ඔබේ නම අඟහරු යවන්න සූදානම්



තවත්  අඟහරු මෙහෙයුමකට ඇමෙරිකාවේ නාසා ආයතනය සූදානම් වෙයි. මෙම මෙහෙයුම නම් කර ඇත්තේ ‘ඉන්සයිට්’ නමිනි.

මෙහෙයුම ලබන 2018 වසරේ මැයි මාසයේ, නාසා ආයතනයට අනුබද්ධ කැලිෆෝනියාවේ වෙන්ඩන්බර්ග් ගුවන් හමුදා කඳවුරෙන් ඇරැඹේ.

‘ඉන්සයිට්’ යනු මීට පෙර සිදු නොකළ ආකාරයේ අඟහරු ගවේෂණ මෙහෙයුමකි. මෙහිදී අඟහරු මතුපිට නොව අභ්‍යන්තරය ගවේෂණය කෙරේ. ‘කියුරියෝසිටි’, ‘ඔපර්චුනිටි’ වැනි නාසා යානා අඟහරු මතුපිට එහෙමෙහෙ යමින්, ගවේෂණවල නියැලුණත්, අඟහරු අභ්‍යන්තර ගවේෂණය කෙරෙන පළමු මෙහෙයුම මෙයයි.

‘ඉන්සයිට්’ මෙහෙයුමට යොදා ගන්නා ගවේෂණය යානයේ ඇති පරිගණක චිපයට ඔබේ නම ඇතුළත් කිරීමට ද අවස්ථාවක් උදාවිය. ලොව නන්දෙසින් රට රටවල වැසියන්ගේ නම් සහ විස්තර මෙම යානය සමඟ අඟහරු ලොවට යැවීමට නාසා කටයුතු කර ඇත.

2015 වසරේ සිට පසුගිය නොවැම්බර් පළමු වැනිදා දක්වා, ලොව නන්දෙසින්, 8,27,000 ක පිරිසක් ඔවුන්ගේ නම් නාසා ආයතනයට ලැබෙන්න සළස්වා ඇත. නාසා බලධාරීන් එම නම් ඉන්සයිට් රොබෝ යානයේ සිලිකන් මයික්‍රෝචිපයට ඇතුළත් කොට අවසන්ය. මයික්‍රෝ චිපයට නම් ඇතුළත් කිරීමට කටයුතු යෙදුණේ, 2015 වසරේදී, නාසා ආයතනය ඒ බව ලෝකවාසීන්ට දැනුම් දීමෙන් පසුවය.

එක චිපයකට නම් අඩංගු කළ හැකි සීමාව ඉක්මවා ඇති බවත්, තව තවත් නම් ලැබෙමින් පවතින බවත් නාසා ප්‍රධානීන් පසුගිය අගෝස්තුවේ මාධ්‍ය හමුවකදී දැනුම් දුන්හ. ඒ අනුව, පෘථිවි වාසීන්ගේ බලාපොරොත්තු සුන් කරලීමෙහිලා කිසිදු කැමැත්තක් නැතැයි කියමින්, තවත් නම් අඩංගු සිලිකන් චිපයක් ‘ඉන්සයිට්’ මෙහෙයුමට සම්බන්ධ කිරීමට පියවර ගත් බව නාසා බලධාරීහු සතුටින් දැනුම් දුන්හ. ඒ අනුව පසුගිය නොවැම්බර් පළමු වැනිදා රාත්‍රී 11.59 තෙක් අලුතින් නම් භාර ගැනීම දීර්ඝ වී තිබුණි.

‘ඉන්සයිට්’ මෙහෙයුමට සම්බන්ධ වන රොබෝ යානය, පතිත කරවන යානයකි. එයින් අදහස් වෙන්නේ ‘කියුරියෝසිටි’ මෙන් එයට තැන තැන යෑසට හැකියාවක් නැත යන්නය. ඉන්සයිට් ගවේසණ යානය පෘථිවියෙන් අභ්‍යවකාශයට විදිනු ලබනු ඇත්තේ අති ප්‍රබල රොකට්ටුවක ආධාරයෙනි.

පෘථිවි කක්ෂයේදී, ස්වංක්‍රීයව පණ ගැන්වී, පෘථිවියේත් සෙසු ග්‍රහයන්ගේත් ගුරුත්වාකර්ෂණ බලයේ ආධාරයෙන් එය අඟහරු බලා යනු ඇති අතර, ගවේෂණ යානය අඟහරු මත පතිත කරනු ඇත්තේ ලබන වසරේ නොබැම්බරයේය. 

සියුම් ලෙස අඟහරුගේ කැණීම් සිදු කරමින්, අභ්‍යන්තරය ගවේෂණය කිරීම ‘ඉන්සයිට්’ ගවේෂණ යානය විසින් සිදු කරනු ලැබේ. අඟහරු පෘෂ්ඨය ගැනත්, අඟහරු මතුපිට හටගන්නා භූමි කම්පා ගැනත් අධ්‍යනය කිරීම මෙම යානයේ අරමුණය.

ඉන්සයිට් යානය අති නවීන තාක්ෂණයෙන් පරිපූර්ණ වෙයි. අඟහරු අභ්‍යන්තරයට කැණීම් කරමින් හෑරීමට අවශ්‍ය හාරන උපකරණ පස් සාම්පල ලබා ගෙන ඒවායේ දත්ත අධ්‍යනය කිරීමටත් එම දත්ත පෘථිවියට එවීමටත් අපශ්‍ය පහසුකම් සියල්ල ‘ඉන්සයිට්’ සතුව ඇතැයි නාසා කියයි. ඈත අතීතයේ අඟහරු මත ජීවීන් සිටියා නම්, ඒ බවට සාක්ෂි අනාවරණය කර ගැනීමට ද මෙම මෙහෙයුම ඉවහල් වනු ඇත.

ඬේලිමේල් ඇසුරිනි

 


RECOMMEND POSTS