ජනරාල් කසීම් සුලෙයිමානී ඝාතනය



මේජර් ජනරාල් කසීම් සුලෙයිමාන් සහ අල් මුහන්දිස්

ඇමෙරිකන් හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින්, ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටි ඉරාන විප්ලවීය හමුදාවේ ‘කුද්ස්’ පැරා-මිලිටරි හමුදා බළඇණියට නායකත්වය දෙන මේජර් ජනරාල් කසීම් සුලෙයිමානී ජීවිතක්ෂයට පත්වුණැයි විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

ඉරාන හමුදාව හැඳින්වෙන්නේ ‘ඉරාන විප්ලවීය හමුදාව’ යනුවෙනි.‘කුද්ස්’ යනු ඉරාන හමුදාවේ විශේෂ හමුදා බළඇණියකි. ඉරානයෙන් පිට විදේශගතව හමුදා මෙහෙයුම්වලට සම්බන්ධ වන්නේ මෙම විශේෂ හමුදා බළඇණියයි.

මේජර් ජනරාල් කසීම් සුලෙයිමාන් නායකත්වය ලබා දුන්න ද, ‘කුද්ස්’ බළඇණිය ක්‍රියාත්මක වන්නේ ඉරාන උත්තරීතර නායක අල් කොමේනීගේ අණ පරිදිය.

2007 වසර වෙද්දී, ‘කුද්ස්’ බළඇණිය සෙබළුන් 15,000 කින් සමන්විත විය.

‘කුද්ස්’ බළඇණිය නිර්මාණය වී ඇත්තේ 1980 සිට 88 තෙක් පැවැති ඉරාක ඉරාන යුද සමයේදීය. ඉරාක ඉරාන යුද සමයේදී ‘කුද්ස්’ බළඇණියේ සහාය හිමිවූයේ ඉරාකයේ සදාම් හුසේන්ට එරෙහිව සටන් වැදුණු කුර්දි සටන්කාමීන්ටය.

පසුගිය වසර කීපයේ සිරියානු අර්බුදයේ දී සිරියානු රජයට සහාය දක්වමින්, අයි.එස්. ත්‍රස්තවාදීන් සහ සිරියානු විපක්ෂ දේශපාලන සන්නද්ධ කල්ලිවලට එරෙහිව සටන් වැදුණේ මෙම කුද්ස් හමුදා බළඇණියයි. ඒ, සිරියානු ෂියා මුස්ලිම් ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයටත් හමුදාවටත් සහාය දක්වමිණි.

ඊට අමතරව, ඉරාක රජයට සහාය දක්වමින්, එරට අයි.එස්. ත්‍රස්තවාදීන් පරාජය කිරීමට සටන් වැදුණු ෂියා මුස්ලිම් සන්නද්ධ කල්ලිවලට සහාය ලබා දීම සිදු කරන්නේ ද මෙම කුද්ස් බළඇණියයි.

විදේශවල කරන මෙහෙයුම් හේතුවෙන් ඉරාන රජයේත්, ඉරාන වැසියන්ගේත් ‘වීරයා’ ලෙස මේජර් ජනරාල් කසීම් සුලෙයිමාන් ජනප්‍රිය චරිතයක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. සිරියාවේ සහ ඉරාකයේ අයි.එස්. ත්‍රස්තවාදීන් පරාජය කිරීමට ජනරාල් සුලෙයිමාන් දායක වීම ඔහුගේ ජනප්‍රියත්වය වැඩි කිරීමට හේතුවක් විය.

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමී සංවිධානය සහ පලස්තීනයේ ඉස්ලාමික් ජිහාද් සටන්කාමී සංවිධානයට අවි ආයුධ ලබා දීම, අවි  පුහුණුව ලබා දීම ​සහ මුදල් ප්‍රතිපාදන ලබා දීම ඉරාන රජයේ අනුග්‍රහයෙන් සහ කුද්ස් හමුදා බළඇණියේ මැදිහත් වීමෙන් සිදු වන බව පැවැසෙයි.

