ඔස්කාර් සම්මාන උලෙළේ ජංජාලයක්



ලෝක සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන ඇකඩමි ඇවෝර්ඞ්ස් හෙවත් ඔස්කාර් සිනමා සම්මාන උලෙළ අති උත්කර්ෂවත් අන්දමින් 89 වැනි වරට ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී පැවැත්වුණු අතර, හොඳම චිත්‍රපටය ලෙස වැරදීමකින් වෙනත් චිත්‍රපටයක නම ප්‍රකාශ කිරීමත් සමඟ කලබලයක් හටගත්තේය.

හොඳම චිත්‍රපටයට කුමක්දැයි නිවේදනය කිරීම පැවැරී තිබුණේ හොලිවුඩයේ ප්‍රවීණ නළු 79 හැවිරිදි වොරන් බෙට්සි සහ ප්‍රවීණ නිළි 76 හැවිරිදි ෆේ ඩොනවේටය. 

1967 වසරේ අතිශයින් ජනප්‍රිය චිත්‍රපටයක් වූ ‘බොනී ඇන්ඞ් ක්ලයිඞ්’ හොලිවුඞ් චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ මොවුන් දෙදෙනාය.

විනිසුරුවරුන් ලබා දී තිබුණු ලියුම් කවරය පළමුවෙන් විවර කළේ වොරන් බෙට්සිය. ඔහු එම කාඞ්පත දෙස කිහිප වතාවක් බලමින්, එය ෆේ ඩොනවේට ද එය පෙන්නුවේය. ඉන්පසු හොඳම චිත්‍රපටය ‘ලාලාලෑන්ඞ්’ යැයි පැවැසීය.

ඒ වනවිට ‘ලාලා ලෑන්ඞ්’ චිත්‍රපටය සම්මාන 6 ක් හිමිකරගෙන තිබුණි. මෙවර හොඳම අධ්‍යක්ෂවරයා වූයේ ලාලා ලෑන්ඞ්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂක 32 හැවිරිදි ඬේමියන් චාසෙල්ය. හොඳම අධ්‍යක්ෂ ලෙස ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබූ ලාබාලතම අධ්‍යක්ෂවරයා ලෙස මොහු වාර්තා අතරට එක්විය. හොඳම නිළිය බවට පත් වූයේ ‘ලාලාලෑන්ඞ්’ ප්‍රධාන නිළිය එමා ස්ටෝන්ය.

‘ලාලාලෑන්ඞ්’ හොඳම චිත්‍රපටය යැයි නිවේදනය කිරීමෙන් පසු, ඊට සම්බන්ධ සැවොම ප්‍රීති ප්‍රමෝදයට පත්වූහ. ඔවුහු වේදිකාවට ගොඩ වී සම්මානය හිමි කරගෙන සතුට සමරන්න වූහ.

නිෂ්පාදවරුන් තිදෙනෙක් හොඳම චිත්‍රපටය ලෙස තමන් නිෂ්පාදනය කළ චිත්‍රපටයට සම්මාන හිමිවීම ගැන ඉතා හැඟීම් බර කතා ද පැවැත්වූහ. ඒ අතරේ සංවිධායකවරු වේදිකාවට පැමිණ වැරදීමක් සිදුවුණු බව  ‘ලාලා ලෑන්ඞ්’ චිත්‍රපටයේ නිෂ්පාදක ජෝර්ඩන් හොරෝවිට්ස්ට පැවැසීය. හොරෝවිට්ස් වහා වරද නිවැරදි කළේය. ඔහු වොරන් බෙට්සි අත තිබූ කාඞ්පත කැමරාවට පෙන්වමින් එහි සඳහන්ව තිබූ දේ කියවීය. එහි සඳහන් වී තිබුණේ‘හොඳම චිත්‍රපටය මූන්ලයිට් කියාය.

‘වැරදීමක් වෙලා. විහිළුවක් නොවේ. හොඳම චිත්‍රපටය මූන්ලයිට්’ යැයි පවසමින් වොරන් බෙට්සි, මූන්ලයිට් චිත්‍රපටයේ අධ්‍යක්ෂ බැරී ජෙන්කින්ස්, නිෂ්පාදකවරුන් සහ නළු නිළියන් වේදිකාවට ගෙන්වා ගත්තේය.

තමා අතින් වැරදීමක් වුණු බවත්, හොඳම චිත්‍රපටය ලෙස ‘ලාලා ලෑන්ඞ්’ චිත්‍රපටයේ නම කීම ගැන කනගාටුවන බවත් වොරන් බෙට්සි පැවැසීය.

මෙවර හොඳම නළුවාට හිමි සම්මානය හිමිකර ගත්තේ කේස් ඇෆ්ලික්ය. කේස්ට එම සම්මානය හිමිවූයේ ඔහු ‘මැන්චෙස්ටර් බයි ද සී’ චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙනි. 41 හැවිරිදි කේසි ඇෆ්ලික් යනු ජනප්‍රිය නළුවකු මෙන්ම සම්මානනීය අධ්‍යක්ෂවරයකු ද වන බෙන් ඇෆ්ලික්ගේ සොයුරාය.

හොඳම සහාය නළුවා බවට පත්වූයේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ ‘මූන්ලයිට්’ චිත්‍රපටයට රංගනයෙන් එක්වුණු මහර්ෂෙල්ලා අලීය. වියෝලා ඬේවිස් හොඳම සහාය නිළිය ලෙස සම්මානය දිනා ගත්තේ ‘ෆෙන්සස් චිත්‍රපටය වෙනුවෙනි. හොඳම සජීවීකරණ චිත්‍රපටය ලෙස සම්මානය දිනා ගත්තේ ‘සුටෝපියා’ චිත්‍රපටයයි. 

ඒ.එෆ්.පී.

 


RECOMMEND POSTS