කොරෝනාව දණ ගැස්සූ නායිකාවෝ



ලොවම දණ ගස්සා ඇති නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් අනතුරු අඟවද්දි කිසිදු රටක නායකයකු එය ගණනකට නොගත් බව ලොව බොහෝ දෙනාගේ මතය වී ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩිජිටල් මාධ්‍ය සමාගමක් වන ‘වොක්ස්’ සමාගම කොරෝනා වයිරසය සම්බන්ධයෙන් නිෂ්පාදනය කළ වාර්තා චිත්‍රපටය ආරම්භයේදීද ලෝක නායකයෝ කොරෝනා වයිරසය සම්බන්ධයෙන් කරන අනතුරු ඇඟවීම් නොසලකා හරින රූපරාමු පෙන්වයි.

ලොව පළමු රාජ්‍ය නායිකාව බිහිකළේ ශ්‍රී ලංකාවය. ලොව පළමු අග්‍රාමාත්‍යවරිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ දියණියක වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙරට සිවුවැනි විධායක ජනාධිපතිවරයා ය. වර්තමානයේ මෙරට සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන්නේ ද කාන්තාවකි.

අප්‍රේල් 1 වැනිදා සින්ට් මාර්ටින් හි අග්‍රාමාත්‍යවරිය එරට 41,500ක් වන ජනතාව ඇමතුවාය. සින්ට් මාර්ටින් යනු නෙදර්ලන්ත රාජධානියට අයත් කැරිබියානු දූපත්වල ඇති රටකි. කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩිවෙමින් පැවැතුණි. වසරකට සංචාරකයන් 500,000ක් පැමිණෙන රට අවදානමේ ඇති බව එරට අග්‍රාමාත්‍ය සිල්වරියා ජේකෝබ්ස් දැන සිටියාය. රටටම ඇත්තේ දැඩි සත්කාර ඒකක, ඇඳන් දෙකක් පමණි.

රටම වසා දමන ‘ලොක්ඩවුන්’ පන්නයේ දැඩි සීමා පැනවීමට ඇයට අවශ්‍ය නොවූවාය. එහෙත් කායික දුරස්ථභාවය පවත්වාගැනීම ඇයට අවශ්‍ය විය. ඒ නිසා ඇය රටේ ජනතාවට ඒ බව කීවාය. ‘‘මෙච්චරයි, කොහේවත් යන්න එපා’’ ඇය කීවාය. ‘‘සාමාන්‍යයෙන් වෙනදා වගේ ගෙදර පාන් නැත්නං, බිස්කට් කන්න. විස්කෝතු කන්න. ධාන්‍ය වර්ග කරන්න. ඕට්ස් කන්න......කන්න... සාඩින්’’ යැයි ඇය රටේ ජනතාවගෙන් ඉල්ලුවාය.

51 හැවිරිදි වියේ පසුවන සින්ටි මාර්ටින්හි අග්‍රාමාත්‍යවරිය ඇන්ගෙලා මර්කල් හෝ ජසින්ඩා ආඩෙන් පන්නයේ ගෝලීය රාජ්‍ය නායිකාවක නොවන්නීය. එහෙත් ඇගේ අවංක හා ඍජු පණිවුඩය, ආදර්ශමත් හැසිරීම රටටම උදාහරණයක් විය. එමෙන්ම සාර්ථක ක්‍රියාමාර්ග මෙන්ම පලදායී සන්නිවේදනය හේතුවෙන් ඇය ද කොරෝනා සාර්ථකව පාලනය කළ නායිකාවන් ගොන්නට ඇතුළත් විය.

ජර්මනියේ සිට නවසීලන්තය දක්වාත් ඩෙන්මාර්කයේ සිට තායිවානය දක්වාත් කාන්තාවෝ මහත් ධෛර්යෙන් සහ නිර්භීතකමෙන් කොරෝනා අර්බුදය සාර්ථකව කළමනාකරණය කර ගෙන ඇත. වියට්නාමය, චෙක් ජනරජය, ග්‍රීසිය, ඔස්ට්‍රේලියාව ‘නායකයෝ’ සිටින රටවල් ද සාර්ථකව කොරෝනා තර්ජනය පාලනය කර ඇත. එහෙත් ‘නායිකාවෝ’ ඔවුන් සියලු දෙනාටම වඩා සාර්ථක වී ඇත.

39 හැවිරිදි වියේ පසුවන නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය දිගින් දිගටම තම ජනතාව ඇමතුවාය. සිය ප්‍රියතම මාධ්‍ය වන සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩ නිකුත් කළාය. ඇතැම් අවස්ථාවකදී ‘ලොක්ඩවුන්’ නියෝග නොතනක පිරිස් මෝඩයන් යැයි ද කීවාය. එහෙත් ඇය සිය නිවසේ කවිච්චියේ සිට සිය ජනතාවට සානුකම්පිත ඉල්ලීම් කළාය. ‘‘ගෙදර ඉන්න, ජීවිත බේරාගන්න’’ ඇය නිරන්තරයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියාය. ඒ අතරවාරයේදී මාධ්‍ය හමුවලට පැමිණ නිල ප්‍රකාශ ද නිකුත් කළාය.

