කුංෆු අත්තම්මා



චීනයේ ජැජියෑන් පළාතේ වෙසෙන අනූ හතර හැවිරිදි ජෑන්ග් හෙක්ෂන් චීනයේ අන්තර්ජාල තාරකාවක් බවට පත් වී සිටින්නීය.

අනූ විය ඉක්මවූවත් ඇයට අදටත් අතපය හොඳහැටි වාරු ය. වෙනත් බොහෝ අත්තම්මලාට වඩා බෙහෙවින් වෙනස් ජෑන්ග් හෙක්ෂන් දක්ෂ කුංෆු ගුරුවරියකි.

දෑත් හා දෙපා වලින් පමණක් නොව පොලු වලින් ද ඇය කුංෆු සටන් ශිල්පයේ නිරත වන්නේ සිය වයසට වඩා බෙහෙවින් බාල තරුණ තරුණියන් සමගිනි.

ඇය සිය පියාගෙන් කුංෆු සටන් කලාව හැදෑරීම ආරම්භ කළේ සිවු වියේ දැරියක් ව සිටියදී ය. එතැන් පටන් දශක නවයක් පුරාවට ඇය මෙම සටන් කලාවේ නිරතවිය.

නැගෙනහිර චීනයේ සෙජියෑං පළාතේ නිංග්බෝ නගරයේ ලියෑං හි මීළඟ පරපුරට කුංෆු සටන් ශිල්පය උගන්වන ජෑන්ග් හෙක්ෂන් පවසන්නේ නගරයේ වෙසෙන චණ්ඩි රැළට අභියෝග කර  ඔවුන්ට පාඩමක් ඉගැන්වීමට සිය දක්ෂතා වලින් හැකි වූ බවයි.

තවමත් කුංග් ෆු සටන් පුහුණුවීම්වල නිරතවන ඇය දවස පුරා ජංගම දුරකතනයේ ඇලී නොසිට පුහුණුවීම්වල යෙදෙන ලෙස සිය මුනුබුරු මිනිබිරියන්ගෙන් ඉල්ලා සිටීමටද අමතක නොකරන්නීය.

තිළිණි ද සිල්වා 
බී.බී.සී ඇසුරෙනි


RECOMMEND POSTS