ටී රෙක්ස් පවුලේ අලුත් සාමාජිකයා



ඩයිනසෝරයන්ගේ රජු ලෙසත්, කවුරුත් හොඳින් දන්නා ලොව ජනප්‍රියතම ඩයිනසෝරයා ලෙසත් ප්‍රසිද්ධ ටයිරැනසෝරස් රෙක්ස් ය.

ටයිරැනසෝරස් රෙක්ස් කෙටියෙන් හැඳින්වෙන්නේ ටී රෙක්ස් යනුවෙනි. ටී රෙක්ස් දැවැන්තයෙකි. ශක්තිවන්තයෙකි. පසුගිය දා මින් පෙර හමුනොවුණු නව ඩයිනසෝරයකු සොයා ගත් බව පොසිල විද්‍යාඥයෝ පැවැසූහ. මේ ඩයිනසෝරයා ටී රෙක්ස්ට ඥාති වන ටී රෙක්ස් අයත් ඩයිනසෝර පවුලේ සාමාජිකයෙකි.

ටී රෙක්ස්ට නෑකම් කියන මෙම නව ඩයිනසෝරයාගේ කතාව ඇරැඹෙන්නේ 2010 වසරේ කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තයෙනි. ඇල්බර්ටා යනු බටහිර කැනඩාවේ වනාන්තර බහුල ප්‍රාන්තයකි. ජෝන් දෙ ගෲට් නමැති ගොවියා සහ ඔහුගේ පවුලේ සාමාජිකයෝ ඇල්බර්ටා ප්‍රාන්තයේ වනාන්තර ප්‍රදේශයක ගංගාවක් අසල විනෝද චාරිකාවකට ගියහ.

එහිදී පිරිසට ගං ඉවුරේ වැළැලී ගිය පොසිලකරණයට ලක්වුණු ඩයිනසෝර හිස් කබලක් සොයා ගැනීමට ඔවුන්ට හැකිවිය. ඇල්බර්ටාවෙන් ඩයිනසෝරයන්ගේ පොසිල අස්ථි මීට පෙර අවස්ථා ගණනාවකදී හමුවී තිබේ. ජෝන් ගෲට්, ඩයිනසෝර හිස් කබල කැල්ගරි විශ්ව විද්‍යාලයට භාර දුන්නේය. හිස් කබල විශ්ව විද්‍යාලයේ ආරක්ෂිතව තැම්පත් කෙරුණි. ඒ, එය කුමන ආකාරයේ ඩයිනසෝරකුගේ හඳුනා නොගත් බැවිනි.

සොයා ගැනීමට දායක වුණු ජෙරාඞ් වොරිස් (මැද)

වසර දෙකකට පසු, ඩයිනසෝර හිස් කබල ආචාර්ය උපාධිය හදාරන සිසුවකු වන ජෙරාඞ් වොරිස්ගේ අවධානයට යොමු වුණු අතර, හිස් කබලේ සහ උඩු හනුවේ දත් පිහිටා ඇති ආකාරය වොරිස්ගේ සියුම් පරීක්ෂණයට ලක්විය. ඒ අනුව පොසිල විද්‍යාඥයන් මැදිහත් වී, වැඩිදුර පරීක්ෂණ පැවැත්විණි. ඒ, මෙම ඩයිනසෝරයා නව ඩයිනසෝර විශේෂයක් බව අනුමාන කරමිණි. ඩයිනසෝරයාගේ දියුණු උල් දත් පේළිය විද්‍යාඥයන්ගේ මවිතයට හේතුවක් විය.

දත් පිහිටීම අනුව, දිගු උල් හොම්බක් සහිත මුහුණක් ඩයිනසෝරයාට තිබෙන්න ඇතැයි තහවුරු විය. මෙම ඩයිනසෝරයා ටී රෙක්ස් පවුලේ සාමාජිකයකු බවත්, මේ ඩයිනසෝරයා ටී රෙක්ස්ට වඩා අවුරුදු මිලියන 12 කට පෙර ජීවත් වූ ඩයිනසෝරයකු බවත් තහවුරු විය. එපමණක් නොව, මෙම නව ඩයිනසෝරයා කැනඩාවෙන් හමුවුණු පැරැණිම ටී රෙක්ස් සාමාජිකයා යැයි ද තහවුරු විය.

‘තනැටෝතෙරිස්ටස් ඩෙග්රූටෝරොම්’ යන ග්‍රීක වදනට අනුව මෙම නව ටී රෙක්ස් නම් කෙරුණි. ‘තනැටෝතෙරිස්ටස් ඩෙග්රූටෝරොම්’ යන්නෙහි අර්ථය ‘බිහිසුණු ඝාතකයා’ යන්නය. ‘මේ සත්වයා උතුරු ඇමෙරිකාවේ පහළ වුණු පළමු ටී රෙක්ස් වෙන්න පුළුවන්. හැබැයි මේ සත්වයා අප හොඳින් දන්නා හඳුනන ටී රෙක්ස් වගේ නොවෙයි. වෙනස්. මේ සත්වයා පහළ වී මිලියන ගණනකට පසුවයි ටී රෙක්ස් පහළ වුණේ. අද අප කැනඩාව අයත් උතුරු ඇමෙරිකාව සහ ආසියාව යනුවෙන් නම් කර ඇති මහද්වීප අතීතයේ ඩයිනසෝරයන් රජ කළ පාරාදීසයක් වී තිබුණා’ යැයි වොරිස් පැහැදිලි කරයි.

‘තනැටෝතෙරිස්ටස් ඩෙග්රූටෝරොම්’ ඩයිනසෝරයා සමඟ කැනඩාවෙන් හමුවුණු ටී රෙක්ස් වර්ගයේ ඩයිනසෝරයන් විශේෂ ගණන 5 කි. වසර 50 කට පසු හමුවුණු ටී රෙක්ස් ඩයිනසෝරයා ලෙස ‘තනැටෝතෙරිස්ටස් ඩෙග්රූටෝරොම්’ හැඳින්විය හැකි බව පොසිල විද්‍යාව සම්බන්ධයෙන් ප්‍රසිද්ධ රාජකීය ටිරිල් විශ්ව විද්‍යාලයේ ප්‍රධානී ෆ්රොන්සුවා තෙරියන් පෙන්වා දී තිබේ. ‘එකම රටකින් ටී රෙක්ස් විශේෂ පහක් සොයා ගැනීමට හැකිවී තිබෙනවා. ඒක කැනඩා වැසියන්ට සැබැවින්ම ආඩම්බරයක්.’ යැයි තෙරියන් මාධ්‍ය හමුවේ පවසා තිබේ.

ඩයිනසෝර විශේෂ අතරින් වඩාත් ජනප්‍රිය ඩයිනසෝරයා ලෙස ටයිරැනොසෝරස් රෙක්ස් හැඳින්විය හැකිය. පසුපස පාදවලින් ගමන් කළ තෙරපෝඞ් ඩයිනසෝරයන් අතරින්, ටයිරැනොසෝර් පවුලේ විශාලතමයා ලෙස සැලකෙන්නේ ද ටයිරැනොසෝරස් රෙක්ස්ය. උස මීටර් 4.6 ත් 6.2 ත් අතර වෙයි (අඩි 40 ත් 44 ත්) බර ටොන් 9 කි. (රාත්තල් 18,000 කි) කැනඩාවේ ඇල්බර්ටා, ඇමෙරිකාවේ වයෝමින්, යූටා, ටෙක්සාස්, ඔන්ටැනියෝ, කොලරාඩෝ, මොන්ටැනා ඇදී ප්‍රාන්තවල සිදුකළ කැණීම්වලින් ටයිරැනොසෝරස් රෙක්ස් පොසිල අස්ථි සොයා ගෙන ඇත. ආයු කාලය අවුරුදු 30 ක් පමණය.

සමබරතාව රැක ගැනීමට යෝධ වලිගය උපකාරී විය. ටයිරැනොසෝරස් රෙක්ස්ගේ දත් ඉතා තියුණුය. ගොදුරු කර ගන්නා සෙසු ඩයිනසෝරයන් පොඩි පට්ටම් කරමින් සපා කෑමට අස්ථි සැකැසී ඇත. හිස් කබල සහ බෙල්ලේ අස්ථි අනුව, අනෙක් මාංශ භක්ෂක ඩයිනසෝරයන්ට වඩා ටයිරැනොසෝරස් රෙක්ස්ගේ බෙල්ලේ මාංශපේෂීන් ශක්තිමත්ව තිබුණැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති. සවිමත් බෙල්ල යොදා ගනිමින්, ගොදුරු කරගන්නා සතුන්ගේ මස් අඹරා ඉරා කෑමට ටයිරැනොසෝරස් රෙක්ස්ට හැකියාව තිබුණි. වසර මිලියන 67 ත් 66 ත් අතර ක්‍රිටෛයිසීය යුගයේ ජීවත් විය. වගුරු ගංගා පිරි වනාන්තර ප්‍රදේශවල ජීවත් වූයේ දඩයම් කරමිනි. රංචු වශයෙන් දඩයමේ ගිය බවත්, ශාක භක්ෂක යෝධ ඩයිනසෝරයන් වටකොට ගොදුරු කර ගක් බවත් පැවැසෙයි.

කුරුල්ලකුගේ මෙන් ටී රෙක්ස්ගේ සිරුරේ පිහාටු දකින්න ලැබුණු බව ද පැවැසෙයි. ප්‍රමාණයෙන් කුඩා තියුණු නිය දෙකක් සහිත ඉදිරිපස ගාත්‍රා (අත් වැනි) පිහිටා ඇත. ටයිරැනොසෝරස් රෙක්ස් ගැන පවසද්දී, සූ හෙන්ඩිරික්සන්  ගැන ද පැවැසිය යුතුමය. සූ හෙන්ඩිරික්සන් පැරැණි සත්ත්වයන් සංරක්ෂණය පිළිබඳ විශේෂඥවරියකි. ඇය 1990 වසරේ දී නිවැරදි ව අස්ථි ගළපමින් එකලැස් කළ ඩයිනසෝරයා ටයිරැනොසෝරස් රෙක්ස්ය.

පොසිල විශේෂඥයන්ට 1990 දී එම අස්ථි හමුවී තිබුණේ දකුණු ඩෙකෝටාවේ ‘සූ’ රතු ඉන්දියානු ප්‍රදේශයේ චයෑන් ගංගා නිම්නයෙනි. වසර මිලියන 65 ක් පැරැණි ටයිරැනොසෝරස් රෙක්ස් ඩයිනසෝරයා නිර්මාණය කිරීම හේතුවෙන් සූ වසර 2000 දී ඇය කාගේත් අවධානය දිනා ගත්තාය. අද එම ටී රෙක්ස් ඇටසැකිල්ල චිකාගෝ නුවර කෞතුනාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබේ.

ලුසිත ජයමාන්න
ද සන් ඇසුරිනි

RECOMMEND POSTS