ජීවිත බේරාගැනීම සම්බන්ධයෙන් ඇය දැක්වූ ප්‍රවේශයත් කාරුණික බවත් නිසා නවසීලන්ත වැසියෝ අසල්වැසියෝ ගැන බැලූහ. අවදානමේ පසු වූ පිරිස රැක බලාගත්හ. පොදු යහපත වෙනුවෙන් විශාල කැපකිරීම් කළහ. මේ හේතුවෙන් නවසීලන්ත අග්‍රාමාත්‍යවරියගේ ජනප්‍රියත්වය ද ඉහළ ගොස් ඇත. ඇය සියලු දෙනා සමඟ එක්ව වගකීම් බෙදාගැනීම නිසා රට එකමුතු වී ඇත.

‘‘සටන් කරන්න, ඉක්මනින් ගෙදර යන්න’’ යන තේමාව යටතේ රටට පැමිණෙන සියලු දෙනා දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරීමට ද නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය පියවර ගත්තාය. මාර්තු 14 වැනිදා එම ක්‍රියාමාර්ගය ගත් අතර ඉන් සති දෙකකට පසු දැඩි ලොක්ඩවුන් සීමා පැනවීය. ඒ වනවිට එරටින් වාර්තා වී තිබුණේ ආසාදිතයන් 150කටත් අඩු සංඛ්‍යාවකි. ඒ වනවිට එරටින් කිසිදු මරණයක් වාර්තා වී තිබුණේ නැත. අඟහරුවාදා වනවිට එරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 1,497ක් වූ අතර මරණ සංඛ්‍යාව 19කට සීමා වී තිබිණි. මේ තත්ත්වයත් සමඟ ජසින්ඩා ආඩෙන්ගේ ආණ්ඩුව කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය සියයට 80ත් ඉක්මවා ගොස් ඇත.

නව කොරෝනා වයිරසයට එරෙහිව පිරිමින්ට වඩා කාන්තාවන්ගේ සිරුරේ ප්‍රතිශක්තීකරණය වැඩි යැයි විද්‍යාඥයෝ අනාවරණය කරගෙන ඇත. ‘කොවිඩ්-19’ යනුවෙන් නම් කර ඇති නව කොරෝනා වයිරසයට ඔරොත්තු දීමේ හැකියාව පිරිමින්ට වඩා කාන්තාවන්ගේ වැඩි බැවින්, වයිරසය ආසාදනය වූ පිරිමින්ට කාන්තා හෝමෝන ලබාදෙන බව ඇමෙරිකා එක්සත් ජනපද වෛද්‍යවරු අප්‍රේල් මස අගදි ප්‍රකාශ කළහ.

කොරෝනා වයිරසය, රුධිරයේ සෛලවලට ආසාදනය වීමට භාවිත කෙරෙන එන්සයිම පිරිමින්ගේ වැඩි යැයි ද විද්‍යාඥයන් උපුටා දක්වමින් අල්ජසීරා පුවත් සේවය මැයි 11 වැනිදා වාර්තා කර තිබිණි.

බොහෝ රටවල නව කොරෝනා වයිරසයෙන් මියගිය වැඩිදෙනා පිරිමි පුද්ගලයන් ය.

ලොවපුරා අධික වේගයෙන් ව්‍යාප්ත වූ කොරෝනා වයිරසය මැඬ පැවැත්වීමට මේ වනවිට රටවල් කිහිපයක්ම සමත් වූ නමුත් අවදානම තවමත් පහව ගොස් ඇත. දෙවැනි රැල්ලක් තෙවැනි රැල්ලක් ඇති වීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.

කෙසේ නමුත් කොරෝනා මර්දනය කළ රටවල් කිහිපය අතරින් රටවල් කිහිපයක රාජ්‍ය නායකත්වය හොබවන්නේ කාන්තාවන් වීමද විශේෂත්වයකි.

ජර්මනියේ සිට නවසීලන්තය දක්වාත් ඩෙන්මාර්කයේ සිට තායිවානය දක්වාත් කාන්තාවෝ මහත් ධෛර්යෙන් සහ නිර්භීතකමෙන් කොරෝනා අර්බුදය සාර්ථකව කළමනාකරණය කර ගෙන ඇත. වියට්නාමය, චෙක් ජනරජය, ග්‍රීසිය, ඕස්ට්‍රේලියාව වැනි ‘නායකයෝ’ සිටින රටවල් ද සාර්ථකව කොරෝනා තර්ජනය පාලනය කර ඇත. එහෙත් ‘නායිකාවෝ’ ඔවුන් සියලු දෙනාටම වඩා සාර්ථක වී ඇත.

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් යැයි බොහෝදෙනාගේ අදහස වී ඇත. චීනයේ පරම සතුරකු වන තායිවානය කොරෝනා වයිරසය සම්බන්ධයෙන් අනතුරු ඇඟවූවද ලෝක සෞඛ්‍ය සංවිධානය ඒවා බැහැර කළේ යැයි ද චෝදනා කරයි.

මේ තත්ත්වය මධ්‍යයේ කොරෝනා වයිරසය මර්දනය කිරීමේදී තායිවානය ලොව බලවත් රටවලට වඩා සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇත. තායිවාන ජනාධිපතිනි ත්සායි ඉන්ග්-වෙන් ඉතාම ඉක්මනින් වයිරසයට එරෙහිව ප්‍රතිචාර දැක්වූවාය. ඇය ජනවාරි මාසයේදීම රටේ වසංගත පිළිබඳ ස්ථාපිත කර ඇති මධ්‍යම අණදෙන මධ්‍යස්ථානය ක්‍රියාත්මක කළ අතර සංචාරක සීමා පනවමින් නිරෝධායන කටයුතු ආරම්භ කරන්නැයි නියෝග කළාය. මහජනතාව විශාල වශයෙන් සනීපාරක්ෂක ක්‍රියාවලි යොමු කළ අතර පොදු ස්ථාන හා ගොඩනැගිලි විෂබීජහරණය කරන්නැයි ද නියෝග කළාය.

සම්පූර්ණයෙන්ම රට වසා දැමීම අනවශ්‍ය යැයි තීරණය කළ තායිවාන බලධාරීහු සති කිහිපයක් ඇතුළත වයිරසය පාලනය කිරීමේ සහ ව්‍යාප්ත වීමේ ක්‍රියාමාර්ග 124ක් ගෙන තිබිණි.

මැයි 13 වැනිදා පස්වරු 12.30 වනවිටත් තායිවානයෙන් වාර්තා වී තිබුණේ ආසාදිතයන් 44 දෙනකු පමණි. එරටින් වාර්තා වී තිබූ මරණ ගණන 7කි. කොරෝනා වයිරසය පාලනය කළ තායිවානය මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයටත් යුරෝපයටත් මුඛ/මුහුණු ආවරණ මිලියන ගණනින් අපනයනය කරයි. තායිවාන ජනාධිපතිනියගේ උණුසුම් සහ අධිකාරිවාදී ක්‍රමවේදය බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව ඇත. කොරෝනා මර්දනයට ඇය ගත් ක්‍රියාමාර්ග දේශපාලන විරුද්ධවාදීන්ගේ පවා ප්‍රංශසාවට ලක්ව ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්මේලනයක් ලබන සතියේදී පැවැත්වීමට නියමිතව ඇත. එයට තායිවානය සම්බන්ධ කරගත යුතු යැයි නවසීලන්තය පවසා ඇත. මේ හේතුවෙන් චීනය ප්‍රකෝප වී ඇති අතර ද්විපාර්ශවීය සබඳතාවලට ද බලපෑම් එල්ල වනු ඇතැයි අනතුරු අඟවා ඇත.

තායිවානයට ඇමෙරිකා එක්සත් ජනපදයේ ද සහයෝගය හිමි ව ඇත. තායිවානය එක්සත් ජාතීන්ගේ සාමාජික රටක් නොවන අතර චීනයේ (මහජන චීන සමූහාණ්ඩුව) එක් රටක් පිළිවෙත නිසා බොහෝ රටවල් තායිවානය, රටක් ලෙස පිළිගන්නේ නැත.

අපට බොහෝ හුරුපුරුද නෝර්වේ රාජ්‍ය අප්‍රේල් මස අගදී වයිරසය මර්දනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කළේය. අප්‍රේල් මස අගදී පෙරපාසල් පවා විවෘත කිරීමට එරට බලධාරීහු පියවර ගත්හ.

ඉකුත් (13) දහවල් වනවිට එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 8,157ක් වූ අතර එරටින් වාර්තා වූ මරණ ගණන 228ක් විය. ‘‘ලොකු තීරණ ගන්න මං විද්‍යාඥයන්ට ඉඩ හැරියා. විශේෂයෙන්ම වෛද්‍ය තීරණ ගන්න විද්‍යාඥයන්ට ඉඩ හැරියා’’ යැයි ඉකුත් දිනෙක සී.එන්.එන් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වූ නවසීලන්ත අග්‍රාමාත්‍ය අර්නා සෝල්බර්ග් කීවාය. තම රට කොරෝනා මර්දනය කිරීමේදී සාර්ථක වූයේ බොහෝ කලින් ‘ලොක්ඩවුන්’ සීමා පැනවීමත් ‘කොවිඩ්-19’ පරීක්ෂා කිරීමේ වැඩසටහන නිසාත් යැයි ද ඇය කීවාය.

