ගෙදර ගියොත් මාව මරාවි



තායිලන්තයේ බැංකොක් නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ හෝටල කාමරයකින් පිටවී යෑම ප්‍රතික්ෂේප කරමින් මහත් ආන්දෝලනයක් ඇති කළ සෞදි තරුණියක ගැන පසුගිය දා අසන්න ලැබුණි. 18 හැවිරිදි රහාෆ් මොහම්මද් අල් කුනන් නමැති ඇය ගැන ලොව කාගේත් උනන්දුවක් ඇති වූයේ ට්විටර් ඇතුළු සමාජ ජාල ඔස්සේ ලැබුණු ප්‍රසිද්ධිය අනුවය.

රහාෆ් මොහම්මද් අල් කුනන් සෞදි ජාතික තරුණියකි. ඇය ඇගේ පවුලේ අය සමඟ කුවේටයේ නිවාඩුවකට ගොස් සිටියාය. පවුලේ අයගෙන් දැඩි කායික මෙන්ම මානසික පීඩනයක් එල්ල වෙනවා යැයි චෝදනා කරමින්, ඉස්ලාම් දහම ද අතහැර, රහාෆ් මොහම්මද් අල් කුනන් සරණාගත තරුණියක ලෙස ඕස්ට්‍රේලියාවේ රැකවරණ ඉල්ලා සිටියාය.  

ඕස්​ට්‍රේලියා රජයෙන් ඇයට යහපත් ප්‍රතිචාර හිමිවිය. ඔවුන් ඇයට වීසා නිකුත් කළේය. රහාෆ් මොහම්මද් අල් කුනන් පවුලේ අයට හොරෙන්, කුවේටයේ සිට කෙසේ හෝ තායිලන්තය හරහා ඕස්ට්‍රේලියාව බලා යෑමට පැමිණියේ තායිලන්තයේ බැංකොක් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියාය. ඉස්ලාම් දහම අතහැරීම සම්බන්ධයෙන් පමණක් නොව, තමන් ආපසු තම පවුලේ අය වෙත ගියොත් ඔවුන් නිසැක වශයෙන්ම තමා මරා දමනු ඇතැයි රහාෆ්ගේ විශ්වාසය වී ඇත. සෞදි බලධාරීන්ට තමන් හසුවුවහොත් තමාට සිරදඬුවම් ලැබෙනු ඇතැයි ද ඇය කියය.

ඕස්ට්‍රේලියාව බලා යෑමේ අරමුණින්, රහාෆ් මොහම්මද් අල් කුනන් බැංකොක් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියේ පසුගිය ජනවාරි 6 වැනිදාය. ආරක්ෂාව වෙනුවෙන්, තම ගමන් බිමන් ආදී සියලු විස්තර රහාෆ් සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළාය. එපමණක් නොව, ජීවිතයට අනතුරක් වී​මේ ඉඩක් ඇතැයි බියෙන්, සිය ට්විටර් ගිණුම පරිහරණය කරමින්, ඇගේ ගමන් බිමන් ගැන සටහන් තබන්නැයි මිතුරියකට බාර දී ඇත. එපමණක් නොව, රහාෆ් ජාත්‍යන්තර මානව හිමිකම් සුරැකීමේ සංවිධානයක් වන හියුමන් රයිට්ස් වොච් ඇතුළු මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන රැසක පිහිට පතා ඇත.

කෙසේ හෝ බැංකොක් ගුවන්තොටුපොළට පැමිණි විට, තායිලන්තයේ සෞදි සහ කු​වේට් තානාපති කාර්යාල නිලධාරීන් මැදිහත් වී ඇගේ ගමන් බලපත්‍රය ඔවුන්ගේ බාරයට ගත් බව පැවැසෙයි. සෞදි බලධාරීන් තායිලන්ත අගමන විගමන කාර්යාංශයට පෙන්වා දී ඇත්තේ රහාෆ් පවුලේ අයට ​නොදන්වා පැන ගිය බවත් ඇය ආපසු ඇගේ පවුලේ අය වෙත යැවිය යුතු බවත්ය.

තායිලන්ත ආගමන විගමන පොලිස් ප්‍රධානියා රහාෆ් මොහම්මද් අල් කුනන්ට පවසා ඇත්තේ, තායිලන්තයට ඇතුළු වීමට අවසර දීමට නොහැකි බවත්, ඒ සඳහා රහාෆ් ට වීසා නොමැති බවත්ය. තායිලන්ත බලධාරීන් උත්සාහ කළේ රහාෆ් ඇගේ පවුලේ අය රැඳී සිටින කුවේටයට යැවීමටය. එම අවස්ථාවේදී, රහාෆ් තායිලන්ත බලධාරීන්ට පැහැදිලි කර ඇත්තේ තායිලන්තයේ රැඳී සිටීමට තමාගේ කිසිදු අදහසක් නොමැති බවත් ඕස්ට්‍රේලියාව බලා තමා යන්නේ එරටින් ලැබී ඇති වීසා අනුව බවත්ය.

ජාත්‍යන්තරයේ අවදානය නොකඩවා යොමු වෙද්දී, එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ඒජන්සිය රහාෆ්ගේ සහායට ඉදිරිපත් විය. ඕස්ට්‍රේලියා රජය විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, රහාෆ් සම්බන්ධයෙන් තමන් කනස්සල්ලෙන් පසුවන බවත්, ඇයට කුමක් සිදුවන්නේදැයි බලා සිටින බවත්ය. තායිලන්ත ආගමන විගමන ප්‍රධානී සුරාචාත් හක්පාර්න් මාධ්‍ය හමුවේ පසුගිය ජනවාරි 7 වැනිදා පැහැදිලි කළේ උදෑසන 11.15 ට පිටත් වන ගුවන් යානයෙන් රහාෆ් සෞදිය බලා යැවීමට කටයුතු කරන බවය. ගුවන්තොටුපොළ හොටල කාමරයේ දොර වසා ගනිමින්, තායිලන්ත සහ සෞදි බලධාරීන්ගෙන් ​බේරීමට රහාෆ් උත්සාහ ගත්තේ මෙම අවස්ථාවේදීය.

අවසානයේ දී, ජාත්‍යන්තරයෙන් දිගින් දිගටම පීඩනයක් එල්ල වෙද්දී, රහාෆ් තායිලන්තයෙන් පිටමං කිරීමේ උත්සාහය අසාර්ථක විය. ඇය සමඟ සම්බන්ධ වෙන්න එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ  සොයා බලන ඒජන්සියේ නිලධාරීන්ට තායිලන්ත රජයෙන් අවසර හිමිවිය. රහාෆ් මොහම්මද් අල් කුනුන් බලහත්කාරයෙන් තායිලන්තයෙන් පිටමං නොකරන බවත්, ඇයට හැකි පමණින් සහාය දෙන බවත් තායිලන්ත බලධාරීහු පැවැසූහ.

ඒ අනුව, රහාෆ් එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ  ඒජන්සියේ නිලධාරීන්ගේ බාරයට පත් කරනු ලැබීය. මේ අතර, රහාෆ්ගේ පියා බැංකොක් බලා පැමිණි බව පසුගිය 8 වැනිදා වාර්තා විය. එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ  ඒජන්සියේ නිලධාරීන්ගේ ආරක්ෂාව ලැබෙන බැවින් තමන්ගේ සිතට සහනයක් දැනෙන බවත්, කඩිනමින් ඕස්ට්‍රේලියාවට යෑමට බලාපොරොත්තුවෙන් සිටින බවත් රහාෆ් ට්විටර් පණිවුඩ මගින් පවසා ඇත.

තිළිණි ද සිල්වා


RECOMMEND POSTS