පරිගණකයෙන් වැඩ පෙන්වන ගාසා තීරයේ පලස්තීන කෙල්ලෝ



ඊශ්‍රායල සොල්දාදුවන්ගේ කෙණෙහිලිකම් මැද ගාසා තීරයේ ජීවත් වන පලස්තීන යුවතියන් පරිගණක ක්ෂේත්‍රයෙන් සුවිශේෂී දක්ෂතා පෙන්නුම් කරන බවත් පලස්තීන යුවතියන් බොහෝ දෙනකු මේ වනවිට පරිගණක මෘදුකාංග දක්ෂයන් බවට පත් වී ඇති බවත් අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
සෙසු රටවල දක්ෂ නිර්මාණශීලී පරිගණක මෘදුකාංග ඉන්ජිනේරුවන්ට අභියෝගයක් වීමට පවා මෙම පලස්තීන යුවතියෝ සමත් වී සිටිති. අල් ජසීරා පුවත් සේවය ඊයේ (2) මෙම යුවතියන් සම්බන්ධයෙන් විශේෂ පුවත් වාර්තාවක් පළ කළේය.
පරිගණක සම්බන්ධයෙන් දැනුමක් ඇති යුවතියන් තෝරා ගනිමින් පරිගණක මෘදුකාංග ඉන්ජිනේරුවන් ලෙස පුහුණු කිරීම සිදු කරන්නේ ‘ගාසා ස්කයි ගීක්ස්’ නමැති රාජ්‍ය නොවන අධ්‍යාපන සමාගමය. මොවුන්ට විදෙස් ආධාර නොඅඩුව හිමිවෙයි.
මූලික පරිගණක දැනුමක් ඇති යුවතියන්ට මෙහිදී තම තමන්ගේ දක්ෂතා අනුව ඉදිරියට යෑමට හැකියාව ලැබී ඇතැයි වාර්තා වේ. අවුරුදු 12 සිට 21 තෙක් ගැහැනු දරුවෝ සහ යෞවනියෝ පිරිසක් මෙම ‘ගාසා ස්කයි ගීක්ස්’ පරිගණක ආයතනය සමඟ සම්බන්ධ වී සිටිති.
ජුමානා ස්රූර් නමැති යුවතිය ‘ගාසා ස්කයි ගීක්ස්’ පරිගණක අධ්‍යාපන ආයතනයට ඇතුළත් වී ඇත්තේ අවුරුදු 12 දීය. එදා සිට පරිගණක කේත ගැන හසළ දැනුමක් ලබා ගත් ඇය අද 15 හැවිරිදි වියෙහි පසුවන්නීය. අද වනවිට ජුමානා ස්රූර් ‘අර්ලි අලර්ට්’ නමින් පරිගණක මෘදුකාංග වැඩසටහනක් නිර්මාණය කර ඇත. ‘අර්ලි අලර්ට්’ රියැදුරන්ට වාහන තදබද, මගීන් බහුල වීදි ආදිය සම්බන්ධයෙන් කල් තියා දැනුවත් කරන මෘදුකාංගයකි.

අල් ජසීරා ඇසුරිනි


RECOMMEND POSTS