උඩ යන්න හදන ඉන්දීය රොබෝ කෙල්ල



අසල්වැසි ඉන්දියාව, තව වසර දෙකකින්, එනම් 2022 වසරේ දී, ගගනගාමීන් යොදා ගනිමින් අභ්‍යවකාශ මෙහෙයුමකට සූදානම් වෙයි. ඊට පෙරමඟ සකස් කිරීමක් ලෙස මානවරූපී රොබෝවකු අභ්‍යවකාශයට යවන බව ‘ඉස්රෝ’ කියයි.

‘ඉස්රෝ’ යනු ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය කෙටියෙන් හැඳින්වෙන නාමයයි. ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයට මෙය ලොකු පිම්මකි. මානවරූපී රොබෝ තරුණියකි. ඇය නම් කර ඇත්තේ ‘වියෝමිත්‍රා’ යනුවෙනි.

‘වියෝමිත්‍රා’ අර්ධ රොබෝවෙකි. නිර්මාණය කර ඇත්තේ ඉනෙන් ඉහළ කොටස පමණය. පාද නැත. ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය ‘වියෝමිත්‍රා’ අභ්‍යවකාශයට යැවීමට සූදානම් වෙන්නේ මෙම වසර අවසානයේ එනම් ලබන දෙසැම්බරයේය.

පෙනුමින් තරුණියක වැනි වුණත්, පාද නැතත්, ඇවිදීමට නොහැකි වුණත්, ‘වියෝමිත්‍රා’ ට කළ හැකි දේ බොහොමය. ඇයට භාෂා දෙකක් හොඳින් කතා කිරීමට පුළුවන.

මිනිසුන්ගේ මුහුණු හඳුනා ගැනීමට පුළුවන. ප්‍රශ්නයක් ඇහුවොත්, පණ ඇති තරුණියක මෙන්, ඊට තර්කාණුකූලව පිළිතුරු දිය පුළුවන.

දෙසැම්බරයේ ‘වියෝමිත්‍රා’ අභ්‍යවකාශයට යැවෙන්නේ තනිවමය.

ඇයට පර්යේෂණ කීපයක් සිදු කිරීමට පැවැරෙනු ඇත. 2022 වසරේ දී ඉන්දීය ගගනගාමීන් අභ්‍යවකාශයට යැවීමට පෙරමඟ සකස් කිරීමක් ලෙස මෙම පර්යේෂණ ඉවහල් වනු ඇති බව ‘ඉස්රෝ’ පැහැදිලි කර ඇත.

පසුගිය දා ‘ඉස්රෝ’ විද්‍යාඥයන් මාධ්‍ය හමුවක් කැඳවීය. ඒ, ‘වියෝමිත්‍රා’ හඳුන්වාදීමටය. ඉන්දීය මාධ්‍යවේදීන් පමණක් නොව, විදෙස් මාධ්‍යවේදීහු ද මෙම අවස්ථාවට පැමිණ සිටියහ. ‘වියෝමිත්‍රා’ හඳුන්වා දීම අපූරු අත්දැකීමක් විය. ‘හායි කොහොමද? මම වියෝමිත්‍රා. ඉන්දියාවේ පළමු මානවරූපී අර්ධ රොබෝවරිය මමයි.’ යැයි මාධ්‍යවේදීන් හමුවේ, ‘වියෝමිත්‍රා’ පැවැසුවාය.

‘මට පුළුවන් ඔබට සහාය වෙන්න. මට පුළුවන් ගගනගාමීන් හඳුනා ගන්න. ඔවුන්ට සහාය වෙන්න. ඔවුන්ගේ භාෂා පරිවර්තිකාවක වෙන්න.’ යැයි ‘වියෝමිත්‍රා’ මාධ්‍ය හමුවේ පැහැදිලි කළාය.

ලුසිත ජයමාන්න
එන්.ඩී.ටීවී. ඇසුරිනි


RECOMMEND POSTS