ප්‍රංශ ජනපතිවරණයට ඔබාමා ඉල්ලා පෙත්සමක්



ලබන අප්‍රේල් පැවැත්වෙන ප්‍රංශ ජනාධිපතිවරණයට ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් පෙත්සමක් ලැබී ඇතැයි මේල් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කරයි.

 ප්‍රංශයේ මීළඟ ජනාධිපතිවරයා ලෙස ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයා පත් කරගැනීම සඳහා මේ වනවිට ‘ඔබාමා17’නමින් පෙත්සමක් ඉදිරිපත්ව ඇත. 

මෙම පෙත්සමට අත්සන් මිලියනයක් ලබාගැනීම එය දියත් කරන පිරිසගේ අපේක්ෂාව වී ඇතැයි ද පැවැසෙයි. ඒ අනුව අත්සන් මිලියනක් ලබාගැනීමේ අරමුණින් පෙත්සම බෙදාහරිමින් තිබෙන බව ද මේල් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කරයි.

ඔබාමාගේ රුව දැක්වෙන පෝස්ටර් 500 කට වැඩි ප්‍රමාණයක් පසුගිය දින කිහිපයේදී ප්‍රංශයේ පැරිස් නුවරදී බෙදාහැර ඇති අතර එම පෝස්ටරවල ‘ඔව් අපට පුළුවන්’යනුවෙන් සඳහන් වී ඇතැයි ද වාර්තා වේ.

“අප ලස්සන රටේ ජනාධිපති ධුරයට විදේශීය ජනාධිපතිවරයකු පත් කරගනිමින් වෙනසක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපතිවරයා වශයෙන් ධුරකාල දෙකක් සාර්ථකව අවසන් කළා. ඔහු ප්‍රංශ පුරවැසියකු කර ගත්තොත්, ප්‍රංශ ජනපතිවරණයට ඔහු සුදුස්සකු නොවේද?” යැයි එම වෙබ් අඩවියේ සඳහන් වන බව ද වාර්තා වේ. 

ඒ අනුව ඔබාමාට ප්‍රංශ බස ඉගෙන ගැනීමට සිදුවනු ඇති බවත්  ජනාධිපතිවරණයට තරග කිරීමට පෙර ප්‍රංශ පුරවැසිභාවය ලබාගැනීමට සිදුවනු ඇති බවත් පැවැසෙයි. පෙත්සම් නිර්මාණය කළ පිරිස තම අනන්‍යතාව හෙළිදරවු කර නොමැති අතර ප්‍රංශ ජනතාව එරට දේශපාලකයන් සම්බන්ධයෙන් කලකිරීමට ලක්ව ඇතැයි පෙන්වාදෙති.

හර්ෂණ තුෂාර සිල්වා
ඬේලිමේල් ඇසුරිනි

 

 


RECOMMEND POSTS