ට හිමිවිය. අයි.එස්. ත්‍රස්තයන් ලොව බිහිසුණු ත්‍රස්ත සංවිධානය බවට පත් වූයේ ඒ අයුරිනි.

මේ අතර, සිරියානු අර්බුදයේ දී රුසියාව දිගට ම සිරියානු රජයට සහාය දැක්වන්නට විය. (ඊට ප්‍රධානතම හේතුව රුසියාවේ එකම මැදපෙරදිග කඳවුර ඇත්තේ සිරියාවේ බැවිනි.) ෂියා මුස්ලිම් ඉරානය ද සිරියානු ජනාධිපතිට සහාය දැක්වීමට පටන් ගත්තේය. සිරියාවේ අසල්වැසියකු වන තුර්කිය ද සිරියානු අර්බුදයට මැදිහත් විය. ඒ, සිරියාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සහාය දෙමිනි. තමන්ගේ අවි ආයුධවලින් අයි.එස්. ත්‍රස්ත කල්ලිය ලොව බිහිසුණු ත්‍රස්ත සංවිධානයක් වීමත් සමඟ, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සිරියානු විපක්ෂ කණ්ඩායම්වලට ආයුධ ලබාදීම නැවැත්වීය. කෙසේ නමුත් තත්වය ඒ වන විට ප්‍රමාද වැඩිය. අයි.එස්. ත්‍රස්තවාදීන් ඔවුන් විසින් අල්ලා ගනු ලැබූ පළාත් සහ ප්‍රදේශ එක් කරමින් ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවා තිබුණු අතර, එහි නායකයා (කලිෆා) වූයේ අල් බැග්ඩෑඩිය.

විවිධ මත ගැටුම් පැවැතියත්, සිරියානු අර්බුදයේ දී ඊට සම්බන්ධ සියලු පාර්ශ්වකරුවන්ගේ පොදු සතුරා වූයේ අයි.එස්. ත්‍රස්ත සංවිධානයයි. ඇමෙරිකාව සිරියාවේ අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේ දී සහාය දක්වන්නට වූයේ කුර්දිවැසියන් නියෝජනය කරන කුර්දි සටන්කාමීන්ටය. කුර්දි සටන්කාමීන් නියෝජනය කරන්නේ ඔවුන් විසින් නායකත්වය දෙනු ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකායටය. අයි.එස් ත්‍රස්තවාදීන් අඩපණ කිරීම ඒ අනුව සිදුවිය. ඉරාකයේත් සිරියාවේත් අයි.එස්. ත්‍රස්තවාදීන් අඩපණ වූ බව ඇමෙරිකාව නිවේදනය කළේ මෙම වසර ආරම්භයේදීය.

මීට මාසයකට පෙර ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ සිරියාවේ උතුරුදිග පළාත්වල කුර්දිවරුන් සහ කුර්දි සටන්කාමීන්ට සහාය දෙන ඇමෙරිකන් සොල්දාදුවන් ඉවත් කර ගන්නා බවය. ඒ අනුව, උතුරුදිග සිරියාවේ ඇමෙරිකන් සොල්දාදුවන්ගෙන් කොටසක් ඉවත් කිරීම සිදුවිය. ඇමෙරිකන් ආරක්ෂාව අඩු වෙද්දී, කුර්දිවැසියන්ටත් කුර්දි සටන්කාමීන්ටත් තුර්කියෙන් ප්‍රහාර එල්ල විය. කුර්දිවරුන් බෙදුම්වාදී ත්‍රස්තවාදීන් ලෙස තුර්කිය සලකන බැවිනි. කෙසේ නමුත් කුර්දිවරුන් සහ තුර්කිය අතර සටන් විරාමයක් ඇති කිරීමට ඇමෙරිකාවට හැකිවිය. අල් බැග්ඩෑඩි වැටලීමේ මෙහෙහයුම සිදුවූයේ මෙවැනි වාතාවරණයක් යටතේය.
අල් බැග්ඩෑඩි ඝාතන මෙහෙයුම සම්බන්ධයෙන් කරුණු අනාවරණය කිරීමට 27 වැනිදා උදෑසන ඇමෙරිකා ජනපති ට්‍රම්ප් ධවල මන්දිරයේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවීය. එහිදී ජනපති ට්‍රම්ප් පුනපුනා කියා සිටියේ, අල් බැග්ඩැඩි බල්ලකු වගේ, බියගුල්ලකු වගේ මියගිය බවය. ඉස්ලාමීය රාජ්‍යය පිහිටුවා වීරයකු වූ බැග්ඩෑඩි, අල්ලා ගත් සිරකරුවන් අමානුෂික අයුරින් මරා දමන්න අණ දුන් බැග්ඩෑඩි, අවසන් මොහොතේ බියගුල්ලකු ලෙස මියගිය බවත් එවැනි මරණයක් ඔහු වැනි නරුමයකු හොඳ වැඩි බවත් ජනපති ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ පැවැසීය. මීට පෙර තම පරිපාලනය මැදිහත් වී, අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ හිටපු නායක ඔසාමා බින් ලාඩන්ගේ පුතකු වූ හම්සා බින් ලාඩන් ඝාතනය කළ බව ද එම අවස්ථාවේදී ජනපති ට්‍රම්ප් සිහිපත් කළේය. හම්සා මරා දැමීමට හේතුවක් වූයේ ඔහු ඔහුගේ පියා බින් ලාඩන් මෙන් ඇමෙරිකාවටත් ලෝකයටත් තර්ජනයක් වූ නිසා යැයි ට්‍රම්ප් පැහැදිලි කළේය. කෙසේ නමුත් අල් බැග්ඩෑඩි ඝාතනය, ට්‍රම්ප්ට පෙර ජනපති ධුරයේ සිටි බැරැක් ඔබාමාගේ අධීක්ෂණය යටතේ සිදුවුණු ඔසාමා බින් ලාඩන් ඝාතනයට වඩා ඉතා බැරෑරුම් මෙන්ම අවදානම් එකක් වුණැයි ජනපති ට්‍රම්ප් පැහැදිලි කළේය. ට්‍රම්ප් මාධ්‍ය හමුවේ විස්තර කළ ආකාරයට අල් බැග්ඩෑඩි ඝාතනයට වූ එම මෙහෙයුම සිදුවූයේ මෙසේය.

2017 වසරේ ජනපති පුටුවට ආ අවස්ථාවේ පටන් ට්‍රම්ප් අල් බැග්ඩෑඩි ගැන සොයා බැලුවේය. ඔහු ආරක්ෂක අංශවලට උපදෙස් දුන්නේ කෙසේ හෝ බැග්ඩෑඩි සොයා ගැනීම කළ යුතු බවය. අල් බැග්ඩෑඩිගේ හිසට ඇමෙරිකාව ඇමෙරිකන් ඩොලර් මිලියන 25 ක ත්‍යාග මුදලක් ලබා දීමට තීරණය කර තිබුණි. සිරියාවේ සහ ඉරාකයේ අයි.එස්. ත්‍රස්තවාදීන් අඩපණ වෙද්දී සහ පසුගිය අප්‍රේල් මාසයේ බැග්ඩෑඩි සිය වීඩියෝ දසුන් ප්‍රසිද්ධ කිරීමෙන් පසු ඇමෙරිකන් බුද්ධි අංශවලට බැග්ඩෑඩි ගැන හෝඩුවාවක් ලැබී තිබුණි. ඒ, අනුව බුද්ධි නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ඇත. මීට මාස ගණනකට පෙර, බැග්ඩෑඩි වයඹදිග සිරියාවේ සිටින බවට තොරතුරු ලැබෙන්නට විය. ඔහු සැම විට ම යන එන තැන් වෙනස් කරන බැවින්, සිටින්නේ කොහේදැයි නිවැරදිව දැන ගැනීම ගැටලුවක් විය.

අවසානයේ, සිරියාවේ ඉඞ්ලිබ් පළාතේ, බරීෂා ප්‍රදේශයේ ගොඩනැගිල්ලකට බැග්ඩෑඩි පැමිණි බව ඇමෙරිකන් බුද්ධි අංශ තහවුරු කර ගත්තේය. බැග්ඩෑඩි සොයා ගැනීමේදී සිරියාවේ කුර්දිවරුන්ගේ සහායද ඇමෙරිකාවට ලැබුණේය. බැග්ඩෑඩි සිටි එම ගොඩනැගිල්ල උමං මාර්ග කිහිපයකින් යුක්ත එකක් විය. බැග්ඩෑඩි සමඟ අයි.එස්. සංවිධානයේ තවත් සාමාජිකයෝ බොහෝ පිරිසක් ද එහි පැමිණ සිටියහ. මේ බව ඇමෙරිකන් බුද්ධි අංශ සහ ආරක්ෂක ප්‍රධානීන් ජනපති ට්‍රම්ප්ට දැනුම් දුන් අතර, අල් බැග්ඩෑඩි ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන්නැයි ට්‍රම්ප් අනුමැතිය දුන්නේය.

ඒ අනුව, ඇමෙරිකන් විශේෂ බළකායේ සොල්දාදුවන් රැගත් හෙලිකොප්ටර් අටක්, අල් බැග්ඩෑඩි සිටි ස්ථානය බලා ගමන් ආරම්භ කළේය. සිරියාවේ අල් බැග්ඩෑඩි සිටි ස්ථානයට යෑමත් ආපසු එතැනින් පැමිණීමත් ඉතා අවදානම් සහිත එකක් විය. හෙලිකොප්ටර් යානා පැමිණියේ රුසියානු සහ තුර්කි හමුදා බලය පවතින ප්‍රදේශවලට ඉහළිනි. කාගේත් පොදු සතුරා අයි.එස්. ත්‍රස්තවාදීන් වූ බැවින්, රුසියාවෙන්, තුර්කියෙන් පමණක් නොව, සිරියානු රජයෙන්, අසල්වැසි ඉරාකයෙන් හෝ ඉරානයෙන් හෝ ඇමෙරිකන් සොල්දාදුවන්ට බාධාවක් එල්ල නොවීය. එහෙත් තමන් යන්නේ කුමන මෙහෙයුමක් සඳහාදැයි ඇමෙරිකාව මේ කිසිදු පාර්ශ්වයකට දැන ගන්නට ඉඩ ලබා දී තිබුණේ නැත. දේශසීමාව හරහා සිරියාවට ඇතුළු වෙද්දී, හෙලිකොප්ටර් යානා වෙඩි ප්‍රහාරවලට ලක් වුවත්, ප්‍රතිප්‍රහාර එල්ල කර බේරී යෑමට ඇමෙරිකන් සොල්දාදුවෝ සමත් වූහ.

ඇමෙරිකන් සොල්දාදුවන් අල් බැග්ඩෑඩි රැඳී සිටි ගොඩනැගිල්ල වට කරද්දී, හෙලිකොප්ටර් යානා ගොඩනැගිල්ලට පහර දෙන්න විය. ගොඩනැගිල්ලට සම්බන්ධ උමං පද්ධතිය ගැන ඇමෙරිකන් සොල්දාදුවන් දැන සිටි බැවින්, ඔවුහු ඒවා ගැන ද විමසිල්ලෙන් පසුවූහ. ප්‍රහාර උත්සන්න වී, ඇමෙරිකන් සොල්දාදුවන්ගේ වෙඩි වරුසා මැද අයි.එස්. සාමාජිකයන් මැරී වැටෙද්දී, අල් බැග්ඩෑඩි එක් උමඟක් තුළ කොටුවිය. ඒ, දරුවන් තිදෙනකු ද සමඟය. එම දරුවන් අල් බැග්ඩෑඩිගේ යැයි විශ්වාස කරේ. එය අල් බැග්ඩෑඩිගේ අවසානය වූ අතර, ඔහු පැලඳසිටි බෝම්බකබාය පුපුරුවා ගත්තේය. අල් බැග්ඩෑඩි සහ දරුවන් මියගිය අතර, උමඟද ඔවුන් මත පතිත විය.
ගොඩනැගිල්ල තුළ තවත් දරුවෝ 11 දෙනෙක් සිටියහ. අල් බැග්ඩෑඩිගේ බිරියන් දෙදෙනකු බෝම්බ කබා පැලඳ සිටි අතර, ඇමෙරිකන් සොල්දාදුවෝ ඔවුන්ට වෙඩි තැබූහ. ඔවුන් බෝම්බ පුපුරුවා ගැනීමට පෙර, ඇමෙරිකන් සොල්දාදුවෝ එම බිරියන් දෙදෙනා මරා දැමූහ. තම භාරයට ගත් දරුවන් 11 දෙනා මිත්‍ර පාර්ශ්වයකට ලබා දීමට ඇමෙරිකන් සොල්දාදුවෝ කටයුතු කළහ.

උමඟේ සුන්බුන් ඉවත් කර කැබලි වුණු බැග්ඩැඩිගේ සිරුරු කොටස් පරීක්ෂා කිරීම කඩිනමින් සිදුවිය. විනාඩි 15 ක පරීක්ෂණයකින් පසු බැග්ඩැඩි මියගිය බව සොල්දාදුවන් තමන්ට තහවුරු කළ බවත් ට්‍රම්ප් පැවැසීය. කෙසේ නමුත් ඩී.එන්.ඒ. පරීක්ෂාවක් අවශ්‍ය බැවින්, සිරුරු කොටස් රැගෙන ඒමට ඇමෙරිකන් සොල්දාදුවෝ පියවර ගත්හ. බැග්ඩැඩිගේ තිප්පොළට කඩා වැදී ඇමෙරිකන් සොල්දාදුවන් පහර දෙන අයුරු චිත්‍රපටයක දසුන් පෙළක් සේ, තමන් ධවල මන්දිරයේ ‘හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානයේ’ සිට නැරැඹූ බව ජනපති ට්‍රම්ප් කියා සිටියේය. එම අවස්ථාවට උප ජනාධිපති මයික් පෙන්ස් පමණක් නොව, ඇමෙරිකා ආරක්ෂක අංශ ප්‍රධානීහු ද එක්ව සිටියහ. අල් බැග්ඩෑඩි සොයා කළ මෙම වැටලීමේ මෙහෙයුම ගැන තමන් කොංග්‍රසය (පාර්ලිමේන්තුව) දැනුවත් නොකළ බව ද ට්‍රම්ප් මාධ්‍ය හමුවේදී කියා සිටියේය. ඊට හේතුව තොරතුරු ප්‍රසිද්ධ වූයේ නම්, මෙහෙයුම අසාර්ථක වීමට ඉඩ තිබුණු බව ජනපතිවරයා පෙන්වා දුන්නේය. මෙහෙයුමේදී ඇමෙරිකන් සොල්දාදුවන් කිසිවකුටවත් අනතුරක් සිදු නොවිණි. මෙහෙයුමට සම්බන්ධ වුණු හමුදා නිල සුනඛයකු පමණක් තුවාල වූ බව ට්‍රම්ප් පැහැදිලි කළේය. ප්‍රහාරයෙන්, අල් බැග්ඩෑඩිට අමතරව, අයි.එස්. සාමාජිකයෝ රැසක් ජීවිතක්ෂයට පත් වූහ.

ඒ.එෆ්.පී. සහ ඬේලිමේල් ඇසුරිනි

 


RECOMMEND POSTS