කොංග්‍රසය රාහුල් ගාන්ධිගේ



රාහුල් ගාන්ධි හෙට (16) ඉන්දියාවේ ප්‍රධාන දේශපාලන කණ්ඩායම ලෙස සැළකෙන, වසර 132 ක් පැරැණි කොංග්‍රස් පක්ෂයේ සභාපති ධුරයෙහි වැඩ බාර ගැනීමට නියමිතය.

රාහුල් ගාන්ධි පක්ෂ සභාපති ධුරයට සුදුසු යැයි තෝරා ගැනීම සිදුවූයේ පසුගිය සඳුදා (11) දිනයේය. පක්ෂ නායකත්වය සඳහා රාහුල් සිය නාම යෝජනා ඉදිරිපත් කළ අවස්ථාවේදී, ඔහුට කිසිවකුගෙන්වත් අභියෝගයක් එල්ල වූයේ නැත. නාම යෝජනා ඉදිරිපත් කර තිබුණේ රාහුල් පමණක් යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව, උප සභාපති ධුරයේ කටයුතු කළ රාහුල්, සභාපති ධුරයට තෝරා ගැනීම සිදුවිය. ඔහු එම ධුරයේ වැඩ කටයුතු නිල වශයෙන් බාර ගැනීම සිදුවන්නේ අද දිනයේය.

රාහුල් පක්ෂ සභාපති ධුරය බාර ගන්නේ එම ධුරයේ කටයුතු කළ ඔහුගේ මව සෝනියා ගාන්ධිගෙනි. පසුගිය කාලයේ අවස්ථා ගණනාවකදී රාහුල්ට පක්ෂ නායකත්වය දීමට සෝනියා පමණක් නොව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ කැමැත්ත පළ කර තිබුණාහ.

කෙසේ නමුත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණය වූයේ රාහුල් දේශපාලන ‘පන්නරයක්’ ලබා නැති බවය. කෙසේ නමුත් 47 හැවිරිදි රාහුල් දිනෙන් දින දේශපාලන පන්නරයක් ලබමින් සිටින බවත්, පක්ෂයට නායකත්වය දීමට ඔහුට හැකි බවත් කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

කොංග්‍රස් පක්ෂය අද වනවිට බරපතල ලෙස පසුබෑමකට ලක් වී සිටී. ඒ, පසුගිය 2014 වසරේ පැවැති මහ මැතිවරණයෙන් පසු, දිගින් දිගටම ප්‍රාන්ත මට්ටමින් ද බලය අහිමි වීම හේතුවෙනි. කෙසේ නමුත් පසුබෑමට ලක්වුණු පක්ෂය ඉදිරියට ගෙන ඒමට රාහුල් ගාන්ධි සමත්වේවිදැයි සැක සහිත බව ඉන්දීය දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

2014 මහ මැතිවරණයේ දී, කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ සංධානයට සියයට විස්සකවත් ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට හැකියාව ලැබුණේ නැත. ඉන්දියාවේ අගමැති ධුරයේ සිටින නරේන්ද්‍ර මෝදිට සහ ඔහුගේ ‘භාරතීය ජනතා පක්ෂයට’ අති බහුතර ජන වරමක් හිමිවූයේ මෙම මැතිවරණයේදීය.

ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන 543 න්, කොංග්‍රස් පක්ෂය ඇතුළු සංධානයට ඇත්තේ ආසන 44 කි. එය සියයට 8 ක ප්‍රතිශතයකි. අගමැති මෝදි සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂය ඉන්පසු දිනෙන් දින ජනතාව අතරේ ජනප්‍රිය විය. අද ප්‍රාන්ත මට්ටමින් ද ජනතා පක්ෂය විශාල ජයග්‍රහණයක් ලබා සිටී.

2014 මහ මැතිවරණ පරාජයෙන් පසු දිගින් දිගටම පරාජය හිමිවුණු කොංග්‍රස් පක්ෂය සතුව අද වනවිට ඉතිරි වී ඇත්තේ කර්ණාටක සහ පන්ජාබ් ඇතුළු කුඩා ප්‍රාන්ත කිහිපයක් පමණි.

මේ වනවිට ගුජරාට ප්‍රාන්තයේ ප්‍රාන්ත මැතිවරණය පැවැත්වෙයි. මෙම මැතිවරණය හරහා කොංග්‍රස් පක්ෂය, මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට අභියෝගයක් වීමට උත්සාහ ගනී. ගුජරාටය යනු අගමැති මෝදිගේ බල කඳවුරය. 2014 වසරේ දී අගමැති ධුරයට පත් වීමට පෙර, මෝදි වසර ගණනාවක් මෙම ප්‍රාන්තයේ මහ ඇමැති ධුරය හෙබවීය.

 (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS