පෘථිවිය අඳුරු වෙනවා බොරු



‘ලබන නොවැම්බරයේ පෘථිවිය දින 15 ක් එක දිගට අඳුරේ පවතිනවා. ඒකට හේතුව සිකුරු සහ බෘහස්පති ග්‍රහයන් දෙන්නා එක එල්ලයට පැමිණීම යැයි ඇමෙරිකාවේ නාසා ආයතනය කියයි’ යනුවෙන් පුවතක් පසුගිය දා වෙබ් අඩවිවල පළ වන්න වූයේ ලොව පුරා මහත් ආන්දෝලනයක් ද ඇති කරමිණි.

මෙම පුවත පළ කළේ ‘නිවුස්වොච්33’ නමැති වෙබ් අඩවියයි. ඉන්පසු එය උපුටා දක්වමින් තවත් වෙබ් අඩවි කීපයක් පුවත පළ කරන්න විය. එළැඹෙන නොවැම්බරයේ සිකුරු සහ බෘහස්පති ග්‍රහයින් එක එල්ලයට පිහිටීමක් සිදුවන අතර එහි ප්‍රතිඵලයක් ලෙස පෘථිවිය අඳුරේ ගිලී යනු ඇතැයි වෙබ් අඩවි වාර්තා කරන්න විය.

නොවැම්බර් 13 වැනිදා සිකුරු ග්‍රහයාත්, සෞර ග්‍රහ මණ්ඩලයේ දැවැන්තයා වන බෘහස්පති ග්‍රහයාත් එක එල්ලයකට පැමිණෙයි. මෙය සැබෑවටම සිදුවන දුර්ලභ සංසිද්ධියක් බව සැබෑය. කොළඹ සිටින අපට ද හිරු නැගීමට පෙර අලුයම දුරේක්ෂ ආධාරයෙන් සිකුරු සහ බෘහස්පති ග්‍රහන්ගේ සිදුවන වෙනස දැකීමට හැකිවනු ඇතැයි ද පැවැසෙයි.
වෙබ් අඩවිවල සඳහන් වෙන්නේ මෙම සංසිද්ධියත් සමඟ නොවැම්බර් 15 වැනිදා අලුයම 2.50 සිට නොවැම්බර් 30 වැනිදා සවස 4.45 තෙක් පෘථිවිය අඳුරේ ගිලී යන බවය. එම වෙබ් අඩවි පවසා ඇත්තේ ඔවුන් ඇමෙරිකාවේ නාසා ආයතනය වැරදීමකින් නිකුත් කළ වාර්තාවක් උපුටා දක්වමින් පුවත පළ කළ බවය. නාසා බලධාරීන් වහා මැදිහත් වී මීට පිළිතුරු සපයා ඇත. ‘ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්. පෘථිවිය දින 15 ක් අඳුරු වෙන්නේ නැහැ’ නාසා ආයතනය නිකුත් කළ නිවේදනය සඳහන් වෙයි.

අන්තර් ජාලය අද අපට නැතිවම බැරි දෙයකි. අන්තර් ජාලය යහපත් දේට පමණක් නොව අයහපතට ද යොදා ගත හැකිය. ප්‍රවෘත්ති මූලාශ්‍රයක් ලෙස අන්තර් ජාලය ඉතා වැදගත්ය. අන්තර් ජාල පුවත් සේවා ඔස්සේ විගස පුවත් එසැණින් දැන ගත හැකිය. කෙසේ නමුත් පිළිගත් පුවත් සේවා මෙන්ම ජනප්‍රියත්වය අරමුණ කොට ගනිමින් විවිධ පුද්ගලයින්, ඔවුන්ගේ අදහස් ලොවට කියා පාන පුවත් වෙබ් අඩවි ද ඇත. මෙවැනි වෙබ් අඩවි ලොවට හානියකි. ප්‍රමිතියකින් තොරව, හිතුමතේ පුවත් පළ කරන බටහිර වෙබ් අඩවිවල සඳහන් පුවත් හැඳින්වෙන්නේ ‘ෆේක් නිවුස්’ (ව්‍යාජ පුවත්) යන නමිනි. ‘පෘථිවිය දින 15 ක් අඳුරු වෙනවා’ යන්න ද එවැනි ව්‍යාජ පුවතක් බව නාසා ආයතනය පෙන්වා දුන්නේය.
2015 වසරේ දී ද මේ අයුරින්ම පෘථිවිය අඳුරු වෙනවා යැයි ව්‍යාජ පුවතක් පළ විය. ඒ ‘නිවුස්වොච්28’ නමැති ඇමෙරිකන් වෙබ් අඩවියක් ඔස්සේය. එම පුවතින් පසු එම වෙබ් අඩවිය අහෝසි කර දැමීමට බලධාරීන් කටයුතු කළ බව ද නාසා ආයතනය කියයි.

‘සිකුරු සහ බෘහස්පති එක එල්ලයට පිහිටනවා. ඒක සහතිකයි. ඒ සමඟ හිරු වැසී ගොස් පෘථිවිය අඳුරු වන බවට අදහස් පළ වී තිබෙනවා. ඒ විතරක් නොවේ හයිඩ්‍රජන් වායුව මුල්කොට ගනිමින් මහා පිපිරීමක් සිදුවන බව ද ඇතැමුන් කියනවා. ඇත්තටම එහෙම දෙයක් වෙන්න විදියක් නැහැ. ඒක මහ විකාර අදහසක්. එහෙම සිදුවීමක් සම්බන්ධයෙන් කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ.’ යැයි නාසා ප්‍රධානී චාල්ස් බෝඞ්න් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැහැදිලි කළේය.

පෘථිවිය හදිසියේ අඳුරු වුවහොත්, උණුසුම නැතිවීමෙන්දැඩි සීතලක් දැනේවි. ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය අඩපණ වී ගස්වැල් මියයෑමට පටන් ගනීවි. අපට ආහාර හිඟයකට මුහුණ දීමට සිදුවේවි. සතියකට හෝ හිරුඑළිය පෘථිවියට නොවැටුණොත්, පෘථිවියට පමණක් නොව සෙසු ග්‍රහයන්ට එල්ල වන ගුරුත්ව බලපෑම් වචනයෙන් විස්තර කිරීමට නොහැකි වනු ඇත. ගුරුත්වාකර්ෂණ බලය නොමැති වුවහොත් අපේ පෘථිවිය විශ්වයේ පාවෙමින් යනු ඇත.
කෙසේ නමුත් මේ කිසිම දෙයක් සිදු නොවන නිසා ඒ ගැන අනියත බියක් ඇති කර ගත යුතු වන්නේ නැත. පෘථිවිය අඳුරේ ගිලී යන්නේ නම්, ඒ සූර්ය ග්‍රහණයක් සිදුවන විට මිනිත්තු කීපයක පමණක් යැයි නාසා බලධාරීහු වැඩිදුරටත් සහතික වෙති. එහෙයින්, නොවැම්බරයේ පෘථිවිය අඳුරු වීමක් සිදු නොවනු ඇතැයි නාසා කියයි.

එළැඹෙන නොවැම්බරයේ ලෝකය අඳුරුවීම කෙසේ වෙතත්, ලෝකය විනාශවීමක් ගැන බියක් නිර්මාණය වී තිබුණි. ඒ, දැඩි ක්‍රිස්තියානි භක්තිකයෙකු මෙන්ම අංක විද්‍යාඥවරයකු ද වන ඬේවිඞ් මේඞ් කළ අනාවැකියක් අනුවය. ඬේවිඞ් මේඞ්ගේ එම අනාවැකියෙහි සඳහන් වූයේ අප සෞර ග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතරට අයත් නොවන, තාරකා විද්‍යාඥයන්ට මෙතෙක් සොයා ගැනීමට නොහැකි වුණු ‘ප්ලැනට් එක්ස්’ නමැති ග්‍රහලොව පෘථිවිය දෙසට පැමිණ පෘථිවියේ හැපෙනු ඇති බවය.

ලෝක විනාශය සිදුවෙනවා යැයි පැවැසුණේ ඒ අනුවය. ‘ප්ලැනට් එක්ස්’ ග්‍රහයා ‘නිබුරු’ යන නමින් ද හැඳින්වෙයි. කෙසේ නමුත් ඬේවිඞ් මේඞ් සිදු කළ ගණනය කිරීම් වැරදි බව තහවුරු වී ඇත. ඊට හේතුව, ඔහු නිබුරු පෘථිවියේ ගැටෙනවා යැයි පැවැසූ දිනය වූයේ සැප්තැම්බර් 20 වැනිදා සිට 23 වැනිදා අතර වීම නිසාය. මේඞ් සිය අනාවැකිය පළ කළේ බයිබලයේ සඳහන් තොරතුරු සහ ඊජිප්තුවේ ගීසා හි ඇති පිරමීඩ අනුවය. මේඞ් පවසා තිබුණේ ඉපැරැණි පුදුම හතට පවා අයත් ඊජිප්තු පිරමිඩ ඉදිකර ඇත්තේ එක් නිශ්චිත දින කිහිපයක් ඉලක්ක කර ගෙන බවය. එම දිනය වූයේ 2017 සැප්තැම්බර් 20 සහ 23 අතර කාලයයි.

නාසා තොරතුරු ඇසුරිනි

 


RECOMMEND POSTS