නෝර්වේ අග්‍රාමාත්‍යවරිය අනුගමනය කළේ, ඩෙන්මාර්ක අග්‍රාමාත්‍යවරිය වන මේටේ ෆ්‍රෙඩරික්සන් අනුගමන කළ පිළිවෙතය. නෝර්වේ අග්‍රාමාත්‍යවරිය ද කොරෝනා මර්දනයේදී අසාමාන්‍ය පිළිවෙත් අනුගමනය කළාය. ඇයි මාධ්‍ය හමු දෙකකදී වෙන වෙනම ජනතාව ඇමතූවාය. විශේෂයෙන්ම එක් මාධ්‍ය හමුවකදී සෘජුවම එරට දරුවන් ඇමතුවාය. එම මාධ්‍ය හමු දෙකටම වැඩිහිටි මාධ්‍යවේදීන්ට තහනම් කළාය. ‘මම ටිකක් බයෙන්’’ ඇයි එක් මාධ්‍ය හමුවකදී කීවාය. ‘‘මට මගේ යාළුවෝ බදාගන්න’’ බැහැ ඇය තවත් මාධ්‍ය හමුවකදී කීවාය.

මේ අතරවාරයේදී අයිස්ලන්ත අග්‍රාමාත්‍යවරිය ද විශේෂ පියවරක් අනුගමනය කළාය. අයිස්ලන්ත අග්‍රාමාත්‍ය කත්‍රිනියා කොබ්ස්ඩ්ටයර් රටේ සෑම පුරවැසියකුටම නොමිලේ ‘කොවිඩ්-19’ පරීක්ෂණ කිරීමට අවස්ථාව සලසා දුන්නාය. රෝග ලක්ෂණ පෙන්නුම් කරන අයට පමණක් නොව අන් ඕනෑම කෙනකුට නොමිලේ පරීක්ෂණ කිරීමට අවස්ථාව සැලසුවාය. එමෙන්ම කොරෝනා ආසාදිතයන් නිරාවරණය වූ අය සොයා දැවැන්ත මෙහෙයුමක් කිරීමට අයස්ලන්ත බලධාරීහු පියවර ගත්හ. මේ තත්ත්වය හේතුවෙන් එරටට පාසල් වසා දැමීමේ අවශ්‍යතාවක් මතු නොවීය. නොමිලේ පරීක්ෂණ කිරීමේ අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට එරට ජනගහනයෙන් සියයට 12ක් කටයුතු කර තිබිණි.

පසුගිය වසරේදී ලොව ලාබලතම රාජ්‍ය නායකයා බවට පත්වූ ෆින්ලන්තයේ අග්‍රාමාත්‍ය සානා මරීන් ද ‘ලොක්ඩවුන්’ සීමා පනවමින් දැඩි ක්‍රියාමාර්ග ගත්තාය. අත්‍යවශ්‍ය නොවන සියලු ගමනාගමනවලට තමනමක් පැනවීමට ද ඇය පියවර ගත් අතර හෙල්සින්කි පළාතෙන් පිටවීම ද තහනම් කළාය. මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් කොරෝනා වයිරසය පාලනය කිරීමේදී අසල්වැසි ස්වීඩනයට වඩා විශාල සාර්ථකත්වයක් පෙන්නුම් කිරීමට ෆින්ලන්තය සමත් විය.

කොරෝනා මර්දනය කිරීමේදී සාර්ථක වූ සියල්ලෝම රාජ්‍ය නායිකාවෝ නොවෙති. කොරෝනා වයිරසය සාර්ථකව මර්දනය කළ රටක් ලෙස සැලකෙන දකුණු කොරියාවේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන්නේ ද කාන්තාවකි. කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක් දකුණු කොරියාවේ ඇති ව තිබුණ ද කොරෝනා පරාජය කිරීමේ දී ලෝකයේ ආදර්ශ මොඩලය වී ඇත්තේ දකුණු කොරියාව යි. දකුණු කොරියාව ‘‘පරීක්ෂා කිරීම, ආසාදිතයන් නිරාවරණය වූ අය සොයාගැනීම සහ පාලනය’’ කිරීමේ උපායමාර්ග දැඩි ලෙස සාර්ථක විය. මේ තත්ත්වය හේතුවෙන් දකුණු කොරියාවේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ ප්‍රධානියා වන ජියෝන්ග් ඉයුන් කියෝන්ග් ජාතික වීරවරියක් බවට පත්ව ඇත.

හර්ෂණ තුෂාර සිල්වා
‘ද ගාඩියන්’ ඇසුරිනි

RECOMMEND POSTS