ඩෙංගු නසන්න අලුත් මදුරුවෙක්



‘කොවිඞ් 19’ නව කොරෝනා වයිරසයේ කේන්ද්‍රස්ථානය ඇමෙරිකාවය. ෆ්ලොරීඩා ප්‍රාන්තයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන දිනෙන් දින ඉහළ යයි. මේ කොරෝනා වයිරසය ගැන නොවෙයි. ශ්‍රී ලාංකික අපට ද ආගන්තුක නොවන ඩෙංගු වයිරසය ගැනයි. කොරෝනා වයිරසයට අමතරව, ෆ්ලොරීඩා වැසියෝ වාර්ෂිකව ඩෙංගු වයිරසයෙන් පමණක් නොව, සීකා සහ කහ උණ වයිරසවලින් ද පීඩාවට පත් වී සිටිති. මේ වයිරස මනුෂ්‍ය අපට බෝ කරන්නේ, මනුෂ්‍ය අපට වින කරන ලොව බිහිසුණු ම සතා ය. ඒ සතා මදුරුවා ය.

මදුරු උවදුර පිටුදැකීමට ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ වෛද්‍ය පර්යේෂණ සමාගමක් ජාන වෙනස් කළ මදුරුවන් නිර්මාණය කර, උන් පරිසරයට මුදා හැරීමට සූදානම් වෙයි. කොරෝනා හේතුවෙන් එම වැඩපිළිවෙළ යම් පසුබෑමකට ලක් වුවත්, 2021 වසර වනවිට එය සම්පූර්ණ කිරීමට ෆ්ලොරීඩා ප්‍රාන්ත බලධාරීහු සූදානමින් සිටිති.

ඩෙංගු, සීකා සහ කහ උණ ආදී වයිරස පතුරුවන්නේ ඒඩිස් ඊජිප්ටායි මදුරු විශේෂයයි. ලේ බොන්නේ ගැහැනු මදුරුවා පමණි. ඒ බිත්තර දැමීමට ය. පිරිමි මදුරුවා බොන්නේ මල් පැණිය. විද්‍යාඥයන් ජාන විකෘති කරමින් නිර්මාණය කර ඇත්තේ පිරිමි මදුරුවන් ය. මෙම නව මදුරුවන් නම් කර ඇත්තේ ‘ඕඑක්ස්5034’ යන විද්‍යාත්මක නාමයෙනි. ජාන වෙනස් කළ පිරිමි මදුරුවන්ගේ සිරුරේ විශේෂිත ප්‍රෝටීනයක් සක්‍රීය කර තිබේ. පිරිමි මදුරුවා ගැහැනු මදුරුවන් සමඟ එක් වෙද්දී, ප්‍රෝටීනය නිසා දමන බිත්තර නිසරු වෙයි. නැතිනම් උපදින මදුරු පැටවුන් ලේ බොන තත්ත්වය තෙක් වර්ධනය නොවී මියයයි.  

ජාන වෙනස් කළ ‘ඕඑක්ස්5034’ මදුරුවන් පළමුවෙන් හඳුන්වා දීමට යන්නේ ෆ්ලොරීඩා කීස් පළාතටය. ‘ෆ්ලොරීඩා කීස් මදුරු මර්දන ඒකකය’ ජාන වෙනස් කළ මදුරුවන් මිලියන 750 ක් සඳහා අනුමැතිය ලබා දී ඇත. ඒ, වසර දෙකක කාලයක් සඳහා ය. ජාන වෙනස් කරමින් මදුරුවන් නිර්මාණය කර ඇත්තේ ‘ඔක්සිටෙක්’ නමැති ඇමෙරිකන් වෛද්‍ය පර්යේෂණ ආයතනයයි. ඒ, ඇමෙරිකන් පරිසර ඒජන්සියේ අනුග්‍රහය සහ අධීක්ෂණය යටතේය.

බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS