ට්‍රම්ප් දෝෂාභියෝගය ජය ගනී



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඔහුට එරෙහිව එල්ල වූ සියලු චෝදනාවලින් නිදහස ලැබුවේය. ඒ, ඇමෙරිකන් කොංග්‍රසයේ (පාර්ලිමේන්තුව) සෙනෙට් මණ්ඩලය (ඉහළ මන්ත්‍රී මණ්ඩලය)ට යොමු කෙරුණු දෝෂාභියෝගය පරාජය කරමිණි.

සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ජනපති ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය සතුවය. පහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඇත්තේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් සතුවය.

ජනාධිපති බලතල අනිසි ලෙස භාවිත කිරීම සහ කොංග්‍රසයට (පාර්ලිමේන්තුවට) එරෙහිවීම යන චෝදනා දෙක මුල්කොට ගනිමින්, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට දෝෂාභියෝගය ඉදිරිපත් කෙරුණේ පසුගිය දෙසැම්බරයේය. ඒ, නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා ඩිමොක්‍රටික් පාක්ෂික නැන්සි පෙලෝසිගේ මූලිකත්වයෙනි.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දී දෝෂාභියෝගයෙන් ට්‍රම්ප් පරාජය විය. දෝෂාභියෝගයේ මීළඟ පියවර වූයේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයට එම චෝදනා ඉදිරිපත් කිරීමය. චෝදනා සම්බන්ධයෙන් අගවිනිසුරු ජෝන් රොබට්ස්ගේ අධීක්ෂණය යටතේ නඩු විභාගයක් සෙනෙට් මන්ත්‍රණ සභාවේදී පැවැත්විණි.

ඩිමොක්‍රටික්වරු පැමිණිලි පාර්ශ්වය ලෙස චෝදනා ඉදිරිපත් කළ අතර, ට්‍රම්ප්ගේ නීතීඥවරු කණ්ඩායමක් ට්‍රම්ප් වෙනුවෙන් පෙනී සිටියහ. දීර්ඝ නඩු විභාගයකින් පසු සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ ට්‍රම්ප්ට එරෙහි චෝදනා දෙක සම්බන්ධයෙන් ඡන්දය විමසීම සිදුවිය. ඒ, ඊයේ (5) දිනයේය.

ජනපති බලතල අනිසි ලෙස භාවිත කළැයි යන චෝදනාව පරාජය වූයේ 52 ට 48 ක් ලෙසිනි. කොංග්‍රස් මණ්ඩලයට විරුද්ධව යෑම යන චෝදනාව සම්බන්ධයෙන් 53 ට 47 ක් ලෙස ඡන්දය හිමිවිය. ඒ අනුව, බොහෝ දෙනා අනාවැකි පළ කළ අයුරින්ම, එල්ල වූ චෝදනාවලින් ජනපති ට්‍රම්ප් නිදහස් විය.

ඒ අනුව, මෙම 2020 වසරේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට කිසිදු බාධාවකින් තොරව ඉදිරිපත් වීමට ට්‍රම්ප්ට හැකියාව ලැබේ. ඒ, සිය දෙවැනි සහ අවසන් ධුර කාලය වෙනුවෙනි. ට්‍රම්ප් ජනපති ධුරයට පත් වූයේ 2016 දීය. එදා සිට මේ දක්වා ඔහුට ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගෙන් කෙණෙහිලිකම් එල්ල විය. ඔවුන් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒමට උත්සාහ ගත්තේ ට්‍රම්ප් ජනපති පුටුවේ අසුන් ගත් දිනයේ පටන්ය.

ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් වුණු මෙම දෝෂාභියෝගය ඓතිහාසිකය. මීට පෙර මේ අයුරින් දෝෂාභියෝගයකට මුහුණ දුන්නේ ඇමෙරිකන් ජනපතිවරුන් දෙදෙනකු පමණය. ඉන් එක් අයකු වන්නේ ඇන්ඩෲ ජොන්සන්ය. ඒ, 1886 දීය. අනෙක් ජනපතිවරයා බිල් ක්ලින්ටන් ය. ජනපති ක්ලින්ටන් දෝෂාභියෝගයට මුහුණ දුන්නේ 1999 වසරේදීය. ජනාධිපති රිචඞ් නික්සන්ට එරෙහිව ද දේෂාභියෝගයක් ඉදිරිපත් වුණු නමුත්, එය කොංග්‍රසයට ඉදිරිපත් කිරීමට පෙර, නික්සන් ජනපති ධුරයෙන් ඉවත් වූයේය.

ජනපති ට්‍රම්ප්ට එරෙහිව මෙම දෝෂාභියෝගය ගෙන ඒමට හේතුවක් වූයේ පසුගිය වසරේ ජූලි මාසයේ ට්‍රම්ප් සහ යුක්රේන නව ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි අතර පැවැති දුරකතන කතාබහය. රහසේ සිදුවුණු මෙම කතාබහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට අනාවරණය කළේ ධවල මන්දිරයට අන්යුක්තව සිටි සී.අයි.ඒ. ඒජන්තවරයෙකි. නැන්සි පෙලෝසි ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගය ගෙන ආවේ ඉන්පසුවය.

ට්‍රම්ප්ට පෙර, ඩිමොක්‍රටික් පාක්ෂික බැරක් ඔබාමා ඇමෙරිකාවේ ජනපති ලෙස කටයුතු කරද්දී, උප ජනපති ධුරය හෙබවූයේ ජෝ බයිඩන් ය. බයිඩන්ගේ පුතු හන්ටර්, යුක්රේන තෙල් සහ වායු සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කළේය. බුරිස්මා නමැති එම සමාගම, දූෂණ වංචා රැසකට සම්බන්ධ යැයි චෝදනා කරමින්, එවකට පැවැති යුක්රේන රජය එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට සැරසුණේය. උප ජනපති බයිඩන් බලපෑම් කරමින් ඊට හරස් වූ බව පැවැසෙයි.

ට්‍රම්ප්, යුක්රේන නව ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිට ඇමතුම දෙමින් කියා සිටියේ, විමර්ශනවලට බලපෑම් කිරීම සම්බන්ධයෙන්, ජෝ බයිඩන්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කරන ලෙසය. එසේ නොකරන්නේ නම්, ඇමෙරිකාව යුක්රේනයට දෙන ආධාර නැවැත්වීමට පියවර ගන්නවා යැයි ට්‍රම්ප් තර්ජනයක් ද කර ඇත. මේ සියල්ල දුරකතන සංවාදයට ඇතුළත්ය. ට්‍රම්ප්, ජෝ බයිඩන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි යුක්රේන ජනපතිට බල කළේ, මෙම 2020 වසරේ ට්‍රම්ප්ට අභියෝගයක් කිරීමට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වී සිටින එක් ප්‍රබල අපේක්ෂකයකු වන්නේ බයිඩන් වීම නිසාය.

සී.එන්.එන්. ඇසුරිනි


RECOMMEND POSTS