උතුරු කොරියා දකුණු කොරියා සාමය



උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් අතර පැවැත්වුණු හමුව ලෝක දේශපාලනයේ පෙරැළියක් විය. පසුගිය සිකුරාදා (27) කොරියාවේ වේලාවෙන් උදේ 9 (ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදේ 6 ට පමණ) පමණ රාජ්‍ය නායකයන් දෙදෙනා සහභාගී වුණු ‘සාම සමුළුව’ ආරම්භ විය. එකිනෙකාට අවිඅමෝරා ගනිමින් සිටි යුගය අවසන් කරමින්, කොරියා අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමට කිම් ජොන් උන් යෝජනා කළේය.

දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් එම යෝජනාවට එකපයින් කැමැත්ත පළ කළේය. ඒ අනුව, උතුරු කොරියා නායකයා ගත් මෙම තීරණය මුළුමහත් රුසියාව, චීනය පමණක් නොව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය වැනි බටහිර බලවතුන්ගෙත්, ලෝකයට ලොක්කා වන ඇමෙරිකාවේත් පැසැසුමට හේතුවක් වී ඇත.

කොරියා යුද්ධයෙන් පසු උතුරු සහ දකුණු කොරියාව ලෙස වෙන්වීමෙන් පසු, දෙරට දේශසීමාවේ ‘කාටවත් අයත් නොවන’ කලාපයක් පවතී. එය යුද මුක්ත කලාපයකි. එහි බිම් බෝම්බ සහ මර උගුල් අටවා ඇති අතර, වසා දැමුණු දේශසීමා පිවිසුම් ඇත්තේ දෙරටටම පොදු සාම ගම්මානය යන නමින් හැඳින්වෙන කලාපයේය. උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් සහ දෙරටේ නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වුණු ‘සාම මන්දිරය’ පිහිටා ඇත්තේ දේශසීමාවට නුදුරින් දකුණු කොරියානු භූමියේය.

27 වැනිදා උදෑසනින්ම, උතුරු කොරියා නායකයා සිය ආරක්ෂක නිලධාරීන් ද පිරිවරාගෙන ලිමසීන් මෝටර් රථයෙන් දේශසීමාවට අසලට පැමිණියේය. ඉන්පසු උතුරු සහ දකුණු කොරියා වෙන් කෙරෙන මායිමට පයින් ම ආවේය. දකුණු කොරියාව දෙසින් එරට ජනාධිපති මූන් ජේ ඉන්, කිම් ජොන් උන් පිළිගැනීමට දේශසීමාව අද්දරට පැමිණ සිටියේය. අතට අද දෙමින් දෙදෙනා අතර සුහද වචන හුවමාරුවක් සිදුවිය. ‘ඔබ හමුවන්න ලැබීම සතුටක්’. කිම් ජොන් උන් කීවේය. ‘එහෙනම් ඔබ ආවා. ඒක අමාරු වුණේ නැහැනේ. ඔබ හරි නිර්භීතයි’ යැයි මූන් ජේ ඉන් පිළිතුරු දුන්නේය.

අතට අත දීමෙන් පසු ‘අපේ පැත්තට යමු’ යැයි දකුණු කොරියා ජනපතිවරයා, උතුරු කොරියා නායකයාට ඇරැයුම් කළේය. ඒ අනුව, කිම් ජොන් උන් ඔහුගේ අත අල්ලා ගෙන, දේශසීමාව හරහා දකුණු කොරියාවට පය තැබුවේය. කොරියා යුද්ධයෙන් වසර 65 කට පසු, උතුරු කොරියා නායකයකු දකුණු කොරියාවට පය තැබූ පළමු අවස්ථාව මෙයයි.

අතට අත දී ඡායාරූපවලට ද පෙනී සිටීමෙන් පසු, ‘ඔබත් අපේ පැත්තට එන්න.’ යැයි යෝජනා කරමින්, උතුරු කොරියා නායකයා, දකුණු කොරියා ජනපතිගේ අතින් අල්ලා ගනිමින් දේශසීමාව පැන උතුරු කොරියාව පැත්තට රැගෙන ගියේය. ‘ලෝකයේ වඩාත් අනතුරුදායක දේශසීමාව’ ලෙසින් මෙතෙක් කල් හඳුන්වනු ලැබූ ඒ දේශ සීමා රේඛාව උඩින් එහාට මෙහාට පැනීමෙන් පසු දෙදෙනා අත් අල්ලාගෙන දකුණු කොරියාවට ඇතුළු වූයේ සාකච්ඡා සඳහා සාම මන්දිරය වෙත පිය නගමිණි.

38 වැනි සමාන්තරය අසල පිහිටි දේශසීමා රේඛාවෙන් එහාට මෙහාට පනිමින් සිදුවුණු ජවනිකාව පෙර සූදානමකින් සිදුවූවක් නොවිණි. කෙසේ නමුත් පළමු හමුවේදීම එසේ සුහදශීලීත්වයක් පෙන්නුම් කිරීම, සාකච්ඡා සාර්ථකවීමට මඟ පෑදුණු බව පැහැදිලිය. උතුරු කොරියා නායක කිම් ජොන් උන්, දකුණු කොරියා නායක මූන් ජේ ඉන් හමුවීමට පැමිණියේ ද බොහොම සුහදශීලීවය. සිහහවකින් මුව සරසාගෙනය. 2000 වසරේදීත්, 2007 වසරේදීත් උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර සාකච්ඡා පැවැත්වුවත් ඒවා සාර්ථක නොවුණි. 2007 වසරේ සාකච්ඡා යම් ප්‍රගතියක් පෙන්නුම් කළ ද එය දෙරට අතර සාමය ස්ථාපිත කිරීමට ප්‍රමාණවත් නොවුණු බව පැවැසෙයි. කෙසේ නමුත්, අතීතයේ පැවැති රාජ්‍ය නායකයන්ගේ හමුවීම් මෙන් නොව, කිම් ජොන් උන් සහ මූන් ජේ ඉන්ගේ හමුව මුළුමනින්ම වෙනස් එකක් විය. එය හරියට අවුරුදු ගණනාවක් තිස්සේ හොඳින් දැන හඳුනගෙන සිටි මිතුරන් දෙදෙනකුගේ හමුවක් වැනිය. එම හමුව සුහදශීලී එකක් වූවා පමණක් නොව, අතිශයසංවේදී හමුවක් ද විය.

කිම් ජොන් උන් දකුණු කොරියාවට පිවිසියේ තනිවම නොවේ- ඔහුගේ නැගණිය මෙන්ම උපදේශිකාව ද වන කිම් යෝ ජොංග් ප්‍රමුඛ හමුදා ප්‍රධානීන් සහ රජයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් සමන්විත කණ්ඩායමක් සාකච්ඡා සඳහා දකුණු කොරියාවට ඇතුළු විය. සාකච්ඡා සඳහා දකුණු කොරියා රජය නියෝජනය කරමින් පැමිණි කණ්ඩායම සහ ඔවුන් අතරේ සුහදත්වය වර්ධනය වෙද්දී, කිම් ජොන් උන් සහ මූන් ජේ ඉන් දෙදෙනා සෙමින් සෙමින් ඇවිද යමින් කතා කළහ.

දෙදෙනා එක්වී ‘කොරියන් පයින්’ ගසක් රෝපණය සඳහා පස් දැමීම සහ ජලය ඉසීම සිදු කළේය. එය සුවිශේෂී සිදුවීමකි.  පයින් ගස රෝපණය සිදුවූයේ දේශසීමාවේ පන්මුන්ජොන් ගම්මානය ආසන්නයේය.  පෙක්ටු සහ හෙලා යන නම්වලින් හැඳින්වෙන උතුරු කොරියාවට සහ දකුණු කොරියාවට අයත් කඳු දෙකකින් ලබා ගත් පස්  පයින් ගසට දැමීම්ත් දෙරටින්ම ගෙනා වතුර ගසට ඉසීමත් රාජ්‍ය නායකයන් දෙදෙනා අතින් සිදුවිය.

කිම් ජොන් උන් ඇතුළු පිරිස ඉතා ගෞරවයෙන් පිළිගනිමින් ඔවුන් ‘සාම මන්දිරයට’ රැගෙන යෑම සිදු කෙරුණි. සාම සමුළුවට සමගාමීව, දෙරටට ආවේණික කෑම පිළිගැන්වීමක් ද සිදුවිය. ‘සීතල නූඞ්ල්ස්’ යනුවෙන් හැඳින්වෙන උතුරු කොරියානුවන්ට ආවේණික නූඞ්ල්ස් දකුණු කොරියා ජනාපති මූන් ජේ ඉන් ට පිළිගැන්වීමට උතුරු කොරියා නායකයා කටයුතු කළේය. ඒ, පෙර කළ දැනුම් දීමකට අනුවය. සමුළුව පැවැති පසුගිය සිකුරාදා (27) දිනයේ උතුරු කොරියාවේ මෙම ‘සීතල නූඞ්ල්ස්’ සඳහා දකුණු කොරියා අවන්හල්වල ද ලොකු ඉල්ලුමක් පැවැතියේය. දකුණු කොරියා අවන්හල්වලට ප්‍රමාණවත් අන්දමින් නූඞ්ල්ස් සැකැසීමට පවා නොහැකි විය. ‘සීතල නූඞ්ල්ස්’ යනු මස් මාංශ සහ බිත්තර ද යොදා සකස් කරන අතිශය රසවත් කෑමක් යැයි පැවැසෙයි.

ඊට අමතර උතුරු කොරියා නායකයා එරට ක්‍රමයට සකස් කළ, එක් කොරියාවක් යන සංකල්පය සිහිගන්වන අයුරින්, කොරියාවේ සිතියමක් ද සහිත කේක් ගෙඩියක් දකුණු කොරියා ජනපති මූන් ජේ ඉන්ට පිළිගැන්වීය. මෙම සාමයේ කේක් ගෙඩිය ජපානයේ දෝෂදර්ශනයට හේතුවක් විය. කේක් ගෙඩියේ, ඒකීය කොරියාවක් ලෙස කොරියාවේ සිතියම සකස් කර තිබුණේ කොරියා අර්ධද්වීයට අයත් කුඩා දූපත් දෙකක් කොරියාවේ කොටසක් ලෙස ඇතුළත් කරමිනි. මෙම දූපත්වලට ජපානය අයිතිවාසිකම් කියයි. කේක් ගෙඩිය සම්බන්ධයෙන් ජපානය උරණ වූයේ ඒ නිසාය.

සාර්ථක සාකච්ඡාවලින් පසු, උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් අතරේ ද්වීපාර්ශ්වීක එකඟතා කිහිපයකට අත්සන් තැබුණි. උතුරු කොරියා නායකයාගේ උපදේශිකාව මෙන්ම නැගණිය ද වන කිම් යෝ ජොංග් ඔහු අසල සිටි අතර, ගිවිසුම් අත්සන් කරද්දී ඇය අයියණ්ඩියට සහාය දුන්නාය. එකඟත්වය ඇති කර ගත්තේ කුමන කරුණු කාරණාදැයි මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රසිද්ධියට පත් කළේ ඉන් පසුවය. කොරියා අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර තැනක් බවට පත් කිරීමටත්, කොරියානු යුද්ධනේ පසු වසර ගණනාවක් පැවැති ‘යුදමය මානසිකත්වය’ බැහැර තිරීමටත් නායකයන් දෙදෙනා එකඟ වී තිබුණි.

දෙදෙනාගේ පළමු හමුව බොහෝ මිත්‍රශීලී අයුරින් සිදුවුණා පමණක් නොව, දෙරට අතර පැවැති පළමු සාකච්ඡාවේදී වැදගත් තීන්දු තීරණ රැසකට දෙපාර්ශ්වයම එකඟත්වය පළ කිරීම සැබැවින්ම ඓතිහාසිකය. මෙය බොහෝ දෙනා අපේක්ෂා නොකළ දෙයකි. දශක ගණනාවක් තිස්සේ දුරස්වී සිටි රටවල් දෙකක රාජ්‍ය නායකයන් දෙදෙනකු එකිනෙකා හමුවූ පමණින් වැදගත් තීන්දු තීරණ ගැනීම සැබැවින්ම සිහිනයක් වැනිය. කෙසේ නමුත් එය සිහිනයක් නොවිණි. සැබැවින්ම එය සිදුවිය. උතුරු කොරියාව සෘජුව ප්‍රකාශ කළේ ඔවුන් ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු හකුළා ගන්නා බවය. න්‍යෂ්ටික අවි භාවිතයෙන් වැළැකී සිටිනවා යැයි ද උතුරු කොරියාව අවධාරණය කළේය. උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන්ගෙන් සමන්විත කොරියන් අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් කිරීමට තීරණය කෙරුණේ ඒ අනුවය.

අවි අමෝරාගෙන යුද මානසිකත්වයකින්, කෘත්‍රිමව සකසා ගත් දේශසීමාවකින් උතුරු සහ දකුණු කොරියාව ලෙස බෙදී වෙන් වී සිටින්නේ එකම රටකි. එකම ජාතියක වැසියන්ය. කතා කරන්නේ එකම භාෂාවකි. දෙගොල්ලන්ටම ඇත්තේ පොදු සංස්කෘතියකි. දෙරටේ බොහෝ දෙනා අදහන්නේ එකම ආගමය. 1950 සිට 1953 තෙක් කාලයේ පැවැති කොරියානු යුද්ධයත් සමඟ උතුරු සහ දකුණු වශයෙන් කොරියාව දෙකඩවීමට හේතුවක් වූයේ ගෝලීය වශයෙන් පැවැති දේශපාලන මතවාදය. ධනවාදය සහ සමාජවාදය අතර පැවැති ගැටුමය. ඒ හැර කොරියාවට මෙසේ රටවල් දෙකක් ලෙස බෙදී වෙන් වීමට වෙන කිසිදු හේතුවක් නැත. එකම ජාතියක් ලෙස ජාතික හැඟීම වර්ධනය කර ගැනීම කෙරෙහි රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අවධානය යොමු වී ඇත්තේ ඒ ගැන සැලකිල්ලට ගනිමිනි.

සාකච්ඡා සියල්ල අවසන් වීමෙන් පසු, දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් සහ බිරිඳ කිම් ජොන් සූක්, උතුරු කොරියානු නායකයා සහ බිරිඳ රී සොල් ජූ වෙනුවෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය. එමඟින් දෙපාර්ශ්වය අතර මිත්‍රත්වය තව තවත් වර්ධනය විය.

උතුරු කොරියාව ඔවුන්ගේ පළමු න්‍යෂ්ටික අත්හදා බැලීම කළේ 2006 වසරේදීය. ඇමෙරිකාව ප්‍රමුඛ ඇමෙරිකාවට හිතවත් බටහිර රටවල්, ‘හිතුවක්කාර’ අන්දමින් කළ එම න්‍යෂ්ටික පිපිරීම් සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කළේය; විරෝධයක් දැක්වීය. ඒ සමඟම උතුරු කොරියාව එරෙහිව සම්බාධක පැනැවීමක් කළේය. ඊට අමතරව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය (නිත්‍ය සාමාජිකයන් වන්නේ ඇමෙරිකාව, මහා බි්‍රතාන්‍යය, ප්‍රංශය, රුසියාව සහ චීනයයි) එක්වී, වට නවයක සම්බාධක පැනැවීමකට කැමැත්ත දුන්නේය. එම සම්බාධකවලින් ද වැඩි ප්‍රමාණයක් යෝජනා කළේ ඇමෙරිකාවය.

වසරින් වසර, මෙම සම්බාධක දැඩි විය. 2006 වසරේදී, මූලික වශයෙන් බර අවි, මිසයිල තාක්ෂණය සහ සුඛෝබෝගී භාණ්ඩ සම්බන්ධයෙන් උතුරු කොරියාවට සම්බාධක පනවා තිබුණු අතර, වසර 2017 වෙද්දී, එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් පමණක් නොව, කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන් මෙන්ම උතුරු කොරියානුවන්ට විදේශවල රැකියා කිරීම සම්බන්ධයෙන් ද සම්බාධක පැනැවීමක් කර තිබේ. විදේශගත උතුරු කොරියානුවන් සිටී නම්, ඔවුන් වහා උතුරු කොරියාවට පිටුවහල් කෙරුණි.

ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනපති ධුරයට පත්වීමෙන් පසුව ද ඇමෙරිකාව උතුරු කොරියාවට සම්බාධක පැනැවීය. ඒ, ට්‍රම්ප් ජනපති ධුරයට පත් වීමත් සමඟ උතුරු කොරියාව, ඇමෙරිකාවට පහර දෙනවා යැයි තර්ජනය කරමින් දිගට හරහට දිගුදුර මිසයිල අත්හදා බැලීම හේතුවෙනි. උතුරු කොරියා නායක කිම් ජොන් උන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ‘පිස්සු බල්ලකු’ යැයි කියද්දී, ජනපති ට්‍රම්ප් උතුරු කොරියා නායකයාට විහිළු කරන්න වූයේ ‘රොකට් මිනිසා’ කියාය. ඒ, ඔහු මිසයිල අත්හදා බලන නිසාය.

උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීම් කළා පමණක් නොව, ජලකර බෝම්බ දෙකක් ද සාර්ථකව අත්හදා බැලුවේය. උතුරු කොරියාවට බලපෑම් කරන්නැයි ජනපති ට්‍රම්ප් චීනයෙන් ඉල්ලීමක් කළේය. උතුරු කොරියාවේ අසල්වැසියා චීනයයි. චීනය සමඟත් චීන ජනාධිපති ෂී ජින්පින් සමඟත් උතුරු කොරියාව යහපත් සබඳතා පවත්වයි. උතුරු කොරියාවේ මිසයිල වැඩසටහනටත් න්‍යෂ්ටික වැඩසටහනටත් රහසේ සහාය දෙන්නේ චීනය යැයි ද පැවැසෙයි. උතුරු කොරියාව සියයට 90 ක් වෙළෙඳ ගනුදෙනු කරන්නේ ද චීනය සමඟය. කෙසේ හෝ උතුරු කොරියාවට සම්බාධක පැනැවීමට ට්‍රම්ප්, චීන ජනාධිපතිවරයා කැමැති කර ගත්තේය. ඒ අනුව, උතුරු කොරියාවට චීනයෙන් සම්බාධක පැනැවිණි. දීර්ඝකාලීන එකම මිතුරා චීනය, උතුරු කොරියාවට හරස්වීම, උතුරු කොරියාවට අතුල් පහරක් විය.

කරුණු කාරණා මෙසේ සිදුවෙද්දී, සීත ඔලිම්පික් උලෙළ දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත විය. මූන් ජේ ඉන් දකුණු කොරියානු ජනපති ධුරයට පත් වූයේ පසුගිය 2017 වසරේදීය. ඔහු ජනපති ධුරයට පත්වූයේ ද උතුරු කොරියාව සමඟ පවතින අර්බුදයට සාමකාමී විසඳුමක් ලබා දෙන බවට ඡන්ද පොරොන්දුවක් දෙමිනි. ජනපති මූන් ජේ ඉන්, පසුගිය පෙබරවාරියේ පැවැත්වුණු සීත ඔලිම්පික් උලෙළට උතුරු කොරියාවට ඇරැයුම් කළේය. උතුරු කොරියා නායක කිම් ජොන් උන් එම ඇරැයුම එකපයින් පිළිගත්තේය.

කිම් ජොන් උන් නියෝජනය කරමින්, ඔහුගේ බාල සොහොයුරිය මෙන්ම, ප්‍රධාන උපදේශිකාව ද වන කිම් යෝ ජොංග් ඇතුළු උතුරු කොරියාවේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකට දකුණු කොරියාවට පැමිණීමට අවශ්‍ය විය. ඒ, ඔලිම්පික් උලෙළට සහභාගීවීම සඳහාය. කෙසේ නමුත්, ජගත් සම්බාධක හේතුවෙන් එය කළ නොහැකි විය. මෙහිදී දකුණු කොරියානු රජය, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස්ගෙන් ඉල්ලීමක් කළේ, උතුරු කොරියා නියෝජිත පිරිසට දකුණු කොරියාවට පැමිණෙන්න අවසර දෙන ලෙසටය. එම අවසරය හිමිවුණු අතර, දකුණු කොරියාවට පැමිණි කිම් යෝ ජොංග් සහ දකුණු කොරියා ජනපති අතරේ සුහද හමුවක් පැවැත්විණි. සීත ඔලිම්පික් උලෙළට උතුරු සහ දකුණු කොරියාව සහභාගී වූයේ ‘කොරියාව’ ලෙස එකමුතු වෙමිනි.

සීත ඔලිම්පික් හරහා දෙරටේ සබඳතා වර්ධනය වෙද්දී, ඔලිම්පික් උලෙළින් පසු උතුරු කොරියා නායකයාගේ ආරාධනාවකට දකුණු කොරියානු නියෝජිත පිරිසක් උතුරට ගියහ. ඔවුන්ට උතුරු කොරියා නායකයාගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. තමන් දකුණු කොරියා ජනපති මූන් ජේ ඉන් හමුවී සාකච්ඡා පවත්වන්න කැමැති බව පවසා කොරියන් සාම සමුළුවක් පැවැත්විය යුතු යැයි යෝජනා කළේ ද කිම් ජොන් උන්ය.

එම හමුවෙන් පසු දකුණු කොරියා ජාතික ආරක්ෂක උපදේශක චංග් ඉයු යොංග් ඇතුළු විශේෂ දූත පිරිසක් ඇමෙරිකාවට ගොස් ධවල මන්දිරයේ දී ජනපති ට්‍රම්ප් හමුවිය. ‘පොඞ්ඩක් මෙහෙට එන්නැයි’ ට්‍රම්ප්ට පවසමින්, උතුරු කොරියා නායකයා කළ ආරාධනාව, චංග් ඉයු යොංග් ට්‍රම්ප්ට පැවැසීය. ඒ, මුහුණට මුහුණ හමුවක් පැවැත්වීම සඳහාය. චංග් ඉයු යොංග් මෙම ආරාධනාව ට්‍රම්ප්ට පමණක් සෘජුව පැවැසුවේ, එම අවස්ථාවේ ට්‍රම්ප් අසල සිටි ආරක්ෂක සහ බුද්ධි අංශ ප්‍රධානීන්ගෙන්, රජයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් ඊට විරෝධයක් එල්ල වේවි යැයි සිතූ නිසා යැයි ද පැවැසෙයි. උතුරු කොරියා නායකයාගේ ඉල්ලීම ට්‍රම්ප් බොහොම සතුටින් පිළිගත්තේය.

මේ අතරේ, කාටත් හොරා උතුරු කොරියා නායක කිම් ජොන් උන්, බිරිඳ රී සොල් ජූ සහ රාජ්‍ය නියෝජිත කණ්ඩායමක් ද පිරිවරා ගනිමින්, චීනයේ නිල සංචාරයකට ගියේය. ඒ, දේශසීමා හරහා විශේෂ දුම්රියකිනි. ආරක්ෂක හේතූන් නිසා ඒ බව මාධ්‍ය වෙත අනාවරණය වූයේ එම සංචාරය අවසන් වීමෙන් පසුවය. පියා කිම් ජොන් ඉල්ගෙන් පසු කිම් ජොන් උන් උතුරු කොරියාවේ නායකයා වූයේ 2011 වසරේදීය. ඉන්පසු ඔහු විදේශයක සංචාරය කළ පළමු අවස්ථාව මෙය විය. උතුරු කොරියා නායකයා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුව ද සාර්ථක විය. කොරියන් සාම සමුළුව ගැනත්, ජූනි මාසයේ දිනෙක පැවැත්වෙන ඇමෙරිකා ජනපති ට්‍රම්ප් හමුවීම සම්බන්ධයෙනුත් මෙහිදී සාකච්ඡා කෙරුණි.

තමන් න්‍යෂ්ටික බලැති රාජ්‍යයක් බවත්, තමන් තම අවශ්‍ය ඉලක්කට ළඟා වී ඇති බවත් පවසමින්, තවදුරටත් න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් හෝ මිසයිල අත්හදා බැලීම් හෝ සිදු නොකරන බවට උතුරු කොරියා නායක කිම් ජොන් උන් ප්‍රතිඥාවක් දුන්නේ පසුගිය 25 වැනිදාය. ඒ, කොරියන් සාම සමුළුවට පෙර මඟ සකස් කරමිනි. උතුරු කොරියා වැසියන්ට සහ දේශසීමා සොල්දාදුවන්ට හිසරදයක් වන අයුරින්, දකුණු කොරියාව දේශ සීමාවේ අටවා තිබුණු ශබ්ද විකාශන යන්ත්‍ර ගලවා දැමීමට දකුණු කොරියානු රජය කටයුතු කළේය. දකුණු කොරියාව මෙම ශබ්ද විකාශන යන්ත්‍ර මගින් නිරන්තරයෙන් උතුරු කොරියාවට බැණ වදින්න විය. උතුරු කොරියා වැසියන් අකමැති ගීත වාදනය කරන්න විය. ඒ සියල්ල නවතා දැමීමට දකුණු කොරියාව කටයුතු කළේය.

ලොව කවුරුත් පුලපුලා බලා සිටි ඓතිහාසික කොරියන් සාම සමුළුව, අපේක්ෂා කළ නොකළ අයුරින් සාර්ථකව අවසන් විය. මීළඟට ඇත්තේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතරේ මුහුණට මුහුණ හමුවයි. පැවැත්වෙන සාකච්ඡා ඵලදායී නොවන බව පෙනී යන්නේ නම්, වහාම සාකච්ඡා නවත්වා ආපසු එනවා යැයි ට්‍රම්ප් පවසා ඇත. තම මාමා මරා දඩ බල්ලන්ට කෑමට දැමූ, ඥාති සොයුරා කිම් ජොන් නාම්ට මැලේසියා ගුවන් තොටුපොළේ දී රහසේ වස දීමට කටයුතු කළ මහ නරුම, ම්ලේච්ඡ සිත්පිත් නැති නායකයකු ලෙස බටහිර ලෝකය විසින් පෙන්වා දෙනු ලැබූ උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ ‘අව්‍යාජ සිනහව’ කොරියන් සමුළුවෙදී දකින්න ලැබුණි. ඔහු දකුණු කොරියා ජනපති හමුවූයේ බොහොම සන්සුන්ව, ලොකු ලෙන්ගතුකමකිනි. පළමු හමුවේදීම වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීමට කිම් ජොන් උන් පියවර ගත්තේය. කොරියන් සමුළුව සාර්ථක වූවා සේම, ට්‍රම්ප් හමුව ද සාර්ථක වනු ඇතැයි විශ්වාස කළ හැකිය. එසේ වුවහොත් ලෝක දේශපාලනයේ නව පිටුවක් පෙරැළේවි. කවදාවත් සැබෑ නොවනු සිහිනයක් වන ‘ලෝක සාමය’ සැබෑවක් කර ගැනීම වෙනුවෙන් එක් පුංචි පියවරක් ඉදිරියට තැබීමට හැකිවේවි.

ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනපති ධුරයට පත් වූයේ තමන් සාකච්ඡා පවත්වා උතුරු කොරියාව සමඟ යහපත් සබඳතා ඇති කර ගන්නා බව පවසමිනි. එකිනෙකාට බැණ ගත්තත්, ට්‍රම්ප් හැමවිටම පවසා තිබුණේ ‘සුදුසු වාතාවරණයක්’ නිර්මාණය වුවහොත් උතුරු කොරියා නායකයා හමුවී සාකච්ඡා පවත්වන බවය. ‘සුදුසු වාතාවරණය’ දැන් උදා වී ඇත. උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර ‘සාමය’ වෙනුවෙන් දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්ගේ සේම, ට්‍රම්ප්ගෙන් ද යම් දායකත්වයක් ලැබී ඇත. ආරම්භ වුණු මෙම සාම වැඩපිළිවෙළ දිගටම ගෙන යෑමට හැකි වුවහොත්, ජනාධිපති මූන් ජේ ඉන්ට හෝ ජනපති ට්‍රම්ප්ට හෝ නැතිනම් දෙදෙනාටම හෝ මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය පවා හිමිවීමට පවා බැරි නැත.

ඒ.එෆ්.පී


RECOMMEND POSTS