කැසිනි සෙනසුරුගේ වළලු අතරින් රිංගයි



මීට 20 වසරකට පෙර සෞරග්‍රහ මණ්ඩලයේ සය වැනි ග්‍රහයා වන, දීප්තිමත් වළලුවලින් ද සුසැදි සෙනසුරු ග්‍රහයා ගවේෂණයට පෘථිවියෙන් පිටත්ව ගියේය.

‘කැසිනි’ නමින් හැඳින්වෙන එම ගවේෂණ යානය, සිය මෙහෙයුම් අවසන් කරමින් සෙනසුරුගේ වළලු අතරින් ගමන් කිරීම පසුගිය 26 වැනිදා ආරම්භ කළ බව ඇමෙරිකාවේ නාසා ආයතනය නිවේදනය කළේය. මෙය ‘කැසිනි’ යානයේ අවසන් ගමන ද වනු ඇතැයි නාසා විද්‍යාඥයෝ පැහැදිලි කළහ. වළලු අතරින් ගමන් කරමින් දත්ත රැස් කරන ‘කැසිනි’ යානය, සෙනසුරු මතුපිටට කඩා වැටී විනාශ වනු ඇතැයි පැවැසෙයි. එය සිදුවනු ඇත්තේ ලබන සැප්තැම්බර් 15 වැනිදාය.

‘කැසිනි’ සෙනසුරු සහ සෙනසුරුගේ චන්ද්‍රයන් ගවේෂණය සඳහාම යැවුණු යානයකි. ඇමෙරිකාවේ නාසා ආයතනය මූලිකත්වය ගෙන කටයුතු කළ ද යුරෝපා අභ්‍යවකාශ ආයතනය සහ ඉතාලි විද්‍යාඥයෝ ද කැසිනි මෙහෙයුමට සම්බන්ධ වී සිටිති. පෘථිවි විද්‍යාඥයන් සෙනසුරු ගවේෂණයට යැවූ සිවුවැනි මිනිසුන් රහිත රොබෝ ගවේෂණ යානය මෙයයි. කෙසේ නමුත් සෙනසුරු ග්‍රහයාගේ කක්ෂයට පිවිසි ගවේෂණ සිදු කළ පළමු සහ එකම ගවේෂණ යානය කැසිනි වෙයි.

ගවේෂණ ඇරැඹේ
2004 වසරේ දී සෙනසුරුගේ කක්ෂයට පිවිසීමෙන් පසු, ‘කැසිනි’ සෙනසුරුගේ වායුගෝලය සහ වළලු ගැන අධ්‍යනය කළේය. දත්ත ලබා ගනිමින් ඒවා පෘථිවියට එවනු ලැබුවේය. ඊට අමතරව කැසිනි සෙනසුරුගේ චන්ද්‍රයන් ගවේෂණය සිදු කළේය. සෙනසුරුට චන්ද්‍රයෝ 62 කට වැඩි ප්‍රමාණයක් වෙති. ඒත් ඒවා අතරින් කැපී පෙනෙන්නේ ටයිටන්, මිමාස්, ඩියෝන්, රීයා වැනි ප්‍රමාණයෙන් සහ විශ්කම්භයෙන් වැඩි චන්ද්‍රයන්ය.

රහස් සොයයි
කැසිනි ගවේෂණ යානය නිර්මාණය කෙරුණේ 1980 දශකයේ සිටය. යානය කොටස් දෙකකින් සමන්විත විය. ආරම්භයේ දී එය ‘කැසිනි හයිගන්ස්’ යනුවෙන් ද නම් කෙරුණි. ‘කැසිනි’ යනු සෙනසුරුගේ කක්ෂයට පිවිස කක්ෂයේ රැඳී සිටිමින් දත්ත රැස් කරන යානයයි. කැසිනි යානය සමඟ එහි කොටසක් ලෙස යැවුණු ‘හයිගන්ස්’ කුඩා පතිත කරවන යානයක් විය. එය පතිත කරවූයේ සෙනසුරුගේ ‘ටයිටන්’ නමැති චන්ද්‍රයා මතුපිටටය. ටයිටන්ගේ රහස් රැසක් අනාවරණය කර ගැනීමට ‘හයිගන්ස්’ සමත් විය.

ගෞරවයක්
මෙම යානා ‘කැසිනි හයිගන්ස්’ යනුවෙන් නම් කෙරුණේ ජියොවානී කැසිනි සහ ක්‍රිස්ටියාන් හයිගන්ස් යන තාරකා විද්‍යාඥයන්ට ගරු කිරීමක් ලෙසිනි. ‘කැසිනි හයිගන්ස්’ ගවේෂණ යානය 1997 වසරේ ඔක්තෝබර් 15 වැනිදා පෘථිවියෙන් පිටත්ව ගියේය. එම සෙනසුරුගේ කක්ෂයට පිවිසියේ 2004 වසරේ ජූලි 4 වැනිදාය. කැසිනි මවු යානයෙන් වෙන්වුණු ‘හයිගන්ස්’ ගවේෂණ යානය, සෙනසුරුගේ ටයිටන් ග්‍රහයා මතුපිටට පතති කළේ 2005 වසරේ ජනවාරි 14 වැනිදාය. ටයිටන් මතුපිට සිට, සෙනසුරුගේ කක්ෂයේ රැඳී සිටින ‘කැසිනි’ යානය හරහා පෘථිවියට පණිවුඩට එවීම ‘හයිගන්ස්’ විසින් සිදු කරනු ලැබීය.

ලුසිත ජයමාන්න
රොයිටර් අසුරිනි

 


RECOMMEND POSTS