තලේබාන් ත්‍රස්තයන්ට එරෙහි සටනට බළඇණියක්



තලේබාන් සංවිධානයට එරෙහිව සටන් වැදීමට 3000කින් යුත් බලකායක් ඇෆ්ගනිස්තානය වෙත යැවීමට එක්සත් ජනපද හමුදා නිලධාරීන් හා රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
 
තලේබාන් නායකයන් සිටින ස්ථානවලට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට හමුදාවේ ඉහළ පෙළේ නිලධාරීන් අවසර ඉල්ලා ඇතැයි ද එම වාර්තාවල දැක්විණි. කෙසේ නමුත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඒ සඳහා අවසර දී නැතැයි නම් සඳහන් නොකළ නිලධාරීහූ පිරිසක් ප්‍රකාශ කළහ. නේටෝ රටවල් ඇෆ්ගනිස්තානය වෙත සෙබළුන් 3,000ත් 5,000ත් අතර පිරිසක් යැවීම සඳහා ඉල්ලීමක් කරනු ඇතැයි ද වාර්තා විය.
 
දැනට 13,000ක නේටෝ හමුදා බලඇණියක් ඇෆ්ගනිස්තානයේ සිටින අතර ඉන් සොල්දාදුවන් එක්සත් ජනපද හමුදාවෙනි. තලේබාන් සංවිධානයට එරෙහිව ඇසෙරිකා හමුදා දියත් කළ මෙහෙයුම් 2014 වසරේදී නිල වශයෙන් අවසන් වූ අතර ඇමෙරිකා හමුදාවේ විශේෂ බලකා ඇෆ්ගනිස්තාන හමුදාවලට සහාය දීම අඛණ්ඩව පවත්වාගෙන ගියේය.
 
දහස් ගණනක හමුදාවල අඩුවක් තිබෙන බව ඇෆ්ගනිස්තානයේ සිටින හමුදා බලඇණිවල අණදෙන නිලධාරී ජෙනරල් ජෝන් නිකල්සන් පසුගිය පෙබරවාරි මාසයේදී සෙනට් සභාවේ කමිටුවක් හමුවේ පැවැසීය.
 
ඇෆ්ගනිස්තානයේ මසාර් ඊ ෂරීෆ් නගරයේ පිහිටි හමුදා කඳවුරකට ප්‍රහාරයක් එල්ල කරමින් තලේබාන් සංවිධානය ඇෆ්ගන් සොල්දාදුවන් 135ක් ඝාතනය කළේය. ඉන් සතියකට පසු ප්‍රහාර මාලාවක් එල්ල කරන බව තලේබාන් සංවිධානය නිවේදනය කළේය.
 
හර්ෂණ තුෂාර සිල්වා
(රොයිටර්)

RECOMMEND POSTS