ඉරාක රජයට එරෙහිව විරෝධතා ආරම්භ වූයේ පසුගිය ඔක්තෝබර් පළමු වැනිදාය. මාස තුනක් සහ දින දෙකක් තිස්සේ තවමත් විරෝධතා පැවැත්වෙයි.

අද (3) වනවිට එම විරෝධතා, ඉරාකයේ රැඳී සිටින ඇමෙරිකානුවන් සහ ඇමෙරිකන් සොල්දාදුවන් කෙරෙහි යොමු වී ඇත.

ඉරාක රජයට එරෙහි විරෝධතා ආරම්භ වූයේ, ඉරාක රජයේ දූෂණ වංචා ඉහළ යෑම, විරැකියාව, ධරිද්‍රතාව සහ යටිතල පහසුකම් ඉතා දුර්වල මට්ටමක පැවැතීම මුල්කොට ගනිමිනි. විරෝධතා උත්සන්න වෙද්දී, ඉරාක අගමැති ලෙස කටයුතු කළ අබ්දිල් අබ්දුල් මහ්දී ධුරයෙන් ඉල්ලා අස්වූයේය.

ඉරාක නියෝජිත මන්ත්‍රී මණ්ඩලය නව මැතිවරණ නීති සකස් කිරීම ආරම්භ කළේය.

මැතිවරණයක් පවත්වන තුරු මහ්දි ඉරාකයේ අන්තර්වාර අගමැතිවරයා ලෙස කටයුතු කරන බව ඒකමතිකව තීරණය කෙරුණි. ඒ අනුව මහ්දි තවමත් අගමැති ධුරයේ රැඳී සිටී.

පසුගිය වසර කීපයේ ඉරාක රජය අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පරාජය කිරීමට කටයුතු කළ අවස්ථාවේදී, ඇමෙරිකාව සහ කුර්දිස්තාන කුර්දිවරුන්ගේ සහාය ඉරාක රජයට හිමිවිය. ඊට අමතරව, කලක් පස මිතුරකු වූ ඉරානය, ඉරාකයේ මිතුරකු විය. ඒ, අයි.එස්. ත්‍රස්තවාදීන් දෙරටේම පොදු සතුරා වූ බැවිනි.

ඉරාකයේ විරෝධතා උත්සන්න වෙද්දී, සන්නද්ධ කල්ලි රැසක් ද ඊට එක් විය. ඉරාකයේ සිටින ඇමෙරිකානුවන්ට එරෙහිව විරෝධතා රැල්ලක් හිස ඔසවන්න විය. එම විරෝධතා සඳහා ඉරාක වැසියන් උසිගන්වන්නේත් සහ අනුග්‍රහය ලබා දෙන්නේ ඉරානය සහ ඉරාන කුද්ස් හමුදා බළඇණිය යැයි ඇමෙරිකාව චෝදනා නගන්න විය.

ඉරාකයේ හිස්බුල්ලා සටන්කාමීන් ඒ අතර වෙයි. මෙම හිස්බුල්ලා සටන්කාමීහු පසුගිය 27 වැනිදා ඉරාකයේ ඇමෙරිකන් හමුදා කඳවුරකට මිසයිල ප්‍රහාරයක් එල්ල කළහ. එම ප්‍රහාරයෙන් ඇමෙරිකන් හමුදාවට අනුයුක්ත කොන්ත්‍රාත් සොල්දාදුවෙක් මියගියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකාව ඉරාක හිස්බුල්ලා ඇතුළු ඉරාන හිතවාදී සෙසු සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පසුගිය 30 වැනිදා ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළේය. එයින් හිස්බුල්ලා සටන්කාමීන් ද ඇතුළු සටන්කාමීන් 25 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 55 කි.

ඉන් අනතුරුව, ඇමෙරිකන් විරෝධී ඉරාක විරෝධතාකරුවෝ පසුගිය 31 වැනිදා බැග්ඩෑඞ් අගනුවර ‘හරිත කලාපය’ නමැති අධි ආරක්ෂිත කලාපයේ පිහිටි ඇමෙරිකන් තානාපති කාර්යාලය වටලා ඊට බලෙන් ඇතුළු වී පහර දෙන්න වූහ.

ඇමෙරිකන් හමුදා සොල්දාදුවන් වහා ක්‍රියාත්මක වී, ඉරාකයේ ඇමෙරිකන් තානාපතිවරයාටත් කාර්යමණ්ඩල නිලධාරීන්ටත් ආරක්ෂාව ලබා දුන්නේය.

31 වැනිදා සිට 2 වැනිදා වනතුරු ඉරාක විරෝධතාකරුවෝ ඇමෙරිකන් තානාපති කාර්යාල ගොඩනැගිල්ල වට කරමින් එහි රැඳී සිටියහ. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අණ පරිදි කුවේටයේ සිටි ඇමෙරිකන් මෙරීන් සෙබළුන් 100 ක් බැග්ඩෑඞ් අගනුවරට හෙලිකොප්ටර් යානා මගින් ගෙන්වනු ලැබුණේ ද එම අවස්ථාවේදීය. ඒ, ඇමෙරිකන් තානාපති කාර්යාලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහාය.

විරෝධතාකරුවන් ඇමෙරිකන් තානාපති කාර්යාලයට කඩා වැදී පහර දී ගිනි තැබීම සම්බන්ධයෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉරානයට දොස් නැගුවේය. චෝදනා කරන්න විය.

එම සිදුවීම මුල්කොට ගනිමින් ඉරානයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැවැසුවේ ට්විටර් පණිවුඩයකිනි.

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනී ට්විටර් පණිවුඩයකින් දන්වා සිටියේ, ඇමෙරිකන් තානාපති කාර්යාලයට කඩා වැදීමේ සිදුවීම සම්බන්ධයෙන් ඉරානයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවය. කෙසේ නමුත් ඇමෙරිකාවේ තර්ජනවලට බියක් නොදක්වන බව ඉරාන උත්තරීතර නායකයා අවධාරණය කළේය.

ඊයේ (2), ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් ‘හෂ්ද් අල් ෂාබී’ සන්නද්ධ බලකාය කළ ඉල්ලීමකට කන්දෙමින් ඇමෙරිකන් තානාපති කාර්යාල පරිශ්‍රය වටලා සිටි ඉරාක වැසියෝ එතැනින් පිටත්ව ගියහ. තානාපති කාර්යාල පරිශ්‍රයෙන් පිටවී ගියත්, ඉරාක විරෝධතාකරුවෝ දිගින් දිගටම බැග්ඩෑඞ් අගනුවර ඇමෙරිකන් විරෝධී විරෝධතා රැලි පවත්වන්න වූහ. ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉලක්ක කරගනිමින් ඇමෙරිකන් හමුදාව මිසයිල ප්‍රහාරයක් එල්ල කළේ අද (3) අලුයම් කාලයේය.

එම ප්‍රහාරයෙන් මේජර් ජනරාල් කසීම් සුලෙයිමානී පමණක් නොව, ඉරාකයේ ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් සටන්කාමී සංවිධානයේ නායක අබු මහ්දී අල් මුහන්දිස් ඇතුළු තවත් හමුදා නිලධාරීන් කීප දෙනකු ප්‍රහාරයෙන් මියගිය බව ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය පවසා තිබේ. ඉරාන විදේශ ඇමැති ජවාද් සරීෆ් මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ ඇමෙරිකාව ලොකු මෝඩකමක් කළ බවය.

මේජර් ජනරාල් කසීම් සුලෙයිමානී, ඝාතනයත් සමඟ ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුද උණුසුම තවත් ත්‍රීව වූ බවත් දෙරට අතර යුද්ධයක් හට ගනු ඇති බවක් බියක් හටගත්තේය. ඇමෙරිකාව සහ ඉරානය අතර යුදමය තත්ත්වයක් නිර්මාණය වුවහොත් එය තෙවැනි ලෝක යුද්ධය තෙක් දුරදිග යනු ඇතැයි ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ලුසිත ජයමාන්න
ඒ.එෆ්.පී./අල් ජසීරා ඇසුරිනි

RECOMMEND POSTS