පීඩිතයන් වෙනුවෙන් හඬ නගන මුස්ලිම් කත - ජෝර්දානයේ රැජින



බටහිර මෝස්තරයට පුරුදු වී සිටියත්, සිය කලාපයේ ස්වාධීනත්වය වෙනුවෙන් ඇය තරම් හඬක් නගන තවත් මුස්ලිම් ගැහැනියක් නම් මැදපෙරදිග කලාපයේම නැත.

අරාබි ලෝකයේ මුස්ලිම් කාන්තාවට ලබා දී ඇති නිදහසේ දිග පළල සොයමින් ඒ ගැන වද වෙන බටහිර මෙන්ම ඇතැම් පෙරදිග රටවලත් බොහෝ දෙනාට ඊයේ පෙරේදා සිය 46 වැනි උපන් දිනය සැමරූ ජෝර්දානයේ රානියා රැජන තරම් නිදසුනක් තවත් නම් නැත.

දුටුවන් මන බඳ රුවත්, ඊටම නොදෙවැනි බුද්ධිමත්භාවයත්, ප්‍රියමනාප බැල්මත්, ආකර්ශනීය කතාවත් නිසා මේ මුස්ලිම් රැජින ජෝර්දානයේ පමණක් නොව සමස්ත අරාබි කතරේම නොසිඳෙන දිය බිඳක් මෙන් කාගෙත් නෙත් සිත් පිනවන චරිතයක් බවට පත්වී සිටින්නීය. මුස්ලිම් අරාබි ලෝකයේ ඇයට ඇති පිළිගැනීම සම්ප්‍රදායික මුස්ලිම් ගැහැනුන්ගේ බුර්කාවට හෝ අබායාවට කොටු කළ එකක් නොවන බැව් ඇගේ ඡායාරූපවලින්ම පිළිබිඹු වෙයි.

බ්‍රිතාන්‍ය රජ පවුලේ ගැහැනුන්ට වැඩි ප්‍රසිද්ධියක් ලබාදීමේ අරමුණින් වතාවක් ලන්ඩනයේ 'ඩේලි ටෙලිග්‍රාෆ්' පුවත්පත ලොව රජ පවුල්වල සුන්දර ගැහැනු තේරූ මොහොතේ මොනාකෝ හී ග්‍රේස් කුමරිය එහි මුල්තැනට පත්වූ අතර කවුරුත් අපේක්ෂා නොකළ පරිදි දෙවැනි තැන අයිති කරගත්තේ රානියා රැජිනය. මුල්තැනට හා දෙවැනි තැනට පත්වනු ඇතැයි බ්‍රිතාන්‍ය ජනතාව බලාපොරොත්තු වූ කේට් කුමරියට හා ඩයනා කුමරියට හිමිවූයේ පිළිවෙළින් තුන්වැනි සහ සිවුවැනි තැන්ය.

ඉන් නොනැවතී මේ සුන්දර අරාබි රැජින මැදපෙරදිග කලාපයේ බලවත්ම ගැහැනිය බව අනාවරණය වූයේ දේශපාලන ලෝකයේ රාජ්‍ය නායකයන්ගේ සුරූපී බිරින්දෑවරු ගැන කළ සමීක්ෂණයක දී ඇය පස්වැනි තැනට පත්වීම නිසාය.

ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා බින් අල් හුසේන් රජුගේ අග මෙහෙසිය වන රානියා රැජින එරට ජනතාවගේ ගෞරවාදරයට පාත්‍රවී ඇත්තේ ඔවුන්ගේ සිතුම් පැතුම් කදිමට දැන හැඳිනගත් නිසාය. එරට අධ්‍යාපනය ඉහළ නැංවීමට දිවා රෑ නොබලා මහන්සි වන රානියා රැජින ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය මෙන්ම තරුණ ගැටලු සොයා බැලීමටත්, ඒවාට කඩිනම් විසඳුම් ලබාදීමටත් වැඩි උනන්දුවකින් යුතුව කටයුතු කිරීම නිසා දැන් ජෝර්දානයේ ජනතාවට රානියා රැජින නම් නැතිවම බැරිය.

ජොර්දානයේ රජුගේ මේ 46 හැවිරිදි අගමෙහෙසිය මැදපෙරදිග ජනතාවගේ හඬ බව මැදපෙරදිග සෙසු රටවල මතය වී ඇත්තේ නොබියව අදහස් ප්‍රකාශ කිරීමට ඇය නිරතුරුවම ඉදිරිපත් වන බැවිනි. ඉතාලියේ සම්භාව්‍ය අන්ධ ගායක ඇන්ඩ්‍රියා බොසේලිගේ නමින් පිහිටුවන ලද පදනම මගින් වසරේ ප්‍රබලතම ජාත්‍යන්තර පුද්ගලයා වාර්ෂිකව තෝරාගන්නා අතර මෙවර එම ගෞරවය දිනාගනු ලැබුවේ රානියා රැජින විසිනි.

සරණාගතයන් වෙනුවෙන් සහ ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම නිසා ඇයට මානවවාදී සම්මානය පිරිනැමෙන බව එම පදනම ප්‍රකාශ කළේය. ලොව සුප්‍රකට කාන්තා ඇඟලුම් නිර්මාණය කරන වර්සෙස් ශිල්පායතනයේ තැනූ සරත් හා ශීත සෘතුවලට ගැලපෙන පාට දෙකේ මිල අධික රතු පැහැති සේද ගවොමකින් සැරැසී සම්මානය දෝතට ගත් මේ සුරූපිනිය එය තමා ලැබූ ඇගැයීමකට වඩා දිරිගැන්වීමක් බව කියා සිටියාය.

එහිදී සම්මානය ලබාගනිමින් ඇය කළ සටන්කාමී කතාව එදා උත්සව ශාලාවේ සිටි අමුත්තන්ගේ පමණක් නොව අන්තර්ජාලයෙන් එය ඇසූ ලෝක ප්‍රජාවගේ ද ප්‍රසාදයට ලක්වූ එකකි. සිරියාවේ කෙරෙන මහා ජන සංහාරය ගැන ඉතා කළකිරීමෙන් සිය අදහස් ප්‍රකාශ කළ රානියා රැජන හඬක් නගන්නට නොහැකි පීඩිතයන් වෙනුවෙන් හඬ නගන ලෙසත්, පාගාදැමීමට එරෙහිව නැගී සිටින ලෙසත් ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියාය.

මේ කතාවෙන් රානියා රැජින ලෝකයට කියා පෑවේ තමා බටහිර ලෝකයේ පිරිමින් අතර වැඩි ආකර්ශනයට ලක්වූ අරාබි මුස්ලිම් ගැහැනියක් පමණක් නොවන බවය. බටහිර මෝස්තරයට පුරුදු වී සිටියත්, සිය කලාපයේ ස්වාධීනත්වය වෙනුවෙන් ඇය තරම් හඬක් නගන තවත් මුස්ලිම් ගැහැනියක් නම් මැදපෙරදිග කලාපයේම නැත.

ඇයට ජොර්දානයේ රාජකීයත්වයට මුවාවී සිය සිතුම් පැතුම් ඉටු කරගනිමින් ඉතා සුඛෝපභෝගී ජීවන රටාවක් ගෙවන්නටත්, අවශ්‍ය ඕනෑම අවස්ථාවක ලොව ඕනෑම ස්ථානයක දී සිය මනසත්, සිරුරත් හොඳ හැටි සංතර්පණය කරගැනීමට මුදලින් මෙන්ම රූපයෙනුත් කිසිදු අඩුවක් හෝ බාධාවක් නොමැත. එහෙත් මේ විස්මිත ගැහැනියට පීඩිත ජනතාවත්, දරුවන්ගේ අධ්‍යාපනයත් තරම් වටිනා වස්තුවක් තවත් නම් නැති තරම්ය.

( තිළිණි සිල්වා )

ඩේලි ටෙලිග්රාෆ් ඇසුරෙනි.....


RECOMMEND POSTS