පිළිකාවකින් මියගිය 14 හැවිරිදි දැරියකගේ අනුවේදනිය කතාව



 

පිළිකාවකින් පෙළුණු 14 හැවිරිදි බ්රිතාන් දැරියක තමා මියයෑමෙන් පසුව, අනාගතයේ දිනෙක යළි තමාව සුවකළ හැකිවෙතැයි යන බලාපොරොත්තුවෙන් එම සිරුරු අධි ශීතකරණයක් තුළ තැන්පත් කිරීම සඳහා කර තිබූ ඉල්ලීමට අධිකරණයෙන් අවසරය ලැබී තිබේ.

මෙම දැරිය මියයෑමට සුළු මොහොතකට පෙර ඊට අවසරය ලැබී ඇති අතර, පසුව එම සිරුරු ඇමෙරිකාවට ගෙනගොස් විශේෂ අධිශීතකරණයක එය තැන්පත් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.ඉතා දුර්ලභ පිළිකාවකින් පෙළුණු මෙම දැරියගේ මව සිය දියණියගේ සිරුරු මෙසේ තැන්පත් කිරීම සඳහා මුල්වී කටයුතු කර ඇතත්, ඇයගේ පියා මුල සිටම ඊට විරුද්ධව සිට ඇති බවද ඩේලිමේල් වාර්තා පෙන්වා දෙයි.

පොළොව යට වැළලී සිටීමට තමාගේ කිසිදු කැමැත්තක් නොමැති බවත්, තමාට දිගු කාලයක් ජීවත් වීමට අවශ්‍ය බවත් ඇය මියයෑමට පෙර ලිපියකින් අධිකරණය වෙත දන්වා තිබූ බවද කියැවෙයි. ඒ අනුව, එම මළ සිරුර සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමේ බලය මවට පැවරීමත් සමග, මව විසින් මේ ආකාරයෙන් දියණියගේ සිරුර අධිශීතකරණයේ තැන්පත් කිරීමට කටයුතු සලස්වා තිබේ.

“මේ අසාමාන්‍ය ඉල්ලීම කිරීමට මගෙන් හේතු ඉල්ලල තියෙනවා. මට කියන්න තියෙන්නෙ, මට තාමත් අවුරුදු 14ක් විතරයි. මට මැරෙන්න උවමනාවක් නැහැ. ඒත් මාව මැරෙනව කියන දේ මම දන්නවා. ඒ කොහොම වුණත්, මගේ සිරුර කල්තබා ගත්තොත් තවත් අවුරුදු දහසකින් හරි මට ආයෙත් සුවය ලබල නැගිටින්න අවස්ථාවක් ලැබෙයි කියල මම හිතනවා. පොළොව යට වැළලිලා ඉන්න මගේ කිසිම කැමැත්තක් නැහැ. ඒ නිසා කරුණාකර, මට මේ අස්ථාව ලබාදෙන්න. මගේ අවසන් ඉල්ලීම එයයි” යනුවෙන් මෙම දැරිය අධිකරණය වෙත ලිපියෙන් කරුණු දක්වා තිබූ අතර, සිය සිරුර කල්තබා ගන්නා ආකාරය සම්බන්ධයෙන් මියයෑමට ආසන්න කාලයේදී අන්තර්ජාලය ඔස්සේ ඇය කරුණු විමසා ඇති බවද කියැවෙයි.

මේ ආකාරයෙන් ඇගේ සිරුර සෙන්ටිග්‍රේඩ් අංශක සෘණ 130 ට වඩා අඩු උෂ්ණත්වයක, නයිට්‍රජන් දියරයක බහා නිශ්චිත කාලසීමාවකින් තොරව කල්තබා ගැනීම සඳහා වැය වී ඇති මුදල ස්ටර්ලිං පවුම් 37,000 කි. එනම්, ශ්‍රී ලංකා මුදලින් රු.ලක්ෂ 70කට ආසන්නය. කෙසේ වෙතත්, මෙවැනි අධිශීතකරණ පහසුකම් බ්‍රිතාන්‍යයේ නොමැති අතර, ඇමෙරිකාවේ හා රුසියාවේ පමණක් මෙම පහසුකම් පවතින බවද කියැවෙයි.

දැරිය ප්‍රතිකාර ලැබූ රෝහල වෙත පැමිණි ලන්ඩනයේ විනිසුරුවරයා මෙම අසාමාන්‍ය ඉල්ලීම පිළිබඳව සොයාබැලීමෙන් පසුව ඇය කෙරෙහි කම්පාවට පත්ව මෙම තීන්දුව ප්‍රකාශ කර ඇති බවද විදෙස් වාර්තාවල දැක්වෙයි.

(තිළිණි සිල්වා )

ඩේලිමේල් ඇසුරෙනි.......


RECOMMEND POSTS