පලස්තීන පුතුට කිරි දුන් යුදෙව් අම්මා



මාරක තුවාල ලබා රෝහල් ගත කෙරුණු පලස්තීන ජාතික කාන්තාවකගේ මාස 9 ක් වයසැති කුඩා දරුවකුට කිරි පෙවූ ඊශ්‍රායල ජාතික යුදෙව් හෙදියක් කෙරෙහි මේ වනවිට ලොව කාගේත් ප්‍රසාදය හිමිවී ඇත.

එම හෙදිය උලා ඔස්ට්‍රෝවිස්ක් සක් ය. ඇය ද අලුත් මවකි.

පලස්තීන ජාතික එම කාන්තාව, ඇගේ මාස 9 ක් වයසැති පුතු සහ සැමියා මාරක රිය අනතුරකට ලක් වූයේ මධ්‍යම ඊශ්‍රායලයේ ඉන් කරීම්හිදීය.

සැමියා එම ස්ථානයේදීම මියගොස් ඇත. වාසනාවකට දරුවාට කිසිදු අනතුරක් සිදු නොවිණි.

ඊශ්‍රායල වෛද්‍ය ආධාරකරුවන් වහා ක්‍රියාත්මක වී, තුවාල ලබා බරපතළ තත්ත්වයේ සිටි කාන්තාව, හදාෂ් එලින් කරීම් රෝහලට ඇතුළත් කළ අතර කම්පනයට පත්වී හඬමින් සිටි දරුවා ද රෝහලට ගෙන එන ලදී.

රෝහලට ගෙනා අවස්ථාවේදී දරුවා බලා ගැනීම උලා ඔස්ට්‍රෝවිස්ක් සක් ට පැවැරිණි. ඇය දරුවාට බෝතල් කිරි දීමට පැය ගණනාවක් උත්සාහ කළ නමුත් එය අසාර්ථක වී ඇත. අවසානයේදී දරුවාට කිරි පෙවීමට ඇය ඉදිරිපත් වූවාය.

මේ වනවිට රෝහලෙන් කළ දැනුම්දීමකට අනුව, කාන්තාවගේ වැඩිමල් සොහොයුරියක් සහ ඇගේ පවුලේ අය රෝහලට පැමිණ සිට ඇත.
පලස්තීන ජාතික ඔවුන්, යුදෙව් හෙදිය කළ දේ ගැන මවිතයට පත් වී ඇත. ඔවුන්ට එය අදහා ගැනීමට නොහැකි වූ බවත්, ඔවුන් එය දැක කඳුළු සැලූ බවත් මේල් ඔන්ලයින් පුවත් සේවය වාර්තා කරයි.

උලා ඔස්ට්‍රෝවිස්ක් සක් පසුව කියා සිටියේ තමා එම දරුවාට පස් වතාවක් කිරි දුන් බවය. මෙම පුවත වාර්තා වීමත් සමඟ ඊශ්‍රායලයේ නන්දෙසින් අලුත් මවුවරුන් රැසක් මෙම දරුවාට කිරි පෙවීමට ඉදිරිපත් වුණැයි ද වාර්තා විය.

දරුවා ලොකු අම්මාගේ බාරයට පත්වුණු බවත්, ඔහු රැකබලා ගැනීම ඇය විසින් සිදු කරනු ඇති බවත් මේල් ඔන්ලයින් පුවත් වෙබ් අඩවිය වැඩි දුරටත් වාර්තා කර තිබේ.

(මේල් ඔන්ලයින්)

 


RECOMMEND POSTS