කාන්තාවන්ට පමණයි - රෝස පාට ටැක්සි සේවයක්



කාන්තා රියදුරන් යෙදවූ ‘කාන්තාවන්ට පමණක්’ කුලී රථ සේවයක් කරච්චි නුවර කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

කරච්චි යනු පාකිස්තානයේ වෙළෙඳ අගනුවරය. කාන්තාවන් නිරන්තරයෙන් මහ මඟදී ලිංගික අතවරයන්ට ගොදුරු වන හෙයින්, ‘කාන්තාවන්ට පමණක්’ කුලී රථ හඳුන්වා දීම සිදු කරෙන බව ටැක්සි සේවා සැපැයුම සිදුකරන ‘පාසී කැබ් සර්විස්’ පවසා තිබේ.

කුලී රථ රෝස පැහැයෙන් වර්ණ ගන්වා ඇති අතර, ස්මාර්ට් ෆෝන් ජංගම දුරකතන හරහා මෙම ටැක්සි සේවාව තමන් කැමැති ස්ථානයකට ගෙන්වා ගැනීමට ද කාන්තාවන්ට හැකියාව ලැබෙනු ඇත.

රියැදුරු කතුන් ද ඔවුන්ගේ අනන්‍යතාව ලෙස රෝස පැහැති ස්කාෆ්වලින් සහ කළු ඇඳුමින් සැරැසී සිටිනු ඇතැයි ‘පාසී කැබ් සර්විස්’ හි ප්‍රධානී අම්බී්‍රන් ෂෙයික් පවසා තිබේ.

රියැදුරුවරියන් ලෙස විශ්ව විද්‍යාල සිසුන්, ගෘහනියන් සහ දක්ෂ උගත් තරුණියන් බඳවා ගෙන ඇතැයි ද වාර්තා වේ.
කාන්තාවන්ට පමණයි රෝස පැහැති ටැක්සි සේවය ලබන මාසයේ සිට ක්‍රියාත්මක වන බව ද අම්බී්‍රන් ෂෙයික් රොයිටර් පුවත් සේවය සමඟ පවසා තිබේ.

(රොයිටර්)

 


RECOMMEND POSTS