පස් වසරකට පසු කරළියට ආ බැග්ඩෑඩි



පාස්කු ඉරිදා (21 වැනිදා) සිදුවුණු බෝම්බ ප්‍රහාරයේ වගකීම අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය විසින් බාර ගනු ලැබුවේ පසුගිය 23 වැනිදාය. සිරියාවේත් ඉරාකයේත් අඩපණ වූ බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් තහවුරු කරනු ලැබූ අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ බිහිසුණු බව තවත් තහවුරු කරමින්, මැරුණා යැයි පැවැසුණු එහි නායක අල් බැග්ඩෑඩි ඉකුත් 29 වැනිදා කෙටි වීඩියෝ දසුන් පෙළක් සහ හඬ පටයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. ඉරාකයේ සිරියාවේ තමන් ලැබූ පරාජය හමුවේ, ඊට විරෝධය පෑමක් ලෙස, පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ කිතුනු දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාර එල්ල කළ බව අයි.එස්. නායකයා කියයි.

අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි, පෙනී සිටින වීඩියෝ දසුන් පෙළෙක් මෙලෙස ප්‍රසිද්ධියට පත් කෙරුණේ වසර පහකට පෙරය. අවසන් වරට අයි.එස්. නායක බැග්ඩෑඩි මේ අයුරින්, වීඩියෝ දසුන් පෙළක් හරහා පෙනී සිටියේ 2014 වසරේ ජූලි මාසයේ මොසූල් නුවර, අල් නූරි ප්‍රධාන පල්ලියේ සිටි සිය අනුගාමිකයන් අමතමිණි.
2014 දී අයි.එස්.අයි.එස්. සංවිධානය ඉතා ශක්තිමත්, බිහිසුණු ත්‍රස්ත සංවිධානයක් වී තිබුණි. ඉරාකයේත් සිරියාවේත් අල්ලා ගත් පළාත් එක් කරමින්, අයි.එස්. සංවිධානය ඉස්ලාම් රාජ්‍යයක් පිහිටුවා ගත්තේය. එහි කේන්ද්‍රස්ථානය වූයේ ඉරාකයේ මොසූල් නගරයයි.

2014 වසරේ ප්‍රසිද්ධියට පත් කළ වීඩියෝ දසුන් පෙළ ලොව කාගේත් අවදානයට ලක් විය. අල්ලා ගන්නා බටහිර වැසියන්ගේ බෙලි කපමින් අමු අමුවේ ඝාතන කළ අයි.එස්. සංවිධානයට නායකත්වය දෙන බැග්ඩෑඩි කවුරුදැයි දැක ගැනීමට හැකි වුණු පළමු අවස්ථාව මෙය විය.

පෙරේදා (29) අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධ කෙරුණු තත්පර 40 ක වීඩියෝ දසුන් පෙළ හරහා අල්බැග්ඩෑඩි ප්‍රතිඥා දෙන්නේ ඉරාකයේත් සිරියාවේත් තම සංවිධානය ලැබූ පරාජය වෙනුවෙන්, තම සාමාජිකයන් බටහිර රටවලින් දිගින් දිගටම පළිගනු ඇති බවය. පසුගිය පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ බෝම්බ පුපුරුවා හැරීම, ‘බටහිරට’ එරෙහිව ආරම්භ කළ සටනේ එක් පියවරක් බව ද පැවැසෙයි.

නවතව වීඩියෝවෙන් දකින්න ලැබෙන බැග්ඩෑඩි, 2014 වසරේ ජූලි 5 වැනිදා පළමු වරට ප්‍රසිද්ධියේ පෙනී සිටිද්දී, දකින්න ලැබුණු කළු හිසකෙස්වලින් සහ කළු රැවුලක් සහිත ජවයෙන් පිරි බැග්ඩෑඩි නොවන බව බි්‍රතාන්‍ය ඬේලිමේල් වෙබ් අඩවියේ දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති. පස් වසරන ඇවෑමෙන් පසු බැග්ඩෑඩිගෙන් පෙනෙන්නේ විඩාබරගතියකි. 2014 වසරට වඩා අද වනවිට අල් බැග්ඩෑඩි වැහැරුණු ස්වභාවයක් පෙන්නුම් කරන බව ඬේලිමේල් පෙන්වා දෙයි. 2014 වසරේ අල් නූරි මුස්ලිම් පල්ලියේ සිට අනුගාමිකයන් ඇමතූ බැග්ඩෑඩිගේ ‘ජවය’ මේ වනවිට අතුරුදන්ව ඇත.

බැග්ඩෑඩි සිටින්නේ ගල් ලෙනක නොව. සුප පහසු කාමරයකය. එරමිණියා ගොතාගෙන කොට්ටයක් මත වැඩි වී සිටින බැග්ඩෑඩිගේ අසල ඇත්තේ ඔහුගේ ඒ.කේ. 47 රයිෆලයයි. 2001 ඇමෙරිකාවට එල්ල කළ දැවැන්ත ප්‍රහාරයෙන් පසු අල් කයිඩා සංවිධානයේ හිටපු නායක ඔසාමා බින් ලාඞ්න් සැඟවී ජීවත් වූයේ ඇෆ්ගනිස්තානයේ කඳුකරයේ ගල් ලෙන්වලය. එම ලෙන්වල සිට බින් ලාඞ්න් වීඩියෝ දසුන් නිකුත් කළේය. ඇමෙරිකාවට අනතුරු ඇඟවූයේය. කෙසේ නමුත් බැග්ඩෑඩි එවැනි කටුක ජීවිතයක් ගත කරන බවක් වීඩියෝ දසුන් පෙළ හරහා දිස් වන්නේ නැති බව ඬේලිමේල් විශ්ලේෂකයෝ පෙන්වා දෙති. එපමණක් නොව, ලොව කාලීන සිදුවීම් සම්බන්ධයෙන් ද අල් බැග්ඩෑඩි කතා කරයි. ඔහුට ඒ සම්බන්ධයෙන් ද හොඳ අවබෝධයක් ඇති බව පෙනෙයි.

47 හැවිරිදි වියෙහි පසුවන බැග්ඩෑඩි, දියවැඩියා රෝගියෙකි. පසුගිය කාලය පුරාවට ඇමෙරිකාව අවස්ථා ගණනාවකදී, බුද්ධි තොරතුරු පාදක කර ගනිමින් බැග්ඩෑඩි ඉලක්ක කර ගනිමින් පහර දී තිබේ. බැග්ඩෑඩි මියගිය බව හෝ තුවාල ලැබූ බව හෝ පැවැසිණි. බැග්ඩෑඩි තවමත් ජීවතුන් අතර සිටින බව තහවුරු කිරීමට මෙම නවතම වීඩියෝ දසුන් පෙළට හැකිවී තිබේ. මේවනවිට බැග්ඩෑඩිගේ හිස වෙනුවෙන් ඇමෙරිකාව ඩොලර් මිලියන 25 ක් ලබා දෙන බව පවසා තිබේ. කෙසේ නමුත්, බැග්ඩෑඩි සිටින්නේ කොහෙදැයි කිසිවෙක් නොදනී.

නවතව වීඩියෝ දසුන් පෙළ රූගත කරනු ලැබ ඇත්තේ කොහෙදීදැයි යන්න ද මෙතෙක් තහවුරු වී නැත. ඉරාකයේ අවසන් අයි.එස්. බළකොටුව වූයේ බගූස් නගරයයි. මෙම නගරය පිහිටා ඇත්තේ නැගෙනහිර සිරියාවේ ඉරාකයට මායිම් වන්නටය. මෙම නගරය සිරියානු හමුදා අතට පත්වූයේ මීට මාසයකට පෙරය. නවතම වීඩියෝවෙන් අල් බැග්බෑඩි බගූස් නගරය අහිමිවීම ගැන කියයි. ඒ අනුව පැහැදිලි වන්නේ, නවතම වීඩියෝ දසුන් පෙළ පසුගිය දින කිහිපයේදී පටිගත කළ බව යැයි ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පෙන්වා දෙති. වීඩියෝ දසුන් පෙළට පසු ඇති හඬපටයේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ගැන සඳහන් වන බව ඬේලිමේල් වෙබ් අඩවිය වාර්තා කරයි.
බගූස් නුවර වෙනුවෙන් කළ සටන අවසන් වුණත්, ඉස්ලාමීය රාජ්‍යය බිඳ වැටුණත්, තම දර්ශනය අවසන් නොමැති බවත්, ඉදිරියටත් සටන් පවතිනු ඇති බවත් අයි.එස්. නායකයා අවධාරණය කර ඇත. තම සංවිධානය පිහිටුවා ගත් ඉස්ලාමීය රාජ්‍යය බිඳ වැටීමට හේතුවක් වූයේ මුස්ලිම් වැසියන්ට එරෙහිව ක්‍රිස්තියානුවන්ගේ ම්ලේච්ඡත්වය යැයි බැග්ඩෑඩි පවසයි. බැග්ඩෑඩි මේ සියල්ල පවසන්නේ, පෙර සකස් කරන ලබ පත්‍රිකාවක් බලාගෙනය.

බැග්ඩෑඩිට අමතරව, තවත් අයි.එස්. සාමාජිකයෝ තිදෙනක් වීඩියෝ දසුන් පෙළෙහි සිටිති. දෙදෙනකු වීඩියෝ දසුන් පෙළේ දකින්න ලැබෙන අතර හඳුනා ගැනීමට නොහැකි ලෙස ඔවුන්ගේ මුහුණු අපහැදිලි කර ඇත. තෙවැනියා කැමරාවට පිටුපා සිටින අතර, වීඩියෝ දසුන් පෙළට පසුව, ශ්‍රී ලංකාවේ බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් අදහස් දක්වන්නේ මේ තැනැත්තාය. මොවුන් තිදෙනාගේ අනන්‍යතාව ගැන කිසිදු හෝඩුවාවක් නැත. ඉස්ලාම් රාජ්‍යය බිඳ වැටෙද්දීත්, අයි.එස්. සංවිධානයට පරාජය අත්වෙද්දීත්,  බැග්ඩෑඩි සිටියේ ඔහුගේ වැඩිමල් සොයුරු ජුම්මා, රියැදුරා සහ අංගාරක්ෂකයා අබ්දුල්ලතීෆ් අල් ජුබුරි, සහ පණිවුඩකරු වන සෞද් අල් කුර්දි සමඟ යැයි ඇමෙරිකන් බුද්ධි අංශ පවසා තිබේ.

බැග්ඩෑඩිගේ මෙම වීඩියෝ දසුන් පෙළ සහ ඊට සම්බන්ධ හඬ පටය ප්‍රසිද්ධියට පත් තළේ අල් ෆුර්කාන් මාධ්‍ය ජාලයයි. අල් ෆුර්කාන් යනු අයි.එස්. ත්‍රස්තවාදීන්ට හිතවත් මාධ්‍ය ජාලයකි. වීඩියෝ දසුන් පෙළ, හඬපටය සහ ඡායාරූප ඇමෙරිකාවේ ‘සයිට් ඉන්ටෙල් ගෲප්’ නමැති ඇමෙරිකන් ආරක්ෂක සමාගමේ පූර්ණ විමර්ශනයකට ලක් වී ඇත. අන්තර් ජාලයට මුදා හැරෙන ඉස්ලාම් අන්තවාදීන්ගේත්, සුදු ජාතික අන්තවාදීන්ගේත් වීඩියෝ දසුන්, හඬපට සහ ඡායාරූප විමර්ශනය කරන එක් කණ්ඩායමක් ලෙස මොවුන් සැලකෙයි. ‘සයිට් ඉන්ටෙල් ගෲප්’ ප්‍රධානී රීටා කැට්ස් පෙන්වා දෙන්නේ, සිරියාවෙන් සහ ඉරාකයෙන් අඩපණ වුණැයි පැවැසෙන අයි.එස්. ත්‍රස්ත සංවිධානය තවමත් ලොවට තර්ජනයක් බවය

‘අයි.එස්. සංවිධානය අඩපණ වී නැහැ. ඒ විතරක් නොවෙයි, අයි.එස්. නායක බැග්ඩෑඩි එසේත් නැතිනම් ඉස්ලාමීය රාජ්‍යයේ කලීෆා තවමත් ජීවතුන් අතර සිටිනවා. ඔහු දැන් යළි කරළියට පැමිණ සිටිනවා. නව සාමාජිකයන් බඳවා ගැනීමට ඔහු උත්සාහ ගන්නා බවක් පෙනෙනවා. සිරියානු රජය පමණක් නොව, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ද පසුගිය මාර්තුවේ නිවේදනය කළේ ඉරාකයට මායිම්ව, නැගෙනහිර සිරියාවේ බොගූස් නගරය මුදා ගැනීමත් සමඟ අයි.එස්. සංවිධානය මුළුමනින්ම අඩපණ වූ බවය. බොගූස් නගරය මුදා ගැනීමට ගුවනින් පහර දුන් අවස්ථාවේදී ඉතිරි වූ අයි.එස් සාමාජික තරුණ තරුණියන් කඳුකරයේ ගල් ලෙන්වල සැඟවී දිවි බේරා ගැනීමට උත්සහ කළ බව පැවැසෙයි. කෙසේ නමුත් ලොව වඩාත් බිහිසුණුම ත්‍රස්තවාදියා ලෙස සැලකෙන බැග්ඩෑඩි ඒ පිරිස අතර නොසිටි බව මෙම වීඩියෝ දසුන්වලින් පැහැදිලි වෙයි. සිටින්නේ කොහෙදැයි නොදන්නා නිසා අල් බැග්ඩෑඩි ‘අවතාරය’ යන නමින් ද හැඳින්වෙයි.

(ඬේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS