ජලයෙන් යටවුණු ලෝක උරුමය



ලොව ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් ලෙස සැලකෙන ඉතාලියේ වෙනීසියට අඩි 6 ක් උසැති උදම් රළ කඩා වැදුණි. ඒ අනුව, අඩක් ගිලුණු වෙනීසියේ ජල මට්ටම තවත් ඉහළ ගියේය. වෙනීසිය සංචාරක ආකර්ෂණයක් පමණක් නොව, යුනෙස්කෝ ලෝක උරුමයක් ද වෙයි.

උදම් රළ කඩා වදිද්දී, වෙනීස් නුවර වැසියන් පමණක් නොව, වෙනීසියට පැමිණි සංචාරකයෝ ද මහත් සේ බියට පත්වූහ. රළ පහරට හසුවුණු පිරිස් මුදා ගැනීම වෙරළාරක්ෂක නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් සිදුවිය. ‘උදම් රළ කඩා වැදීමත් සමඟ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළා. විපතට පත් වූවන්ට වෙරළාරක්ෂක නිලධාරීන්ගේ සහාය ලබා දුන්නා. අනාරක්ෂිත ස්ථානවල සිටින පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කළා. විදෙස් සංචාරකයන් ගැන බිය විය යුතු නැහැ. ඔවුන් සැමට අප ආරක්ෂාව ලබා දුන්නා’ යැයි වෙනීස් නගරාධිපති ලුවීගි බෘග්නාරෝ ට්විටර් පණිවුඩයක් හරහා පැවැසීය.

උදම් රළ හේතුවෙන් වෙනීසියේ ජල මට්ටම මීට පෙර ඉහළ ගොස් ඇත්තේ 1923 සහ 1966 වසරේදීය. 1966 දී, නගරයේ ජල මට්ටම අඩි 6.3 (මීටර් 1.94) කින් ඉහළ ගියේය. ඊයේ (14) වෙද්දී නගරයට ගලා ආ ජල ප්‍රමාණය තවත් වැඩිවන්න වූ බව ඉතාලි මාධ්‍ය වාර්තා කළේය. මේ අතර, වෙනීසියේ වැසියන්ට සිදුවුණු අකරතැබ්බ දැක ගැනීමට ඉතාලි අගමැති ගුසෙපේ කෙනේතේ වහා වෙනීසිය බලා ගියේය. නගරයේ දෛනික කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇති බව දුටු අගමැතිවරයා මහත් සේ කම්පනයට පත් විය. නගර බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු වෙනීස් වැසියන්ගේ සහායට හමුදාව යෙදවිණි.

අයහපත් කාලගුණය හේතුවෙන්, මුහුද කැලඹී උදම් රළ නගරයට කඩා වැදීම, ගෝලීය උණුසුම ඉහළ යෑමේ ප්‍රතිඵලයක් බව වෙනීස් නගරාධිපති ලුවීගි බෘග්නාරෝ මාධ්‍ය හමුවේ පෙන්වා දී තිබේ. ඒ, පරිසරවේදීන් කළ අනතුරු ඇඟවීම් සැලකිල්ලට ගනිමිනි. ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස සාගර ජල මට්ටම ඉහළ යයි. එය දූපත්වාසීන්ට අහිතකරය. තව වසර 25 ක් පමණ යද්දී ලොව කුඩා දූපත් රැසක් සාගරයට බිලි වනු ඇති බව පරිසරවේදීන් අනතුරු අඟවා ඇත.

වෙනීසිය ලොව කාගේත් ආදරයට පත් වූයේ ඉංග්‍රීසි කවියකු මෙන්ම නාට්‍ය රචකයකු ද වන විලියම් ශේක්ස්පියර්ගේ ‘මර්චන්ට් ඔෆ් වැනීස්’ එසේත් නැතිනම් ‘වැනීසියේ වෙළෙන්දා’ හරහාය. වෙනීසිය, උතුරුදිග ඉතාලියේ වෙනෙටෝ පළාතේ පිහිටි ප්‍රධාන නගරයයි. ඉතාලියේ ඊසාන දෙසින් වෙනීසිය පිහිටා ඇත. ‘පාවෙන නගරය’ ලෙස වෙනීසිය හැඳින්වෙයි. කුඩා දූපත් 118 කට වැඩි ප්‍රමාණයක් නගරයට අයත්ය. වෙනීසියේ මාර්ග කිසිවක් නැත. නගරයට අයත් දූපත් සියල්ල කලපුවකට මුහුණ ලා පිහිටයි. කලපුව විවර වී ඇත්තේ ආද්‍රියාතික මුහුදටය. නගරයේ දූපත් එකිනෙකින් වෙන්වී ඇත්තේ දියපහර 150 කිනි. කුඩා පාලම් හාරදහසකින් දූපත් සම්බන්ධ වෙයි. නගරයේ ගෙවල් දොරවල්, රජයේ මෙන්ම පෞද්ගලික කාර්යාල, අවන්හල්, රෝහල් පමණක් නොව සියලුම පාසල් ද පවතින්නේ ජලයෙන් අඩක් යටවීය.

වෙනීසියේ මාර්ග නැති බැවින්, සංචාරයන් නගරයේ සංචාරය කිරීමට ක්‍රම දෙකක් භාවිත කරයි. එයින් එකක් ගොන්ඩෝලා බෝටටුය. ගොන්ඩාලා බෝට්ටුවල යෑමට බියක් දක්වන ඕනෑම අයකුට වැපරෙතෝ බෝට්ටු තිබේ. මේ බෝට්ටු ප්‍රමාණයෙන් විශාලය. වෙනිසියේ බස් රථ ලෙස වැපරෙතෝ බෝට්ටු ක්‍රියාත්මක වෙයි. වැපරෙතෝ බෝට්ටු යාත්‍රා කිරීම සිදුවන්නේ වෙනිසියේ ප්‍රධාන ඇල මාර්ගවල පමණි. කුඩා ඇල මාර්ගවල ගමන් කිරීමට නම් අකමැත්තෙන් වුවත් ඔබ ගොන්ඩෝලා බෝට්ටුවලට නැගිය යුතුය. එසේත් නැතිනම් කුලී මෝටර් බෝට්ටු භාවිත කළ හැකිය. ඉතාලියේ පමණක් නොව, යුරෝපයේ ප්‍රධාන සංචාරක ආකර්ශණයක් වන්නේ වෙනීසියයි. යුරෝපා සංචාරයක යෙදෙන ඕනෑම අයකු වෙනීසිය වෙත යන්නේ අපූරු අත්දැකීමක් ලබා ගැනීමටය. වෙනීසියේ වැසියන්ගේ ජීවනෝපාය සංචාරක කර්මාන්තයයි. වෙනීසිය දිනෙන් දින ගිලා බසින්නේ, එසේත් නැතිනම් මූදට බිලි වන්නේ ඒ සුන්දරත්වය මැදය. මේ සුන්දර නගරය බේරා ගැනීමට වෙනීස් නගර බලධාරීන් නොකරන දෙයක් නැත.

වෙනීසියේ දිනක් ගත කරන ඕනෑම විදේශිකයෙකු පවසන්නේ තමන් නොනිදා රැය පහන් කළ බවය. ඒ, නින්දෙන් අවදි වෙද්දී නගරය ගිලී තිබෙනු ඇතැයි පවතින බිය නිසාය. වෙනීසියේ වැසියන්ට නගරය දිනෙන් දින මූදට බිලිවීම අරුමයක් නොව එය ඔවුන්ගේ දෛනික ජීවිතයේ කොටසකි. වෙනෙටෝ පළාතේ සහ කලපුව ආශ්‍රිතව ජනාවාස පිහිටුවා ගැනීම සිදුවූයේ බටහිර රෝම අධිරාජ්‍යයේ බිඳ වැටීමත් සමඟය. මධ්‍යතන යුගයේ, ම්ලේච්ඡ බාබේරියානුවන්ගෙන් එල්ල වුණු තර්ජන මැද පලා ආ සරණාගතයෝ කලපුව ආශ්‍රිව පදිංචි වූහ. වෙනීසියේ ආරම්භය මෙය විය.

දිනෙන් දින වෙනීසිය වෙළෙඳ නගරයක් බවටත් කලාපයේ වැදගත් නගරයක් බවටත් පත්විය. ක්‍රි.පූ. 1,000 දී වෙනීසිය කේන්ද්‍රකොට ගනිමින් අධිරාජ්‍යයක් පිහිටුවීමේ උත්සාහයක් පැවැතිණි. ඒ මධ්‍යධරණී මුහුදු කලාපය ද වට කරමිණි. 1797 දී නේපෝලියන්ගේ ප්‍රංශයේ කොටසක් බවට වෙනීසිය පත් විය. කලාපීය රටවල් කිහිපයක් ඉන්පසු වෙනීසිය අත්පත් කර ගත්තේය. ඔස්ටි්‍රයාව අවස්ථා දෙකකදී වෙනීසිය අල්ලා ගෙන සිටියේය. අවසානයේ ඒකීය ඉතාලියක් යටතේ වෙනීසිය ඉතාලියට අයත් විය. ලොව වැඩිම සංචාරකයන් පිරිසක් නරඹන නගරය ලෙස සැලකෙන වෙනීසියේ අනාගතය අඳුරුය.

ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS