කුරු අලියා රැකගමු



අලි ඇතුන් යනු ආරක්ෂා කරගත යුතු සම්පතක් වුවත් දිනෙන් දි‍න මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්ම මෙම දැවැන්තයෝ ලොවට අහිමි වෙමින් සිටිති.

මේ කතා කරන්නට යන්නේ ද ආරක්ෂා කරගත යුතු නමුත් තර්ජනයට ලක්ව සිටින අලියකු පිළිබඳවය. ලෝකයේ විවිධ වර්ගයේ අලි වෙති. අප්‍රිකානු අලියා, ආසියානු අලියා ලෙස උප වර්ගවලට බෙදෙන අලින් විවිධ උස ප්‍රමාණයකින් යුතුය.

මේ සටහන ලෝකයේ දැනට හමුවී ඇති හා ජීවත්වන එකම කුරු අලියා පිළිබඳවය. එම කුරු අලියා සිටින්නේ ශ්‍රී ලංකාවේ උඩවලව ජාතික වනෝද්‍යානයේවීම රටක් ලෙස අපට ආඩම්බර විය හැකි කරුණක් වුවත් මෙම අලියාද විවිධ අවස්ථාවල වෙඩි ප්‍රහාරයන්ට ලක්වූ සලකුණු උගේ ශරීරයෙන් දක්නට ලැබේ. එනම් මෙම සම්පතද පසුගියදා රටට අහිමි වූ කළු ‍කොටියා මෙන් කොයියම්ම හෝ මොහොතක අපට අහිමිවී‍මේ අවධානමක් පවතින බව පෙනේ.
ලෝකයේ දැනට සිටින්නේ මෙම කුරු අලියා පමණක් බව පැවසුණත් සිරිපා රක්ෂිතයේ කුරු අලින් ජීවත්වන බවට ජනප්‍රවාදයක් පවතී. නමුත් එහිදී මෙවන් අලින් කිසිවෙකුගේත් ඇස ගැසී නොමැති අතර දැනට ජීවත්වන බවට සාධක පවතින එකම කුරු අලියා ‍උඩවලව රක්ෂිතගේ ජීවත්වන මෙම කුරු අලියාය.

මෙම කුරු අලියා උඩවලවේ වනෝද්‍යානයේදී වුවත් නිතර දැක බලා ගැනීමට නොලැබෙන නමුත් දෙස් විදෙස් සංචාරකයන් බොහොමයකට මේ වන විට  එම අතිශය දුර්ලභ සත්වයා දැකගැනීමේ වාසනාව උදා වී ඇතැයි පැවසේ. ලෝකයටම සිටින එකම කුරු අලියාගේ හැසිරීම් රටා ඇතුළත් වීඩියෝ දර්ශන පමණක් නොව අපූරු ඡායාරූප ද වනජීවී නිලධාරින් හා වන අලි අධ්‍යයනය කරන්නන් සතුව පවතී.

දෙස්  විදෙස් සංචාරකයින් බොහෝ දෙනෙකුගේ කැමරා කාචවලද මේ කුරු අලියාගේ දුර්ලභ දසුන් සටහන්වී තිබේ.

උඩවලවේදී දකින්නට ලැබෙන මේ කුරු අලියාගේ පිටුපස ගාත් දෙක ප්‍රමාණයෙන් කුඩා වුවත්, ඉදිරිපස ගාත් ප්‍රමාණයෙන් විශාලය. එනම් ඉදිරිපස පාදවලට සාපේක්ෂව පිටුපස පාද කුඩාවට පිහිටා තිබේ. මෙම අලියාගේ හිසද ශරීරයට සාපේක්ෂව විශාල ලෙස වැඩී ඇති අතර මෙම කුරු අලියා ගමන් කරන්නේ තරමක අපහසුතාවයකින් බව නිරීක්ෂණය වී තිබේ. පාදවල කුඩා බව නිසා ශරීරයේ බර දරා ගත නොහැකිවීම එයට හේතුව වී තිබේ.

කුරු මිනිසුන් මෙන්ම කුරු අලි බිහිවනුයේ ද මෙවැනි ජාන විකෘතිතා නිසා බව සත්ව විද්‍යාඥයෝ පවසති. සාමාන්‍යයෙන් කුරු අලියෙක් උපදින විටම උගේ උස සෙන්ටිමීටර් 80ක් පමණ වන අතර බර කිලෝ ග්‍රෑම් 168ක් පමණ වෙන බව සොයාගෙන තිබෙනවා.

මෙම කුරු අලියා දක්වට ලැබෙන්නේ උඩවලවේදී පමණක් වුවත් උගේ ස්ථිර වාසස්ථානය උඩවලවේ වනාන්තරය නොවන බව වනජීවී නිලධාරීන්ගේ අදහසයි. එම සත්වයා හම්බේගමුව, කල්තොට, කුඩාඔය හා බෝගහපට්ටිය ප්‍රදේශවලත් සැරිසරන බව හඳුනාගෙන තිබේ.

ලෝකයේ ප්‍රථම වතාවට කුරු අලියෙක් පිළිබඳව සාක්ෂි සොයාගෙන ඇත්තේ සිසිලි දූපතේ නැගෙනහිර ප්‍රදේශයෙනි. ඒ 1958 වසරේදී වන අතර කුරු අලින්ගේ බවට සැක කෙරෙන අස්ථි විශාල සංඛ්‍යාවක් එම ප්‍රදේශයෙන් සොයා ගැනීමට සත්ව විද්‍යාඥයන් සමත්වී තිබේ.මීට අමතරව සයිප්‍රස් රටෙන් සහ මෝල්ටා දූපත ආසන්නයේද කුරු අලින්ගේ බවට අනුමාන කෙරෙන අස්ථි විශාල ප්‍රමාණයක් සත්ව විද්‍යාඥයින් විසින් සොයාගෙන සත්ව අනුරූ සාදා ඇතත් ජීවී සත්වයෙක් ලෙස ලෝකයෙන්ම කුරු අලියෙක් හමුවී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් පමණි.

එබැවින් මෙම සත්වයා ආරක්ෂා කරගත යුතු සම්පතක් බව යළි යළිත් කිවයුතු නොවේ. නමුත් මොහු ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ නිසි උනන්දුවක් නොමැති බවට පරිසරවේදීන් චෝදනා කරති. සාමාන්‍යයෙන් දඩයක්කරුවන් ප්‍රමාණයෙන් කුඩා සතුන් අල්ලාගැනීම සඳහා බඳින තුවක්කුවලින් තුවාලවන්නේ අලි ඇතුන්ගේ පාදවලට වුවත් මෙම සත්වයා උසින් අඩු නිසා උගේ බෙල්ල, ශරීරයේ වෙනත් තැන්වලට එම වෙඩි එල්ල වන බව පරිසරවේදීන්ගේ අදහසයි.

එලෙස වසර ගණනාවක තිස්සේ එල්ල වූ වෙඩි ප්‍රහාරවල සලකුණු මෙම සත්වයාගේ සිරුරේ නොයෙක් ස්ථානවල දක්නට ලැබේ.

පරිසරවේදී ශෂිකලණ රත්වත්ත මහතා පැවසුවේ මෙම අලියා උඩවලවේ ගැවසෙන කෙටි කා‍ලයේදී හැර ‍වසරේ වෙනත් කාලවලදී ගැවසෙන ප්‍රදේශ සොයාගැනීමට හෝ වනජීවී නිලධාරීන්ට උනන්දුවක් නොමැති බවයි.

අලියා සැරිසරන ප්‍රදේශ හඳුනාගත හැකි විශේෂ කොලරයක් පළඳවා එම ප්‍රදේශ හඳුනාගෙන අවදානම් ප්‍රදේශවල සැරිසරන්නේ නම් ආරක්ෂාකරගැනීමට ක්‍රියාමාර්ග ගත හැකි වුවත් වනජීවී දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් උනන්දුවක් නොදක්වන බව ද ඔහු කීවේය.

මෙම සත්වයා රැකගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම ඔහු නිතර වෙඩි උණ්ඩයන්ට ලක්වීමට හේතුවක් බව කී රත්වත්ත මහතා මාරාන්තික වෙඩි ප්‍රහාරයකට ලක්වුවහොත් ලෝකයටම මෙම සම්පත අහිමි වනු ඇතැයි ද පැවසීය.

එබැවින් දැන් හෝ ‍ක්‍රියාමාර්ග ගෙන මෙම සත්වයා ආරක්ෂා කරගැනීමට වනජීවී නිලධාරීන් අවධානය යොමු කළ යුතුය.

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS