කළු මිනීපෙට්ටියක් මතුවෙලා



ඊජිප්තුවේ, ඇලෙක්සැන්ඩ්‍රියා වරාය නගරයේ කළ කැණීමකදී, මීටර් පහක් ගැඹුරේ, ගලින් කරන ලද කළු පැහැති මිනී පෙට්ටියක් මතු කර ගැනීමට, ඊජිප්තු පුරාවිද්‍යාඥයෝ පිරිසක් පසුගිය දා සමත් වූහ.

ගලින් කරන ලද මෙම මිනීපෙට්ටිය සුවිශේෂී එකකි. එය නිර්මාණය කර ඇත්තේ ‘ග්‍රැනයිට්’ හෙවත් කළු ගලිනි. ‘මෙය විවර කිරීමෙන් වළකින්න’ යනුවෙන් ඉපැරැණි අක්ෂරවලින් අනතුරු ඇඟවීමක් කර තිබුණ ද පුරාවිද්‍යාඥයෝ එය විවර කළහ. දුටු දෙයින්, ඔවුන් මවිතයට පත් වූවා පමණක් නොව, මේ වනවිට මෙම මිනීපෙට්ටිය මුල්කොට ගනිමින් අබිරහසක් ද නිර්මාණය වී අවසන්ය.

පුරාවිද්‍යාඥයන්ට හමුවුණු ගල් මිනී පෙට්ටිව මීටර් දෙකක් එසේත් නැතිනම් අඩි 6.5 ක් උසින් යුක්ත වන අතර එහි බර ටොන් 30 (කිලෝ ග්‍රෑම් 27,000) කි. පුරාවිද්‍යාඥයන් මෙම සොයා ගැනීම කළේ මීට මාසයකට පමණ පෙරය. කෙසේ නමුත් එහි සවිස්තරාත්මක වාර්තාවක් එළිදැක්වීමට ඊජිප්තු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කළේ පසුගියදාය. සියලු විස්තර මාධ්‍ය වෙත අනාවරණය කළේ ඊජිප්තු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මොස්තාෆා වසීරි ය.

මිනීපෙට්ටිය තුළ තැම්පත් කර ඇත්තේ කාගේ සිරුරදැයි යන්න ප්‍රශ්නාර්ථයක් විය. මිනී පෙට්ටිය සොයා ගැණුනේ ඊජිප්තුවේ දෙවැනි විශාලතම නගරය වන ඇලෙක්සැන්ඩ්‍රියාවෙනි. මෙය ඓතිහාසික වරාය නගරයකි. අතීතයේ, එනම් මිසරයේ (පුරාණ ඊජිප්තුව) වෙළෙඳ කේන්ද්‍රස්ථානය වූයේ ද මෙම නගරයයි.

ඉපැරැණි ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ නටබුන් අදත් දකින්න ලැබේ. මෙම නගරය මේ නමින් හැඳින්වෙන්නේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා හේතුවෙනි. මුලින් අනුමාන කළේ මෙම කළුගල් මිනීපෙට්ටිය මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ දේහය තැම්පත් කළ මිනී පෙට්ටිය කියාය. එහෙයින් එය විවර කිරීමට කටයුතු යෙදුණි. කෙසේ නමුත් මිනීපෙට්ටිය ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ යැයි සැක කළත් මෙතරම් කුඩා මිනීපෙට්ටියක් මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ වීමට ඉඩක් නැති බව පුරාවිද්‍යාඥයෝ පෙන්වා දී තිබුණාහ. පසුව ඒ බව තහවුරු විය.

‘සාපයක් ඇතැයි’ කළ අනතුරු ඇඟවීම ගැන සැලකිල්ලට නොගෙන ඊජිප්තු පුරාවිද්‍යාඥයන් සහ ඊට සම්බන්ධ වුණු සේවකයන් එක් වී, මුහුණු ආවරණ ද පැළඳ, මහත් පරිශ්‍රමයකින් ගල් මිනීපෙට්ටිය විවෘත කිරීම සිදුවිය. මහා දුර්ගන්ධයක් ද පිට කරමින් ගල් මිනීපෙට්ටියේ පියන විවෘත කෙරුණි. එහි තුළ ඇති දේ දැකීමෙන් කාගේත් සිතට චකිතයක් ඇති විය. මිනී පෙට්ටිය පිරී තිබුණේ, කුණු ලේ පැහැයෙන් යුත් දියරයකිනි. එම මහා පිළිකුලක් ගෙන දීමට සමත් විය. ඔක්කාරය ගෙන දෙන දුඟද දසත පැතිරෙන්න විය. සෙමින් සෙමින් දියරය කුමක්දැයි පරීක්ෂා කෙරුණි. මිනී පෙට්ටිය පිරී තිබුණේ වසර ගණනාවක් පුරාවට භූගත අපවහන නළවලින් කාන්දු වූ ජලයෙන් බව අනාවරණය විය.

ජලය ඉවත් වෙද්දී, මිනී පට්ටිය තුළ ඇට සැකිලි තුනක් තිබෙනු දකින්න ලැබුණි. මිනී පෙට්ටියේ තැම්පත් කළ එම සිරුරු දිරාපත් වී ගොසිණි. ‘ගල් මිනී පෙට්ටිය අපි විවර කළා. බිය වෙන්න කාරණාවක් නැහැ. සාපයක් ගැන බියක් ඇති කරගන්න ඕනෑ නැහැ. සාපයක් නැහැ.’ යැයි ැබුවේ ඊජිප්තු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මුස්තාෆා වසීරි මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියට පත් කර තිබුණි. දුගද හමන්න වූ එම දියරය හිස් කරද්දී, පෙට්ටිය තුළ ඇට සැකිලි තුනක කොටස් සහ හිස් කබල තුනක් මතුවිය. මිනීපෙට්ටිය විවර කිරීමෙන් පසු ඒ බව තහවුරු විය.

ඇතුළේ සිරුරු ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ නොවන බව පැහැදිලි විය. මිනීපෙට්ටිය තුළ තිබී හමුවුණු හිස් කබල තුනෙන් එකකට තියුණු ආයුදයකින් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඒවා පරීක්ෂා කිරීමෙන් පසු අනාවරණය වී තිබේ. පුරාවිද්‍යාඥයන් අනුමාන කරන්නේ, එම හිස් කබල සොල්දාදුවකුගේ එකක් කියාය. අනෙක් හිස් කබල දෙක ද පිරිමි හිස් කබල් වන අතර, ඔවුන් කවුරුද සහ ඔවුන්ගේ වයස නිර්ණය කිරීම මේ වනවිට සිදු කෙරෙමින් පවතී. හිස්කබල රෝමානු රජ පෙළපකට හෝ ටොලමිගේ පෙළපතට හෝ අයත් අයගේ නොවන බව මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත.

‘විවර කරන්න එපා, ශාපයක් තියෙනවා’ යනුවෙන් පුරාණ අක්ෂරවලින් අනතුරු ඇඟවීමක් ඇති විට එවැනි කිසිවක් විවෘත කිරීමෙන් වැළැකී සිටිය යුතුයි. මෙසේ කියන්නේ මෙම නව සොයා ගැනීම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඇමෙරිකන් ලේඛිකා කැතරීන් වැලෙන්තේය. “ගල් මිනීපෙට්ටිය විවෘත කිරීමෙන්, ඊජිප්තු පුරාවිද්‍යාඥයන් අනතුරේ වැටෙන්න ඉඩ තිබුණා. කෙසේ නමුත් වාසනාවකට එවැන්නක් සිද්ධ වුණේ නැහැ. හොලිවුඞ් චිත්‍රපටවල බොරු වුණත්, ඒවායින් අපි එක දෙයක් තේරුම් ගන්න ඕනෑ. මිනීපෙට්ටිය ඇතුළේ පුරාණ වයිරසයක්, බැක්ටීරියාවක් හෝ වෙනත් මාරක විසබීජයක් තිබුණා නම්, එය කාටකාටත් අනතුරක් වෙන්න තිබුණා’ යැයි කැතරීන් වැලෙන්තේ වැඩිදුරටත් කියා සිටී.

ඩේලිමේල්


RECOMMEND POSTS