දරුවන්ට එන්නත් දීම දිගටම



'කොවිඩ් 19' වයිරසයට එරෙහි එන්නත්කරණ කටයුතු ලහිලහියේ සිදුවෙයි. ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවල් ද ඊශ්‍රායලය ද මේ වනවිට පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා ලබා ගත් සැමට තෙවැනි එන්නත් මාත්‍රාවක් ද ලබා දෙයි. ඒ, ප්‍රවර්ධකයක් ලෙසය.

ධනවත් මෙන්ම බලවත් රටවල් මෙසේ තෙවැනි මාත්‍රාවක් ලබා දෙද්දී, කිසිදු එන්නතක් තවමත් නොලැබුණු බොහෝ දෙනකු ද සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි. අවුරුදු 18 ට වැඩි සියලුදෙනාට එන්නත් ලබා දී අවසන් වෙද්දී, අවුරුදු 18 ට අඩු දරුවන්ට එන්නත් ලබා දීම කෙරෙහි ද රටවල් රැසක අවධානය යොමු වී ඇති අතර, දරුවන්ට එන්නත් ලබා දීම ආරම්භ කර අවසන්ය.

අවුරුදු 12ට අඩු වයස් කාණ්ඩයේ දරුවන්ට එන්නත් ලබා දීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් දත්ත ලැබී නොමැති බැවින්, එන්නත් ලබා දීම සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරනු ලැබ ඇත්තේ අවුරුදු 12ත් 15ත් වයස් කාණ්ඩයේ දරුවන්ට පමණි. අවුරුදු 18ට වැඩි ඕනෑම අයකුට තමන් අනුමත කර ඇති එන්නත් ආරක්ෂිත යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇති නමුත් අවුරුදු 12ත් 15ත් වයස් කාණ්ඩයේ දරුවන් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇත්තේ ඇමෙරිකාවේ 'ෆයිසර්' එන්නත පමණි. ලෝක සෞඛ්‍ය සංවිධානය එසේ පැවැසුවත්, විවිධ රටවල් ඔවුන්ගේ අභිමතය පරිදි සෞඛ්‍ය බලධාරීන් ලබා දෙන නිර්දේශ අනුව, කුඩා දරුවන්ට එන්නත් ලබා දීම සිදු කරයි.

පළමුවෙන්ම කුඩා දරුවන්ට 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම ආරම්භ කළේ ඇමෙරිකාව, කැනඩාව සහ ඊශ්‍රායලය යන රටවල්ය. එම රටවල අවුරුදු 12 ට වැඩි සැමට ලබා දෙන්නේ 'ෆයිසර්' එන්නතය. ඇමෙරිකාවේ නිපදවන 'ෆයිසර්' එන්නත ඉතා සාර්ථක එන්නතක් ලෙස සැලකෙයි. මෙය එම්.ආර්.එන්.ඒ. (mRNA) එන්නතක් වන අතර මෙතෙක් එළිදක්වා ඇති අනෙක් එම්.ආර්.එන්.ඒ. (mRNA) එන්නත ඇමෙරිකාවේ නිපදවන මොඩර්නා එන්නත පමණි. එම්.ආර්.එන්.ඒ. (mRNA) එන්නත්වල ඇත්තේ, 'කොවිඩ් 19' වයිරස විෂබීජයේ ජානවලින් සකසනු ලැබූ කේතයකි. සිරුරට එන්නත් කෙරෙන්නේ එයයි.

'ෆයිසර්' එන්නත අවුරුදු 12ත් 15ත් දරුවන්ට සුදුසු යැයි සායනික පර්යේෂණවලින් තහවුරු වී තිබේ. එම පර්යේෂණ වාර්තා සහ අදාල දත්ත ඇමෙරිකාවේ වසංගත රෝග පාලන ඒකකයේත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේත් පැහැදීමකට හේතුවක්වී ඇත. ඒ අනුව, කුඩා දරුවන්ට සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන්නේ ද 'ෆයිසර්' එන්නතය.

