කොළඹ අංක 1 ට



සංචාරකයන් ඡායාරූප ගැනීමට වැඩියෙන්ම කැමැති නගරය බවට කොළඹ නගරය පත්ව ඇත.

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ වූ ඡායාරූප හා සටහන් මිලියන 1.3ක් අධ්‍යයනය කරමින් ලෝ ප්‍රකට හුවාවි ජංගම දුරකතන සමාගම සිදු කළ අධ්‍යයනයකදී මේ බව තහවුරු වී ඇත.

මේ අනුව කොළඹ නගරය 2019 වසරේ දී ඡායාරූපයක් ගත යුතුම සංචාරක නවාතැන් අතුරින් පළමු තැනට පත්ව තිබේ.
එහි දෙවැනි තැන ජපානයේ යොකෝහමා නගරයටත් තෙවැනි තැන උගන්ඩාවේ ‘ම්ගහින්ගා ගෝරිල්ලා ජාතික වන උද්‍යානයටත්’ හිමි ව තිබේ.

‘හුවාවි’ ජංගම දුරකතන සමාගමේ නවතම ජංගම දුරකතනය වන ‘පී ස්මාර්ට් 2019’ දුරකතනය එළිදැක්වීම සැමරීම වෙනුවෙන් එම සමාගමේ මූලිකත්වයෙන් එම අධ්‍යයනය සිදු කර ඇත.

ඡායාරූපයක් ගත යුතුම සංචාරක නවාතැන් දහය අතුරින් ජර්මනියේ බාඞ්න් බාඞ්න් නගරය එහි සිව්වැනි තැනට පත්ව ඇත. ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ එම නගරයේ පිහිටි ‘කළු වනාන්තරයයි’. කැරිබියානු දූපතක් වන පුවර්ටෝ රීකෝ හි ‘ඕල්ඞ් සැන් හුවාන්’ නගරය පස්වැනි තැනට පත්ව තිබේ. සිම්බාබ්වේ හි ‘වික්ටෝරියෝ ෆෝල්ස්’ හයවැනි තැනටත්, පාකිස්තානයේ නරේවාල් දිස්ත්‍රික්කයේ කර්තාර්පූර් හත්වැනි තැනටත් පත්ව ඇත.

ජෝර්දානයේ ජාතික උද්‍යානයේ ‘වාඩි රම්’ අටවැනි ස්ථානයටත් ඇලස්කාවේ හූනාහ්හි ‘අයිසි’ සමුද්‍ර සන්ධිය (අයිසි ස්ටේ්‍රට් පොයින්ට්) නවවැනි තැනටත් පත්ව තිබේ. මෙහි අවසන් ස්ථානය හිමිව ඇත්තේ ස්කොට්ලන්තයේ හැරිස් දූපතටය.  
එම අධ්‍යයනයට සමගාමීව බි්‍රතාන්‍ය ජාතිකයන් සම්බන්ධ කරගනිමින් ඔවුන්ට ප්‍රශ්න යොමු කරමින් තවත් තොරතුරු අනාවරණය කරගැනීමට පර්යේෂකයෝ සමත්ව සිටිති.

තරුණ බි්‍රතාන්‍යය ජාතිකයන් අතර නව ස්ථාන සොයා යෑමේ දැඩි උනන්දුවක් තිබෙන බවත් කවුරුත් නොදන්නා අප්‍රසිද්ධ ස්ථාන සොයා යෑමට ද ඔවුන් වැඩි උනන්දුවක් දක්වන බව එමගින් අනාවරණය වී තිබේ.

වයස අවුරුදු 18ත් 25ත් අතර වයසේ පසුවන තරුණ තරුණියන් තම මිතුරන් නොගිය තැන්වලට යෑමට වඩාත් වැඩි උනන්දුවක් දක්වන බවත් අධ්‍යයනයෙන් හෙළි වී ඇත. පර්යේෂණයට සම්බන්ධ වූවන්ගෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් අලුත් සංචාරක ස්ථානයක් සොයා ගත් පළමු වැන්නා බවට පත්වීමත් එම ස්ථාන ඡායාරූප ගත කර සමාජ ජාල හා අන්තර්ජාලය ඔස්සේ ඒව ප්‍රසිද්ධියට පත් කිරීම වැඩි උනන්දුවක් දක්වන බවත් අධ්‍යනයේ දත්තවලින් පෙනී ගොස් තිබේ.  

එවැනි සංචාරක ස්ථාන සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීමට නොහැකි නම් තරුණ තරුණියන් එම ස්ථාන නැරඹීමට එතරම් උනන්දුවක් නොදක්වන බව අධ්‍යයනයෙන් පෙනී ගොස් ඇත. අධ්‍යයනයට සම්බන්ධවූවන්ගෙන් සියයට 16ක්, ඡායාරූප පමණක් පළ කළ හැකි සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් වන ‘ඉන්ස්ටග්‍රෑම්’ හි තමන් සංචාරය කිරීමට බලාපොරොත්තු වන ස්ථානවල ඡායාරූප පළ කළ හැකිද යන්න මත එම ස්ථාන තෝරාගන්න බව ද මෙම අධ්‍යයනයෙන් අනාවරණය වී ඇත.
සංචාරකයන්ගේ, විශේෂයෙන්ම තරුණ සංචාරකයන්ගේ මිතුරා බවට ජංගම දුරකතන පත්ව තිබේ. අධ්‍යයනයට සම්බන්ධවූවන්ගෙන් තුනෙන් දෙකක් (සියයට 66ක්) ජංගම දුරකතනය සංචාරය සඳහා අත්‍යවශ්‍ය උපයාංගයක් බව පවසා ඇත.

මේ අතර වයස අවුරුදු 18ත් 25ත් අතර තරුණ තරුණියන් ජංගම දුරකතනයක් මිලදී ගැනීමේදී සංචාරය කිරීමේදී ජංගම දුරකතන භාවිත කිරීමේ පහසුව , ජංගම දුරකතනවල තිබෙන කැමරාවල නවතම අංගෝපාංග හා ලක්ෂණ මෙන්ම බැටරියේ ආයු කාලයද සලකා බලන බව හුවාවි සමාගම පවසයි.

හර්ෂණ තුෂාර සිල්වා
ඬේලිමේල් ඇසුරිනි

 


RECOMMEND POSTS