නවාස් ෂරීෆ් අගමැති නිල නිවසින් යයි



පාකිස්තාන අගමැති ධුරයට සමුදුන් නවාස් ෂරීෆ් සිය පවුලේ සාමාජිකයන් ද සමඟ ඉකුත් දා ඉස්ලාමාබාද් නුවර අගමැති නිල නිවසින් පිටවී ඔවුන්ට අයත් නිකේතනයක් බලා නික්ම ගියේ යැයි පාකිස්තාන පුවත් සේවා වාර්තා කරයි.

අගමැති ෂරීෆ් සමඟ බිරිඳ කුල්සුම් නවාස් සහ දියණිය මාර්යාම් නවාස් සහ දියණියගේ සැමියා වන සෆ්දාර් ද ඉස්ලාමාබාද් නුවරට නුදුරින් මුරේහි පිහිටි ඔවුන්ගේ පෞද්ගලික නිවාඩු නිකේතනය බලා ගිය බව මාධ්‍ය වාර්තා වැඩි දුරටත් කියා සිටී.

තානාපති නිල නිවසින් පිටවී යෑමට පෙර, සියලුම සේවක සේවිකායන් හමුවී ස්තුති කිරීමට ෂරීෆ් කටයුතු කළේ යැයි ද වාර්තා වේ.

අගමැති නවාස් ෂරීෆ් පසුගිය සිකුරාදා සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ඊට හේතු වූයේ නවාස් ෂරීෆ් අගමැති ධුරයට සුදුසු නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමඟය.

ශ්‍රේෂ්ඨාධිකරණය  එසේ තීන්දු කළේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් අගමැතිවරයා වරදකරු කරමිණි.

එම චෝදනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන්නැයි ද පස් පුද්ගල විනිසුරු මඬුල්ල වැඩි දුරටත් තීන්දු කළේය. තමා කිසිදු වරදක් කර නොමැති බව නවාස් ෂරීෆ් දිගින් දිගටම පවසා ඇත.

පාකිස්තානයේ පුරප්පාඩු වුණු අගමැති ධුරය වෙනුවෙන් සුදුස්සකු තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුව රැස් වෙයි. පාකිස්තානයේ පාලක පක්ෂය වන්නේ පාකිස්තාන මුස්ලිම් ලීගය එන් ය.

නවාස් ෂරීෆ් වෙනුවට ඔහුගේ බාල සොයුරු ෂබාස් ෂරීෆ් අගමැති ධුරයට පත් කර ගැනීමට මුස්ලිම් ලීගය පක්ෂය සූදානම් වෙයි. ඒ සඳහා ඔහුට නවාස් ෂරීෆ්ගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු ආසනය වෙනුවෙන් තරග වැදීමට සිදුවෙයි.

ඒ ඉදිරියේදී පැවැත්වීමට නියමිත අතුරු මැතිවරණයකදීය. පාකිස්තාන පාර්ලිමේන්තුවේ බහුතරය බලය හිමිව ඇත්තේ ද පාකිස්තාන මුස්ලිම් ලීගය-නවාස් පක්ෂයටය.

(රොයිටර්)


RECOMMEND POSTS