ඕමානය ලෝකයට ගෙනගිය නායකයා



වසර 50 ක් තිස්සේ ඕමානය පාලනය කළ එරට සුල්තාන් (රජු) කබූස් බින් සෙයිද් අල් සෙයිද් (79) පසුගිය 10 වැනිදා අභාවප්‍රාප්ත විය. ඒ, දීර්ඝ කාලයක් පුරාවට පිළිකාවකින් පීඩා විඳීමෙන් පසුවය.

සුල්තාන් කබූස් බින් සෙයිද් අල් සෙයිද්ගේ අභාවය වෙනුවෙන් තෙදින ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරුණු අතර, දින 40 ක් ඕමාන ජාතික ධජය අඬකුඹු කර තැබීමට පියවර ගැණුනි.

අරාබි අර්ධද්වීපයේ හුදෙකලාවී මුලුගැන්වුණු රාජ්‍යයක් ලෙස පැවැති ඕමානය නවීන සංවර්ධිත රාජ්‍යයක් කරා ගෙන යෑමේ නියමුවා ලෙස සැලකෙන්නේ සුල්තාන් කබූස් බින් සෙයිද් අල් සෙයිද් ය.

කබූස් බින් සෙයිද් අල් සෙයිද් මියගියේ මහබඩවැලේ හටගත් පිළිකාවක් හේතුවෙනි.

පසුගිය වසර කීපයේ රෝගී තත්ත්වය හේතුවන් කබූස් බින් සෙයිද් අල් සෙයිද් ප්‍රසිද්ධියේ පෙනී නොසිටි අතර, අවස්ථා කීපයකදී ප්‍රතිකාර සඳහා ජර්මනියට ගිය බව වාර්තා විය.

කබූස් බින් සෙයිද් අල් සෙයිද්ගේ අභාවය වාර්තා වූයේ ඇමෙරිකාවත් ඉරානයත් අතර හටගත් අර්බුදයත් සමඟ මැදපෙරදිග කලාපයේ නොසන්සුන් වාතාවරණයක් නිර්මාණය වූ අවස්ථාවකදීය. ඇමෙරිකාවත් ඉරානයත් අතර යුද උණුසුමක් හටගත්තේ ඇමෙරිකාව ඉරාන හමුදා නායක ජරනාල් කසීම් සුලෙයිමාන් ඝාතනය කිරීම හේතුවෙනි.

කබූස් බින් සෙයිද් අල් සෙයිද්ගේ අභාවයෙන් පසු, ඕමානයේ නව සුල්තාන් ලෙස රජ පවුල විසින් තෝරා ගනු ලැබුවේ, ඕමාන රජයේ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 65 හැවිරිදි හයිතාම් බින් තරීක් අල් සෙයිද් ය.

නූතන අරාබි ලෝකයේ, වැඩිම කලක් බලයේ සිටි නායකයා ලෙස සැලකෙන්නේ සුල්තාන් කබූස් බින් සෙයිද් අල් සෙයිද්ය. කබූස් බින් සෙයිද් අල් සෙයිද් ඕමානයේ සුල්තාන් බවට පත් වූයේ 1970 වසරේදීය. ඒ, ලේ වැගිරීමකින් තොරව කුමන්ත්‍රණය කර ඔහුගේ පියා බලයෙන් නෙරපා දැමීමෙන් පසුවය. කබූස් බින් සෙයිද් අල් සෙයිද් විවාහ නොවුණු අතර, ඔහුට දරුවන් සිටියේ ද නැත.

2011 ඔක්තෝබරයේ කබූස් බින් සෙයිද් අල් සෙයිද්ගේ ප්‍රධානත්වයෙන්, ඕමාන රාජකීය මණ්ඩලය රැස්වී, කබූස් බින් සෙයිද් අල් සෙයිද්ගේ අනුප්‍රාප්තිකයා තෝරා ගැනීම සිදු කළ බව වාර්තා විය. කෙසේ නමුත් එම තැනැත්තා කවුරුන්දැයි ප්‍රසිද්ධියට පත් නොකෙරුණි. කෙසේ නමුත් හයිතාම් බින් තරීක් අල් සෙයිද් ඒ අතර සිටි බව ඕමාන පුවත් සේවා දැන් අනාවරණය කර තිබේ.

නව සුල්තාන් තෝරා ගැනීම සිදු කරනු ලැබුවේ කබූස් බින් සෙයිද් අල් සෙයිද් විසින් තෝරා පත් කළ රාජකීය මණ්ඩලයයි. මෙම මණ්ඩලය පත් කෙරුණේ රජ පවුලට සම්බන්ධ සාමාජිකයන් පස් දෙනකුගෙනි. නව සුල්තාන් පත් කිරීම පවුල් අතරේ අර්බුදයක් ඇතිවීම වැළැක්වීමට මෙම මණ්ඩලය පිහිටුවණු ලැබුණි.

කබූස් බින් සෙයිද් අල් සෙයිද්ගේ අභාවය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් රැජින ශෝක පණිවුඩයක් නිකුත් කර තිබේ. බ්‍රිතාන්‍ය රජ පවුල සහ සුල්තාන් කබූස් බින් සෙයිද් අල් සෙයිද් අතරේ සමීප මිතුදම් පැවැත්විණි.

2010 වසරේ එලිසබත් මහ රැජින, සැමියා පිලිප් කුමරුන් ද සමඟ ඕමානයේ සංචාරයකට ද සහභාගී වූවාය.

1986 දී චාල්ස් කුමරු සහ ඩයනා කුමරිය ගල්ෆ් රටවල සංචාරයක් අතරතුරේ ඕමානයට ගියහ.

රෝගී වී ප්‍රතිකාර ලබා ගැනීමට විදෙස්ගතව සිටිද්දී, හැරී කුමරුන් සහ සුල්තාන් කබූස් බින් සෙයිද් අල් සෙයිද් අතර කෙටි හමුවක් ද පැවැත්විණි.

(ඩේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS