ඩයිනසෝරයෙක් වගේ අමුතු සතෙක්



පෙනුමින් ඩයිනසෝරයකුට සමාන අමුතු විදියේ සතකුගේ පොසිලකරණයට ලක්වුණු අස්ථි සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකි වී ඇති බව ඬේලිමේල් වෙබ් අඩවිය පෙන්වා දෙයි.

මේ සත්වයා උරගයකු වැනිය. ජීවත් වූ බව පැවැසෙන්නේ අවුරුදු මිලියන 210 කට පෙර අතීතයේය. මේ සත්වයා වර්තමානයේ අපට දකින්න ලැබෙන හයිනා දඩයම් බල්ලන් මෙන්, ගොදුරු කර ගන්නා සතුන්ගේ අස්ථි පොඩි පට්ටම් කර ආහාරයට ගත් බව පැවැසෙයි. ඒ, ලවණ වෙනුවෙන් සහ ඇටමිඳුළු ශ්‍රාවයන් උරා ගැනීමටය. විද්‍යාඥයන් මේ අමුතු සත්වයා නම් කර ඇත්තේ ස්මොක් වැවෙල්ස්කී යන නමිනි.

ස්මොක් වැවෙල්ස්කී
ස්මොක් වැවෙල්ස්කී අයත් වන්නේ ආචසෝර් පවුලටය. ස්මොක් වැවෙල්ස්කී ගැන ලොවට කියන්න හැකිවූයේ ස්වීඩනටේ උප්සාලා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සහ විද්‍යාඥයන් පිරිසකි. ටී රෙක්ස් අයත් වන ‘ටයිරැනෝසෝරිඞ්’ පවුලේ ඩයිනසෝරයන් උතුරු ඇමෙරිකාවේ බිහිවූයේ මීට අවුරුදු මිලියන 140 කට පෙරය. ස්මොක් වැවෙල්ස්කී ටී රෙක්ස්ගේ ඥාතියෙකු හෝ සැබෑ ඩයිනසෝරයකු හෝ යැයි කීමට කිසිදු ප්‍රබල සාක්ෂියක් හමුවී නැති බව විද්‍යාඥයෝ පැහැදිලි කරති. ස්මොක් වැවෙල්ස්කීගේ හමුවුණු පොසිල අස්ථි කොටස් ත්‍රීඩී ක්‍රමයට පරිගණක හරහා ප්‍රතිනිර්මාණය කිරීමට ද විද්‍යාඥයන් බලාපොරොත්තුවෙන් සිටින බව පැවැසෙයි.

ආචසෝරයෝ
‘ආචසෝර්’ යනු විශාල ලෙස ව්‍යාප්ත වූ උරග පවුලකි. ‘ආචසෝරියා’ පවුලට අයත් උප විශේෂයක් ලෙස ඩයිනසෝරයන් පමණක් නොව ගුවන ජය ගත් ටෙරසෝරයන් මේ පවුලට අයත් වෙයි. වෙනත් ආචසෝර උප විශේෂ අතරට කුරුල්ලන් ද අයත් වෙයි. විද්‍යාඥයන්ගේ අදහස වන්නේ ඩයිනසෝරයන්ගෙන් කුරුල්ලන් පරිණාමය වන්න ඇති බවය. කෙසේ නමුත් ‘ආචසෝරියා’ පවුලට සෘජුව නෑකම් කියන අද දකින්න ලැබෙන උරග විශේෂය ලෙස සැලකෙන්නේ කිඹුලන්ය. ඩයිනසෝරයන් කුරුල්ලන්ට සමානකම් දක්වන බවත්, උරගයන්ට ඇති සමානකම් අඩු බවත් විදඥාඥයන්ගේ අදහස වී තිබේ. ඒ නිසාම, ඩයිනසෝරයන් අයත් වන්නේ කිනම් කාණ්ඩයට ද යන්න පිළිබඳ වාදවිසවාද පවතී. මුල්ම ඩයිනසෝරයන් ඔවුන්ගේ පසුපස ග්‍රතාවලින් දුව පැන ගියත්, ඒ ඩයිනසෝරයන්ගේ ආදීතමයන්ට එසේ කිරීමේ හැකියාවක් තිබී නැති බව පැවැසෙයි.

ඬේලිමේල් ඇසුරිනි

 


RECOMMEND POSTS