චීන ජනාධිපති ෂී ජිංපින්ට ට්‍රම්ප්ගෙන් උණුසුම් පිළිගැනීමක්



දෙදින නිල සංචාරයකට ඇමෙරිකාවට පැමිණි චීන ජනාධිපති ෂී ජිංපින් සහ බිරිය පෙංග් ලියැං ඉතා උණුසුම් අයුරින් පිළිගෙන, ඔවුන් ෆ්ලොරීඩාවේ පාම්බීච් පිහිටි මන්දිරය වෙත රැගෙන යෑමට ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ බිරිය මෙලානියා කටයුතු කළහ.

ෆ්ලොරීඩාවේ පාම් බීච්හි පිහිටි මෙම මන්දිරය ට්‍රම්ප්ගේ නිවාඩු නිකේතනය ද වෙයි. ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් සහ චීන ජනාධිපති ජිංපින් අතර මෙම හමුව ඉතා සුවිශේෂී එකක් විය.

ජනපති ධුරයට පත්වීමට පෙර සිටත්, ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් පසුවත් ට්‍රම්ප් චීනය දැඩි ලෙස විවේචනය කළේය.

ලෝයේ ආර්ථික බලවතකු ලෙස චීනයේ නැගී සිටීම ඇමෙරිකාවට තර්ජනයක් ලෙස ට්‍රම්ප් සැලකුවේය. චීනයේ උදහසට ලක්වෙමින් ට්‍රම්ප්, චීනයේ එදිරිවාදියකු වන තායිවාන රජය සමඟ ද සමීප සබඳතා ආරම්භ කළේය. ට්‍රම්ප් සහ චීන ජනපතිවරයාගේ මෙම හමුව අතිශයින් වැදගත් බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ඒ අනුවය.

ෆ්ලොරීඩාවේ පාම් බීච් මන්දිරය ඉදිරිපිට දී ඡායාරූපවලට පෙනී සිටීමෙන් පසු ජනපතිවරුන් දෙදෙනා ඔවුන්ගේ ආර්යාවන් ද සමඟ  රාත්‍රී භෝජන සංග්‍රහයකට ද එක් වූහ. එම අවස්ථාවට චීන ජනපති සමඟ පැමිණි ධූත පරිස පමණක් නොව, ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා සහ බෑණා ජෙරාඞ් ද එක් වූහ. මොවුන් දෙදෙනා ට්‍රම්ප්ගේ උපදේශකවරු ලෙස කටයුතු කරති.

වෙළෙඳ ගනුදෙනු, කලාපීය ආරක්ෂාව පමණක් නොව, උතුරු කොරියාව සම්බන්ධයෙන් ද දෙදෙනා අතරේ ඉන්පසු සාකච්ඡා පැවැත්විණි. උතුරු කොරියාවේ න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන මුළු ලොවටම තර්ජනයක් බව චීනය පිළිගෙන ඇත. කෙසේ නමුත් එම කටයුතුවලදී උතුරු කොරියාවට සහාය පළ කරන්නේ චීනයයි.

උතුරු කොරියාව ‘මෙල්ල කරගෙන සිටීමට’ නම්, චීනයේ සහාය අවශ්‍ය යැයි ඇමෙරිකන් ජනපති ට්‍රම්ප්ගේ අදහස වී තිබේ. ඒ සම්බන්ධයෙන් ද රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ සාකච්ඡාවට බඳුන් විය.

මේ අතර චීන ජනපතිගේ ඇමෙරිකානු සංචාරයට විරෝධය පළ කරමින්, ඇමෙරිකාවේ සිටින වියට්නාම සහ තායිවාන වැසියෝ පිරිසක් ෆ්ලොරීඩාවට පැමිණ විරෝධතා පැවැත්වූහ. කලහකාරීහු කිහිප දෙනෙක් පොලිස් අත්අඩංගුවට ද පත්වූහ. චීන ජනපතිගේ සංචාරය වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් ද යොදා තිබුණු බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර තිබුණි.

(ඩේලිමේල්/රොයිටර්)


RECOMMEND POSTS