'ෆයිසර්' එන්නත මාත්‍රා දෙකකින් සමන්විත වන අතර, ඇමෙරිකාව, කැනඩාව සහ ඊශ්‍රායලය එරට දරුවන්ට 'ෆයිසර්' මාත්‍රා දෙකම ලබා දෙයි. යුරෝපා සංගමයේ රටවල් වෙනුවෙන් එන්නත් අනුමත කරන්නේ 'යුරෝපා වෛද්‍ය පර්යේෂණ මණ්ඩලයයි. එම මණ්ඩලය යුරෝපා රටවල දරුවන් සඳහා ෆයිසර් එන්නතට අනුමැතිය දුන්නේ පසුගිය මාර්තුවේදීය. ඒ අනුව ඩෙන්මාර්කය, ස්පාඤ්ඤය, ප්‍රංශය, ජර්මනිය, ස්වීඩනය අවුරුදු 12ත් 19ත් අතරේ දරුවන්ට ද 'ෆයිසර්' එන්නත මාත්‍රා සෙක බැගින් ලබා දීම ආරම්භ කර තිබේ. මහා බ්‍රිතාන්‍යය ද මේ වනවිට ඔවුන්ගේ අවුරුදු 12ත් 15ත් වයස් කාණ්ඩයේ දරුවන්ට එන්නත් ලබා දීම ආරම්භ කර තිබේ. කෙසේ නමුත් බ්‍රිතාන්‍ය ප්‍රධාන වෛද්‍ය නිලධාරීන් තීරණය කර ඇත්තේ අවුරුදු 12ත් 15ත් වයස් කාණ්ඩයේ දරුවන්ට ෆයිසර් එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් බවය.

චීනය පසුගිය ජූනි මාසයේ සිට එරට අවුරුදු 3ත් 17ත් වයස් කාණ්ඩයේ දරුවන්ට 'සිනොවැක්' එන්නත ලබා දීම ආරම්භ කළේය. 'සිනොවැක්' චීන 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නතය. චිලී රාජ්‍යය සහ එරට අවුරුදු 6ත් 17ත් අතර වයසේ දරුවන්ට ලබා දෙන්නේ ද 'සිනොවැක්' එන්නතය. දකුණු අප්‍රිකාව එරට මාස 6 සිට 17 තෙක් දරුවන්ට 'සිනොවැක්' එන්නත ලබා දීම ආරම්භ කර තිබේ. චීනයේ 'සයිනෝෆාම්' සහ 'සිනොවැක්' එන්නත් ද හදිසි භාවිතයට සුදුසු යැයි සෞදි අරාබිය තීරණය කර ඇත. ඒ අනුව, 'ෆයිසර්', 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්', 'මොඩර්නා' සහ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත්වලට අමතරව ඉදිරියේ දී 'සයිනෝෆාම්' සහ 'සිනොවැක්' එන්නත් ද සෞදි වැසියන්ට හිමිවෙයි. සෞදියේ අවුරුදු 12 ට වැඩි සියලු දෙනාට එන්නත් ලබා දීම සිදුවෙයි. අවුරුදු 12 ත් 18 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට ලබා දෙන්නේ 'ෆයිසර්' එන්නතය.

නව මාදිලියේ මාත්‍රා තුනකින් යුත් 'කොවිඩ් 19' එන්නතක් සඳහා ඉන්දීය ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමිවී තිබේ. මෙම එන්නත 'කොවිඩ් 19' වයිරසයට එරෙහිව ලොව නිපදවනු ලැබූ පළමු ඩී.එන්.ඒ. වර්ගයේ එන්නත වීම විශේෂත්වයකි. ඩී.එන්.ඒ. එන්නතක් ලෙස සැලකෙන්නේ, කෙළින්ම 'කොවිඩ් 19' වයිරසයේ ඩී.එන්.ඒ. අණු යොදා ගනිමින් නිපදවන එන්නතකි. එන්නතයට ඇතුළත් කළ පසු, වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණයක් ලෙස නිර්මාණය වන ප්‍රෝටීන බොහෝම ඉක්මණින් සහ සාර්ථකව වර්ධනය වෙයි.

ඒ අනුව මෙම නව එන්නත 'ඩෙල්ටා' ඇතුළු විකෘති කොරෝනාවලට සාර්ථක එන්නතක් යැයි එහි නිෂ්පාදකයන් පෙන්වා දී ඇත. ZyCoV-D යන නිල නාමයෙන් හැඳින්වෙන මෙම එන්නත නිපදවා ඇත්තේ ඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තයේ අහමදාබාද් නුවර පිහිටි 'සයිඩුස් කැඩිලා' ඖෂධ නිෂ්පාදන සමාගමය. 'සයිඩුස් කැඩිලා' සමගමේ මෙම ZyCoV-D එන්නත, ඉන්දියාවේ අවුරුදු 12 ත් 18 ත් අතර වයස් කාණ්ඩයේ දරුවන්ට ඉදිරියේ දී ලැබෙනු ඇත. ඒ, මෙම එන්නත සඳහා ඉන්දීය ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමි වී ඇති බැවිනි.

ඔක්තෝබර් මාසය වනවිට දරුවන්ට මෙම එන්නත ලබා දීමට පියවර ගන්නා බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසා තිබේ. ZyCoV-D එන්නත අවුරුදු 2 සිට 12 දක්වා දරුවන්ට ලබා දීම සම්බන්ධයෙන් සායනික අත්හදා බැලීම් ආරම්භ වී ඇතැයි ඉන්දීය මාධය වාර්තා පෙන්වා දෙයි. මේ වනවිටත් ඉන්දියානුවන්ට ලැබෙන එන්නත්වලින් එකක් වන 'කොවැක්සින්' ඉන්දීය තාක්ෂණයෙන් නිෂ්පාදිත පළමු එන්නතය. 'කොවැක්සින්' එන්නත ඉන්දීය රජයට අයත් 'භාරත් බයෝටෙක්' සමාගමේ නිෂ්පාදනයකි. මෙය ද කුඩා දරුවන්ට ලබා දීම සුදුසු යන්න සම්බන්ධයෙන් සායනික පර්යේෂණ සිදු වෙමින් පවතී.

'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා', රුසියාවේ 'ස්පුට්නික් 5', චීනයේ 'සයිනෝෆාම්' ඇතුළු අනෙක් සියලු එන්නත්වලින් සිදුවන්නේ, 'කොවිඩ් 19' වයිරසය සිරුරට ඇතුළු වීමෙන් පසු සිරුරේ ඊට එරෙහිව නිපදවන ප්‍රතිශක්තිය, එන්නත හරහා කල්තියා සිරුරේ ඇති කිරීමට සැලැස්වීමය. එවිට වයිරසය යම් හෙයකින් සිරුරට ඇතුළු වුවහොත් ඊට එරෙහිව සටන් වැදීමට සිරුරේ ප්‍රතිශක්තිය නිර්මාණය කෙරෙයි.

කියුබාවේ අවුරුදු 2 ත් 6 ත් අතර වයසේ කාණ්ඩයේ දරුවන් සඳහා 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම ආරම්භ විය. ඒ අනුව, අවුරුදු 2ත් 6ත් වයස් කාණ්ඩයේ දරුවන් සඳහා එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කළ පළමු රට වන්නේ කියුබාවය. ඇමෙරිකන් සම්බාධකවලින් ද පීඩාවට පත්, මිලියන 11.2 ක ජනගහනයක් වෙසෙන, කොමියුනිස්ට් රාජ්‍ය්‍යක් ද වන කියුබාව, එරට වැසියන් සඳහා ලබා දෙන්නේ එරට විද්‍යාඥයන් එරට තාක්ෂණය යොදා ගනිමින් නිපදවූ 'කොවිඩ් 19' එන්නතය. එම එන්නත් නම් කර ඇත්තේ 'අබ්ඩාලා' සහ 'සොබර්නා' යනුවෙනි.

මේවා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පර්යේෂණ කිසිවක් මෙතෙක් සිදුවී නැති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය පවා යොමු වී නැත. 'අබ්ඩාලා' සහ 'සොබර්නා' යනු ලතින් ඇමෙරිකා කලාපීය රටක නිර්මාණය කළ පළමු එන්නත් දෙකය. කියුබාව අයත් වන්නේ ලතින් ඇමෙරිකා කලාපයටය. 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් කියුබාවේ පාසල් 2020 මාර්තුවේ සිට වසා දමා තිබේ. දරුවන් සියලු දෙනාට එන්නත් ලබා දී කඩිනමින් පාසල් ආරම්භ කරමින්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යළි සුපුරුදු පරිදි කරගෙන යෑමට කියුබානු රජය බලාපොරොත්තු වෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS