පියයුරු පිළිකා ගැන දැනුවත් වෙන්න



පියයුරු පිළිකා පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අන්තර්ජාතික මාසය ඔක්තෝබර් මාසයට යෙදී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය 2018 වසරේ නිකුත් කළ වාර්තාවකට අනුව මෙරට පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව 23,530කි. එයින් සියයට 13.1ක් පියයුරු පිළිකා රෝගීහු වෙති. එයින් මරණ අනුපාතිකය සියයට 8.4කි.

එම සංවිධානයේ දත්තවලට අනුව 2012 වසරේ මෙරටින් වාර්තා වී ඇති පියයුරු පිළිකා රෝගීන්ගේ ගණන 3,955ක් වන අතර 2018 වසරේ වාර්තා වී ඇති පිළිකා රෝගීන්ගේ ගණන 3,091කි. වසර 2040 වනවිට මෙරටින් පියයුරු පිළිකා රෝගීන්ගේ ගණන 3,799ක් ද යැයි එම සංවිධානය පුරෝකථනය කර ඇත.

කෙසේ නමුත් ජනතාව දැනුවත් කිරීම තුළින් එම අගය සැලකිය යුතු ලෙස අඩු කරගත හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම සෞඛ්‍ය විශේෂඥයෝ ද පෙන්වා දෙති.

පියයුරු පිළිකා පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අන්තර්ජාතික මාසය මුල් කරගනිමින් මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ශ්‍රී ලංකා පිළිකා සංගමයේ මූලිකත්වයෙන් මේ මාසය මුළුල්ලේ පැවැත්විණි. ජාතික පිළිකා සංගමයේ ආරම්භය 1948 වසර දක්වා පැරැණිය. වසර 72ක තරම් දීර්ඝ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා පිළිකා සංගමය මෙරට තිබෙන ප්‍රමුඛ පෙළේ ස්වේච්ඡා සහ රාජ්‍ය නොවන සංවිධානයක් වන අතරම ලාභ නොලබන සංවිධානයක් ද වේ. දශක හතක දිගු ඉතිහාසයක් තිබෙන මෙම සංගමය ජාත්‍යන්තරයේ පිළිගැනීමට ද පාත්‍ර වී ඇත.

ශ්‍රී ලංකා පිළිකා සංගමය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි අන්තර්ජාතික පිළිකා සංගමයේ සාමාජිකත්වය ද ලබාගෙන ඇත. පිළිකාව යනු බෝ නොවන අතර මුල් ස්ථානයක් ගත්තකි. පිළිකාව හේතුවෙන් සෞඛ්‍ය අංශවලට, රාජ්‍යවලට, සමාජයට එල්ල වන පීඩනය, දරන්නට වන බර සුළුපටු නොවේ. එම පීඩනය අඩු කිරීම සඳහා අන්තර්ජාතික පිළිකා සංගමය සිය සාමාජික රටවල් හා එක්ව විශාල වැඩසටහන් ප්‍රමාණයක් ක්‍රියාත්මක කරයි. එම වැඩසටහන් යටතේ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන්ම විසඳුම් සෙවීම සඳහා දැනට සොයාගෙන ඇති විසඳුම් බෙදාහදාගැනීම ද සිදු වේ. ශ්‍රී ලංකා පිළිකා සංගමය ශ්‍රී ලංකා බෝනොවන රෝග පිළිබඳ සංගමයේ ද සාමාජිකයකු වේ. ශ්‍රී ලංකා බෝනොවන රෝග පිළිබඳ සංගමය ගෝලීය බෝ නොවන රෝග පිළිබඳ සංගමයේ සාමාජිකයෙකි.

පියයුරු පිළිකාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් මෙවර ද ක්‍රියාත්මක කෙරුණු අතර ශ්‍රී ලංකා පිළිකා සංගමයේ මහජන අධ්‍යාපන කමිටුව ඒ වෙනුවෙන් මුල්තැන ගෙන කටයුතු කළේය. ජනතාව අතර දැනුවත්භාවය ඉහළ නැංවීමත් අවබෝධය වැඩි කිරීමත් එම වැඩසටහන් මාලාවේ අරමුණ විය. පිළිකා පාලනයේ වඩාත් වැදගත්ම අංගය වන්නේ දැනුම වන අතර ජනතාව අතර අවබෝධය හා දැනුවත්කම වැඩි කිරීමට මුල්තැනක් දෙන බව ද එම සංගමය සඳහන් කරයි.

මේ සඳහා ශ්‍රී ලංකා පිළිකා සංගමය, ‘ඒ අයි.ඒ. ඉන්ෂුවරන්ස්’ රක්ෂණ ආයතනය සමඟ අත්වැල් බැඳගෙන ඇත.

ජනතාව දැනුවත් කිරීම සඳහා මේ මාසය මුළුල්ලේ ශ්‍රී ලංකා පිළිකා සංගමයේ මූලිකත්වය යටතේ වෛද්‍ය ෂෙරීන් අමරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් තවත් වැඩසටහන් මාලාවක් ද ක්‍රියාත්මක විණි.

මේ මාසය මුල් කරගනිමින් ශ්‍රී ලංකා පිළිකා සංගමයේ මහජන අධ්‍යාපන කමිටුව රෝස පැහැති පීත්ත පටිය (පින්ක් රිබන් කැම්පේන්) සිය සංකේතය කරගනිමින් තවත් වැඩසටහන් ක්‍රියාත්මක කළේය. පියයුරු පිළිකාවේ ජාත්‍යන්තර සංකේතය වනුයේ ද රෝස පැහැති පීත්ත පටියයි.

මහජන අධ්‍යාපන කමිටුව මෙම රෝස පැහැති පීත්ත පටිය යොදාගනිමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළ අතර, රෝස පැහැති පීත්ත පටි, පොත් යොමු සලකුණු (බුක් මාර්ක්) අලෙවි කළ අතර කාගීල්ස්, කීල්ස්, විවිධ බැංකු යනාදී මහජනතාව නිරත යන එන තැන් සහ ස්ථානවල දැන්වීම් යනාදිය ප්‍රදර්ශනය කළේය. පියයුරු පිළිකා වළක්වා ගන්නේ කෙසේදැයි යන්න සඳහන් වන දැන්වීම් පත්‍රිකා ද බෙදාහැරියේය. පියයුරු පිළිකාවලින් ආරක්ෂා වන්නේ කෙසේද ? ඒවා හඳුනාගන්නේ කෙසේ ද ඊට ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් එම දැන්වීම් පත්‍රිකාවල තොරතුරු දැක්විණි.

සංගමය ආරම්භයේ පටන්ම කරන ලද සෑම වැඩසටහනක්ම ක්‍රියාත්මක කරන ලද්දේ මහජනතාවගේ ධන පරිත්‍යාගවලිනි. ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ ද මහජනතාවගේ අරමුදල්වලිනි. මෙවර ද ඒ වෙනුවෙන් කැට ව්‍යාපාරයක් ආරම්භ කරන ලද ඉහත කී ස්ථාන හා ඒවායේ ශාඛාවල කැටය බැගින් තබා තිබිණි.

ශ්‍රී ලංකා පිළිකා සංගමය 1996 වසරේ දී අසාධ්‍ය පිළිකා රෝගීන්ට සහන සත්කාර සඳහා ‘ශාන්ත සෙවණ’ යනුවෙන් ගිලන් උපස්ථාන මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කළේය.

ඊට අමතරව අපේක්ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර සහ රසායනික ප්‍රතිකාර සඳහා මෙන්ම රුධිර සහ රුධිර සංඝටක පිළිබඳ සායනවලට සහභාගීවීම සඳහා දුර බැහැර සිට පැමිණෙන රෝගීන්ට සත්කාර, සහන සහ අවශ්‍ය පහසුකම් සැපයීමට ද සංගමයෙන් මූලිකත්වයෙන් මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලදී. එය ආරම්භ කරන ලද්දේ 1962 වසරේ දී ය.

මූල්‍ය ආධාර අවශ්‍ය දුර බැහැර සිටින රෝගීන් 100 දෙනකුට සෑම මාසයකදීම රුපියල් 2,000 බැගින් ලබාදීමට ද සංගමය පියවර ගෙන ඇත,

කොළඹ අවට සිටින රෝගීන් 25 දෙනකුට අත්‍යවශ්‍ය ආහාර, දිවා ආහාර සහ රුපියල් 1,300ක මුදලක් මාසිකව ලබාදීමට සංගමය කටයුතු යොදා තිබේ.

සිංහල අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් මෙම රෝගීන්ට බඩු බාහිරාදිය ඇතුළත් මල්ලක්, රුපියල් 3,000ක් සහ ත්‍යාග ලබාදීමද සිදු කෙරේ. නත්තල වෙනුවෙන් ද එම වැඩසටහන ක්‍රියාත්මක වේ.

ප්‍රදාන ලැයිස්තුවේ ලියාපදිංචි වී සිටින සෑම රෝගියකුටම මරණයකදී රුපියල් 5000ක මුදලක් ලැබෙන වැඩසටහන් ද සංගමය විසින් ක්‍රියාත්මක කරනු ලැබ තිබේ.

අධ්‍යාපන කමිටුව විසින් ‘ඔප් ෂොප්’ යනුවෙන් සාප්පුවක් විවෘත කර තිබෙන අතර දානපතියන්ගේ පරිත්‍යාගවලින් එය ක්‍රියාත්මක වේ. අරමුදල් සපයා ගැනීමේ අරමුණින් මෙම සාප්පුව ක්‍රියාත්මක වේ.

සටහන - හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS