ඇමෙරිකාවේදී ඔත්තුතාරියක වූ මරියා



ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වූයේ 2016 වසරේ ජනාධිපතිවරණයෙනි. කවුරුත් සිතුවේ, ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ජය ගනු ඇති බවය. කෙසේ නමුත්, ජනපති වූයේ ට්‍රම්ප් ය. ට්‍රම්ප් ට ජනපති වීමට, රුසියාවේ සහාය ලැබුණු බවටත්, රුසියන් පරිගණක හැකර්වරුන් 2016 ජනාධිපතිවරණයට මැදිහත් වූ බවටත් චෝදනා එල්ල විය. එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවිය.

ඒ, ඇමෙරිකන් එෆ්.බී.අයි. කාර්යාංශයේ හිටපු ප්‍රධානියකු මෙන්ම නීතිවේදියකු ද වන රොබට් මියුලර්ගේ ප්‍රධනත්වයෙනි. එම විමර්ශන වාර්තාව ‘මියුලර් වාර්තාව’ ලෙස හැඳින්වෙයි.

විමර්ශනවලදී, එෆ්.බී.අයි. පරීක්ෂකවරුන් අත්අඩංගුවට ගත්තේ එකම එක රුසියානු කාන්තාවක පමණි. ඇය මරියා බුටිනාය.

මරියා අත්අඩංගුවට ගැනීම සිදුවූයේ ඇය, ඇමෙරිකාවට වී, රුසියාව වෙනුවෙන් ඔත්තු බැලීමේ ඒජන්තවරියක ලෙස ක්‍රියා කිරීම යන චෝදනා මුල්කොට ගනිමිනි. අත්අඩංගුවට ගනිද්දී ඇගේ වයස 29 කි. අත්අඩංගුවට ගැනීම සිදුවූයේ 2018 ජූලි මාසයේදීය. පසුගිය 25 වැනිදා, මරියා ට නිදහස හිමිවිය. රුසියාව වහාම ඇය ආපසු ගෙන්වා ගැනීමට කටයුතු කළේය.

මරියා උපන්නේ 1988 නොවැම්බර් 10 වැනිදා, රුසියාවේ බර්නෝල් නුවරය. සාමාන්‍යයෙන් පුංචි දැරියෝ බෝනික්කන්ට ප්‍රිය කරති. කෙසේ නමුත් පුංචි මරියාගේ ආසාව වෙනස් එකක් විය.

කුඩා කාලයේ පටන් ඇය ගිනි අවිවලට ආසා කළාය. ගිනි අවි ගැන ඇයට තිබුණේ ලොකු උනන්දුවකි. ඒ නිසාම තරුණ වියට පත් මරියා, රුසියාවේ පමණක් නොව, ඇමෙරිකාවේ ද ගිනි අවි හිමිකරුවන්ගේ සන්සදවල සාමාජිකත්වය හිමිකරගෙන සිටියාය. ඇමෙරිකාවේ ගිනි අවි හිමිකරුවන්ගේ සන්සදය එසේමෙසේ එකක් නොවේ. ඇමෙරිකාවේ දේශපාලන දැවැන්තයන්, ප්‍රභූවරුන් ඇතුළු සමාජයේ කැපී පෙනෙන චරිත රැසක් මෙම සන්සදයේ සාමාජිකයන්ය.

ඇමෙරිකානු ගිනි අවි හිමිකරුවන්ගේ සන්සදයේ සාමාජිකත්වය හිමි මරියාට, ඇමෙරිකා ඒමට අවස්ථාව උදා විය. ඇය මුලදි අවස්ථා කීපයකදී ඇමෙරිකාවට පැමිණියාය. ඇමෙරිකාවේ ගිනි අවි හේතුවෙන් ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යද්දී, ගිනි අවි සමාඩයේ ආරක්ෂාවට අවශ්‍ය බව ගිනි අවි හිමිකරුවන්ගේ සන්සදය පෙන්වා දෙන්න විය. ආරක්ෂාවට ගිනි අවි අවශ්‍ය බව පෙන්වා දෙමින් ගිනි අවි තහනමට එරෙහිව හඬ නැගූ ප්‍රබල සාමාජිකාවක් ලෙස කාගේත් අවදානය දිනා ගැනීමට මරියා සමත් වූයේ මේ අතරේය. ඒ නිසාම, ඇයට  ඇමෙරිකාවේ ප්‍රබල දේශපාලනඥයන් රැසකට සමීප වීමට අවස්ථාවක් උදා විය. මරියා නිතර නිතර රුසියාවේ සිට ඇමෙරිකාවට පැමිණ, ඇමෙරිකා ජාතික ගිනි අවි සන්සදයේ සම්මන්ත්‍රණවලට සහභාගීවී වූවාය. 2015 දී, ට්‍රම්ප් ජනපති ධුර අපේක්ෂක ලෙස ලොස් ඇන්ජලීස් නුවර රැලියකට සහභාගී විය. එම රැලියට එක්වෙමින්, මරියා ජනපතිධුර අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවෙමින්, ඇමෙරිකාව රුසියාවට පනවා ඇති සම්බාධක සම්බන්ධයෙන් අදහස් විමසුවාය.

2016 දී වොෂින්ටන් නුවර ඇමෙරිකන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට මරියාට අවස්ථාවක් ලැබුණි. ඇයට ශිෂ්‍ය වීසා හිමිවිය. ඇය විශ්ව විද්‍යාලයට ඇතුළත් වූයේ ශාස්ත්‍රපති උපාධිය අපේක්ෂාවෙනි. විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවල නියැලුණාය. 2015 වසරේ සිට මරියා, ඇමෙරිකන් රිපබ්ලිකන් සාමාජික පෝල් එරික්සන් සමඟ ඊ මේල් ගනුදෙනු කළාය. එය ඊ මේල් ගනුදෙනු අවසන් වූයේ පෝල් එරික්සන්, මරියාගේ පෙම්වතා වීමෙන් පසුවය. 2016 වෙද්දී ඔවුහු දෙදෙනා එකට ජීවත් වූහ.

2018 ජූලි මාසයේ, එෆ්.බී.අයි. නිලධාරීන් මරියා බුටිනා අත්අංඩගුවට ගත්තේ, ඇය රුසියන් ඒජන්තවරියක ලෙස ක්‍රියා කළේ යැයි චෝදනා එල්ල කරමිනි. ඒ වනවිට ඇය ඇමෙරිකන් විශ්ව විද්‍යාලයේ සිසුවියක වූවාය. මරියා බුටිනාට චෝදනා එල්ල වූයේ, ඇලෙක්සැන්ඩර් ටොර්ෂින් නිසාය.  ටොර්ෂින් ද මරියා මෙන්ම ගිනි අවි සන්සදයේ සාමාජිකයෙකි. රුසියන් සෙනෙට් මණ්ඩලයේ හිටපු ප්‍රබලයෙකි. එපමණක් නොව, රුසියන් මහ බැංකුවේ නියෝජ්‍ය උප සභාපතිවරයා ලෙස ද කටයුතු කළ අයෙකි. ඇමෙරිකන් දේශපාලන පක්ෂවලට බලපෑම් කරනවා යැයි මොහුට චෝදනා එල්ල වී ඇති අතර, ඇමෙරිකන් රජය මොහුට එරෙහිව සම්බාධක පැනැවීමක් ද කර තිබේ. මරියා, ඇලෙක්සැන්ඩර් ටොර්ෂින් සමඟ සමීප සබඳතා පැවැත්වූ බව එෆ්.බී.අයි. කාර්යාංශය අනාවරණය කරගෙන තිබුණි. ඒ, මියුලර් ප්‍රමුඛ විමර්ශන කණ්ඩායම ඔවුන්ගේ විමර්ශන කටයුතු සිදු කරද්දීය.

අත්අඩංගුවට ගෙන චෝදනා ඉදිරිපත් කළ අවස්ථාවේදී මරියා බුටිනා එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළාය. කෙසේ නමුත් 2018 දෙසැම්බරයේ, තමන් වරදක් කළ බවත්, තමන් රුසියන් ඒජන්තවරියක් බවත් මරියා පිළිගත්තාය. තමන් කළ දේ ගැන පසුතැවෙන බවත්, තමන් තමාගේ ජීවිතය විනාශ කරගත් බවත් මරියා බුටින් අධිකරණයට පැහැදිලි කළාය. ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට මරියා තර්ජනයක් යැයි පැමිණිලි පාර්ශ්වය පෙන්වා දුන්නේය. කෙසේ නමුත් ඇය හිතාමතා කාටවත් අනතුරක් කිරීමට තැත් නොකළැයි මරියාගේ නීතිඥවරයා පැහැදිලි කළේය. ඒ අනුව, මරියාට මාස 18 ක සිර දඬුවමක් නියම කෙරුණි.

මරියා බුටිනා අත්අඩංගුවට ගැනීමත්, ඇයට සිරදඬුවම් ලබා දීමත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අප්‍රසාදයට හේතුවක් විය. මරියා තමන්ගේ රහස් ඒජන්තවරියක යැයි රුසියාව කිසිම අවස්ථාවක පවසා නැත.
මාස 6 ක් බන්ධනාගාරයේ සිටි මරියා බුටිනාට පසුගිය 25 වැනිදා නිදහස හිමිවිය. ඒ ඇයගේ යහපත් කල්ක්‍රියාව සැලකිල්ලට ගනිමිනි. බන්ධනාගාරයේ සිටිද්දී, මරියා දිනපතා බන්ධනාගාර අවන්හලේ සේවය කළාය. ඒ, උදෑසන 10 සිට සවස 6 දක්වාය. ඇය සෑම උදෑසනකම, ව්‍යායාම වශයෙන් බන්ධනාගාරය ඇතුළේ සැතපුම් 5 ක දුරක් දිවීමට ද පුරුදු වී සිටි බව බන්ධනාගාර නිලධාරිනියන් පවසා ඇත.

පසුගිය 26 වැනිදා, මරියා බුටිනා රුසියන් නිලධාරීන්ගේ රැකවරණය යටතේ රුසියාවේ ෂරමිනෝවෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියාය. මරියා බුටිනා සම්බන්ධයෙන් රුසියන් රජය තවමත් පවසන්නේ, බොරු චෝදනා ගොතමින් ඇමෙරිකාව අහිංසක රුසියන් තරුණියකගේ ජීවිතය විනාශ කළ බවය.

ෂරමිනෝවෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි මරියා පිළිගැනීමට ඇගේ පියා පැමිණ සිටියාය. ඒ, මල් කලඹක් ද අතැතිවය. ‘ආපසු ගෙදර එන්න ලැබීම සතුටක්’ යැයි ඇය එහි සිටි මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියාය. රුසියන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ටත්, රුසියන් විදේශ කටයුතු අමත්‍යාංශයටත් ඇය ස්තුති කළාය. ඒ ඇගේ නිර්දෝෂීභාවය වෙනුවෙන් ඔවුන් සැම ඉදිරිපත් වූ බැවිනි.

බී.බී.සී. ඇසුරිනි


RECOMMEND POSTS