ඇමෙරිකාවට තර්ජන



උතුරු කොරියාවේ සිට සැතපුම් 2,128 ක් දකුණු දෙසින් බටහිර පැසිෆික් සාගරයේ, ඇමෙරිකාවට අයත් ඇමෙරිකන් හමුදා කඳවුරක් පිහිටි ‘ගුආම්’ කුඩා දූපතට පහරදෙනවා යැයි උතුරු කොරියාව තර්ජන කිරීමත් සමඟ  ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර යුද බිමක් නිර්මාණය වී ඇත.

උතුරු කොරියාව වැඩි දුරටත් අනතුරු අඟවා ඇත්තේ ‘ගුආම්’ දූපතට පහර දෙන්නේ, න්‍යෂ්ටික යුද ශීර්ෂ සවි කළ මිසයිලවලින් කියාය. ඇමෙරිකන් බුද්ධි අංශ පවසන්නේ උතුරු කොරියාවේ මෙම අනතුරු ඇඟවීම සුළුකොට තැකිය නොහැකි බවය.

ඇමෙරිකන් බුද්ධි අංශ සැක පළ කර ඇත්තේ උතුරු කොරියාව සතුව න්‍යෂ්ටික අවි 60 කට වැඩි ප්‍රමාණයක් ඇතැයි කියාය.

එල්ල වුණු තර්ජන හේතුවෙන් උතුරු කොරියාවට ඔබ්බෙන් මුහුදේ රඳවා ඇති යුද නැව් සීරුවෙන් තැබීමටත් ගුආම් කඳවුරේ ඇති බී1බී බෝම්බ හෙලන යානා දකුණු කොරියාව දෙසට පිටත් කර හැරීමටත් ඇමෙරිකාව පියවර ගත් බව වාර්තා විය.

ගුආම් දූපතේ තම ගුවන් කඳවුරට පහර දීමක් කළොත් උතුරු කොරියාව ලෝක සිතියමෙන් අතුගා දැමැනු ඇතැයි ඇමෙරිකන් හමුදාව උතුරු කොරියාවට තර්ජනය කර ඇතැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත.

ගුවාම් නමැති මෙම කුඩා දූපතේ සියයට 28 ක් පමණ ඇමෙරිකාව සතුව පවතී. ඒ, දෙවැනි ලෝක යුද්ධයෙන් පසුවය.

ඇමෙරිකාවට අයත් ඇන්ඩර්සන් ගුවන් කඳවුර පිහිටා ඇත්තේ මෙම දූපතේය. කඳවුරේ හමුදා නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ නිවාස ද දූපතේ ඇත. 2016 ලෝක බැංකු වාර්තා අනුව ඇමෙරිකානුවන් ද ඇතුළු දූපතේ ජනගහනය 1,62,896 කි.

(ඬේලිමේල් ඇසුරිනි)

 


RECOMMEND POSTS