නාසා යානය ග්‍රහකයක් අල්ලයි



ඒ, 1999 සැපැත්ම්බර් 11 වැනිදාය. හිරු වටා යන මීටර් 20 ක් පළලැති ග්‍රහකයක් සොයා ගැනීමට පෘථිවි තාරකා විද්‍යාඥයෝ සමත් වූහ.

‘බෙන්නු’ යන නමින් මෙම ග්‍රහකය නම් කෙරුණි. බෙන්නු යනු මිසර (පුරාණ ඊජිප්තුව) දේව පුරාණයට අනුව, හිරු දෙවියන් වන ‘රා’ හා සම්බන්ධ කුරුල්ලෙකි.

බෙන්නු ගැන තාරකා විද්‍යාඥයන් විශේෂ උනන්දුවක් දැක්වීමට පටන්ගෙන ඇති අතර, ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයෝ ඒ අතර ඉදිරියෙන් ම සිටිති. හිරු වටා සැරිසරන දස දහස් ගණනක් ග්‍රහක සහ ග්‍රහක කැබලි අතරින් බෙන්නු විශේෂ වන්නේ කුමක් නිසාද?

බෙන්නු ග්‍රහකය, 2060 සැප්තැම්බරයේත්, 2175 වසරේදීත් පෘථිවිය අසලින් යෑමට නියමිතය. 2060 සැප්තැම්බර් 23 වැනිදා බෙන්නු පෘථිවිය පසු කර යනු ඇත්තේ පෘථිවියේ සිට සැතපුම් 460,000 ක දුරකිනි. බෙන්නුගේ ගමන් මඟ නිවැරදිව ගණනය කිරීමට නාසා විද්‍යාඥයන්ට හැකි වී ඇත්තේ සුපිරි පරිගණක ආධාරයෙනි.

එම ගණනය කිරීම් අනුව, 2175 වසරේදී බෙන්නුගේ ගමන් මඟ වැටී ඇත්තේ පෘථිවිය හරහාය. ඒ අනුව, ග්‍රහකය පෘථිවියේ හැපෙනු නිසැකය. එය ලෝක අවසානයට හේතුවක් වනු නිසැකය.

අනාගතයේ දිනක පෘථිවියට තර්ජනයක් වන බෙන්නු ග්‍රහකය ගවේෂණය කිරීමට ඒ අනුව, නාසා තීරණය කළේය. මීට වසර 3 කට පෙර 2018 දී විශේෂ රොකට්ටුවක ආධාරයෙන් නාසා විද්‍යාඥයෝ රොබෝ ගවේෂණ යානයක්, පැයට සැතපුම් 63,0000 ක වේගයකින් විශ්වයේ ඇදී යන බෙන්නු ග්‍රහකය වෙත පිටත් කර හැරියේය. ‘ඔසයිරස් රෙක්ස්’ යනු එම යානයයි. ‘ඔසයිරස් රෙක්ස්’ නාසා ආයතනයේ සෙසු රොබෝ යානා මෙන් නොව, ප්‍රමාණයෙන් විශාල එකකි.

දීර්ඝ අභ්‍යවකාශ ගමනකින් පසු බෙන්නු ග්‍රහකයට සමීප වූ ඔසයිරිස් රෙක්ස් යානය, පසුගිය 21 වැනිදා ග්‍රහකයේ වේගයට සමාන අයුරින් ගමන් කරමින්, ග්‍රහකයට පහත් වී, පස් සහ දූවිලි සාම්පල සූරා එක් රැස් කර ගත්තේය. ඒ, ග්‍රහකයට ගොඩබෑමක් නොකරය. සූරා ගත් පස් සහ දූවිලි ප්‍රමාණය ග්‍රෑම් කීපයක් පමණි.

මෙය විශ්ව ගවේෂණයේ තවත් අපූරු වික්‍රමයක් විය. දශමයක හෝ වරදක් සිදුවූයේ නම් මෙහෙයුම අවසන් වීමට ඉඩ තිබුණි. සාම්පල සූරා ලබා ගැනීමට රොබෝ යානයට අඩි 11 ක් දිග විශේෂ රෙබෝ අතක් සවි කර තිබුණු අතර, ග්‍රහකයේ ඡායාරූප ලබා ගැනීමට අති නවීන කැමරා පද්ධතියක් ද යානය සතු විය. මෙහෙයුම සිදුවෙද්දී, බෙන්නු ග්‍රහකය පිහිටියේ පෘථිවියේ සිට සැතපුම් මිලියන 200 ක් දුරකින්ය.

තවත් සුවිශේෂී කරුණක් ඇත. විශ්වයේ ඈත සිදුවුණු මෙම වික්‍රමය‍ ඔසයිරිස් රෙක්ස් යානයේ කැමරා දසුන් හරහා නාසා ආයතනයට ලැබුණු අතර, නාසා විද්‍යාඥයන් එම සජීවී දසුන් පෘථිවි වාසීන්ට නැරඹීමට අවස්ථාවක් උදාකර දුන්නේය. ඒ, නාසා වෙබ් අඩවිය ඔස්සේය. එය සැබැවින්ම අපූරු අත්දැකීමක් විය.

මෙහෙයුම සාර්ථක වූයේ පෘථිවියේ සිට යානය හැසිරවූ තාක්ෂණික ශිල්පීන්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේය. ග්‍රහකයට සෙමින් පහත් වී, සූරා සාම්පල ලබා ගැනීමේ එම අසීරු මෙහෙයුමට පැය 4 කට වැඩි කාලයක් ගත විණි. සාම්පල ලබා ගැනීමෙන් පසු රොබෝ යානයට උපදෙස් ලැබී ඇත්තේ ආපසු පෘථිවියට පැමිණීමටය. යානය ආපසු පෘථිවියට පැමිණීම සිදුවනු ඇත්තේ 2023 දීය. ඇමෙරිකාවේ නාසා ආයතනය ග්‍රහකයකින් සාම්පල ලබා ගත් පළමු අවස්ථාව ද මෙයයි.

බෙන්නු, සෞරග්‍රහ මණ්ඩලය ආරම්භයේ දී සිදුවුණු පිපිරීම් සහ හැලහැප්පීම් හේතුවෙන් කැඩී වෙන්වී ගිය ග්‍රහක කැබැල්ලකි. එහි සාම්පල පරීක්ෂා කිරීමේදී විශ්වයේ රහස් පමණක් නොව, ජීවය ආරම්භයේ රහස් ද අනාවරණය කර ගැනීමට නාසා විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.

එපමණක් නොව, වසර 2175 දී පෘථිවියේ ගැටීමට නියමිත බෙන්නු නවත්වනන්නේ කෙසේදැයි යන්නට පිළියමක් ඔවුන් සොයනු නොඅනුමානය.

ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි

RECOMMEND POSTS