පිළිකාවට බයේ ආමාශය ඉවත් කරලා



පරම්පරාවෙන් උරුම උදර පිළිකාවක් වළක්වා ගැනීමේ අරමුණින්, ඇමෙරිකාවේ 41 හැවිරිදි තරුණයකු ආමාශය ඉවත් කිරීමේ සැත්කමකට භාජන වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

ආමාශය ඉවත් කරගෙන ඇත්තේ ඬේවිඞ් ෆෝජල් නමැති ඇමෙරිකාවේ මේරිලන්ඞ් ජනපදයේ සිල්වර් ස්ප්‍රිංග් හි පදිංචි තරුණයෙකි. ඔහු අවුරුදු 6 ක් සහ 3 ක් වයසැති පිරිමි දරුවන් දෙදෙනකුගේ පියෙකි. ෆෝජල් මෙම ආමාශ ඉවත් කිරීමේ සැත්කමට භාජන වී ඇත්තේ පසුගිය ඔක්තෝබරයේදී බව පැවැසෙයි. ඒ, සිය කැමැත්තෙන්මය.

ෆෝජල් පවුලේ බොහෝ දෙනකු ආමාශ පිළිකා හේතුවෙන් දැඩි ලෙස දුක් පීඩා විඳ මියගොස් ඇත. අවසන් වරට මියගියේ ෆෝජල්ගේ අත්තම්මාය. මියයනවිට ඇගේ වයස අවුරුදු 56 කි. අත්තම්මාගේ මරණය සිදුවී ඇත්තේ මීට වසර 15 කට පෙරය.

ඇය මාස 24 ක් ඉතා දැඩි වේදනාවකින් පෙළුණු බවත්, ඇය වේදනා විඳිණු දුටු තමා දැඩි ලෙස කම්පනයට පත් වුණු බවත් ෆෝජල් මාධ්‍ය හමුවේ කියා සිටී.  ‘අත්තම්මා හුඟක් දුක් වේදනා වින්දා. ඇගේ ආමාශ පිළිකා තත්ත්වය සුව කරන්න බැරිවුණා. කල්තියා හඳුනාගත්තත් සුව කරන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඇය විඳි වේදනාව මට මගේ බිරියට හෝ දරුවන් දෙදෙනාට දෙන්න බැහැ. මම තීරණයක් ගත්තා මගේ ආමාශය ඉවත් කරන්න’ යැයි ෆෝජල් මාධ්‍ය හමුවේ පැහැදිලි කර සිටී.

පරම්පරාවෙන් උරුම පිළිකා තත්ත්වයක් හෙයින් ෆෝජල් ද එයින් පීඩා විඳීමේ අවදානමක් පවතින බව වෛද්‍යවරුන්ගේ අදහස විය. ජාන පරීක්ෂණ රැසකට ද ෆෝජල් ලක් විය. අවසානයේදී, ෆෝජල් තීරණය කළේ ආමාශය ඉවත් කිරීම කළ යුතු බවය. ඒ අනුව, ආමාශය ඉවත් කිරීමේ සැත්කම පසුගිය ඔක්තෝබරයේ සිදුවිය.

ආමාශය ඉවත් කිරීමෙන් පසු අන්නස්‍රෝතය කුඩා අන්තකයට සම්බන්ධ කිරීම සිදු කෙරේ. ඒ අනුව, ඉදිරියේ දී ආහාර පාලනයක් යටතේ ජීවත් වීමට ෆෝජල්ට සිදුවී තිබේ. බර ආහාර ගැනීමට ෆෝජල්ට නොහැකි වන අතර විශේෂයෙන් සැකැසූ දියරමය ආහාර, යෝගට්, පලතුරු සහ එළවළු යුෂ ආහාරයට ගැනීමට ද සිදුවී ඇතැයි වෛද්‍යවරු පෙන්වා දෙති. ‘මට බඩගින්නක් දැනෙන්නේ නැහැ. ඒත් වෛද්‍යවරුන්ගේත් පෝෂණවේදීන්ගේත් උපදෙස් මත මම ආහාර දිනකට කුඩා ආහාර වේල් 6 ක් ගන්නවා.’ යැයි ෆෝජල් වැඩිදුරටත් පැහැදිලි කරයි.

 (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS