ඇමෙරිකන් එන්නත ඇමෙරිකානුවන්ට



ඇ‍මෙරිකා ජනාධිපතිවරණය පැවැත්වූයේ පසුගිය නොවැම්බර් 3 වැනිදාය. සිය දෙවැනි මෙන්ම අවසන් ධුර කාලය අපේක්ෂා කළ රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට ඩිමොක්‍රටික් පක්ෂක ජෝ බයිඩන්ගෙන් එල්ල වූයේ එසේ මෙසේ අභියෝගයක් නොවේ.

ඇමෙරිකන් මැතිවරණ ක්‍රමය අනුව, ‘ඡන්ද ගණ’ (ඉලෙක්ට්‍රෝරල් ඡන්ද) 270 සීමාව පසු කළේ ජෝ බයිඩන්ය. ජනපති ට්‍රම්ප්, ඡන්ද ප්‍රතිඵලය පිළිගැනීම ප්‍රතික්ෂේක කරමින්, ඡන්ද ප්‍රතිඵලය අභියෝගයට ලක් කළේ නීති මගිනි. ඒ අනුව, ‘රිපබ්ලිකන් බලකොටු’ ලෙස සැලකෙන ඇතැම් ජනපදවල ඡන්ද ගණන් කිරීම යළි සිදුවිය.

බයිඩන්, ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස තේරී පත් වුණැයි පැවැසුණත් , එය නිල වශයෙන් තහවුරු නොකෙරුණි. ඇමෙරිකන් මැතිවරණ කොමිසම බයිඩන් ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා බව නිල වශයෙන් ප්‍රකාශ කිරීම සිදුවූයේ ඊයේ (14) ය. ඒ, ඉලෙක්ට්‍රෝරල් නියෝජිතයන්, බයිඩන් ජයග්‍රාහකයා ලෙස පිළිගැනීමෙන් පසුවය. ජනාධිපතිවරණයෙන් බයිඩන්ට හිමි ‘ඡන්ද ගණ’ (ඉලෙක්ට්‍රෝරල් ඡන්ද) ගණන 306 ක් වූ අතර, ට්‍රම්ප්ට හිමිවී තිබුණේ 232 කි. බයිඩන්ගේ ජය මෙසේ තහවුරු වෙද්දී, ඇමෙරිකානුවන්ට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහි ඇමෙරිකානු ‘ෆයිසර්’ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම ආරම්භ වී තිබීම තවත් සුවිශේෂී සිදුවීමකි.

මහා බ්‍රිතාන්‍ය වැසියන්ට මේ වනවිට ලබා දීමට පටන් ගත්තේ ද ‘ෆයිසර්’ එන්නතය. මෙය ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව සියයට 95 ක් සාර්ථක එන්නතකි. ඇමෙරිකාවේ ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම, එන්නත නිපදවා ඇත්තේ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ සමාගම සමඟ හවුලේය. එම හවුල ඇති කළේ ට්‍රම්ප් පරිලානයයි. ඒ, පසුගිය මාර්තු මාසයේය.

ජනපති ට්‍රම්ප් මැදිහත් වී, ‘ෆයිසර්’ සහ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ සමාගම් හවුල් කළේ ඇමෙරිකානුවන් වෙනුවෙන් කඩිනමින් සාර්ථක එන්නක් නිපදවා දෙන්නැයි ඉල්ලීමක් කරමිණි. එන්නත නිපදවීමට ඇමෙරිකන් රජයෙන් මූල්‍ය අනුග්‍රහය ද ‘බයෝඇන්ටෙක්’ සමාගමට ලැබුණි. ‘ෆයිසර්’ එන්නත ඇමෙරිකානුවන්ට ලබා දීම සිදුවන්නේ, ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය ඊට අනුමැතිය ලබා දීමෙනි. අනුමැතිය ලබා දීම සිදුවූයේ කොරෝනා වසංගතය හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරමිණි. තවමත් ලොව වැඩිම ආාසදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය තවමත් ‘ෆයිසර්’ එන්නතට හෝ වෙන කිසිදු කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතකට හිමි වී නැත. නොවැම්බර් 3 වැනිදා ඇමෙරිකන් ජනාධිපතිවරණයට පෙර ‘ෆයිසර්’ එන්නත ඇමෙරිකානුවන්ට බෙදා දීමට ට්‍රම්ප් උත්සාහ ගත්තේ, ඡන්ද වාසි අපේක්ෂාවෙනි. කෙසේ නමුත් එය සාර්ථක නොවිණි. ඇමෙරිකාවේ ‘මොඩර්නා’ ජෛව තාක්ෂණික සමාගම ද සාර්ථක එන්නතක් නිපදවා ඇත. එය ද ඇමෙරිකානුවන්ට ලැබීමට නියමිතය.

‘ෆයිසර්’ එන්නත පළමුවෙන් ලබා දීමට තෝරා ගැණුනේ, ඇමෙරිකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ සාත්තු සේවක සේවිකාවන්ය. එන්නත පළමුවෙන් බෙදාදීම ආරම්භ වූයේ නිව්යෝක් ජනපදයෙනි. පළමුවෙන්ම එන්නත ලබා ගත්තේ ලෝන්ග් අයිලන්ඩ්, ක්වීන්ස් ප්‍රදේශයේ, යුදෙව් සෞඛ්‍ය මධ්‍යස්ථානයේ හෙදියක වන සැන්ඩ්‍රා ලින්ඩ්සේ ය.

ලින්ඩ්සි කළු ජාතික ඇමෙරිකානු තරුණියකි. ඇය දැඩි සත්කාර ඒකකයට අනුයුක්තව සේවය කරන හෙදියකි. සැන්ඩ්‍රා ලින්ඩ්සේ ට එන්නත ලබා දීමේ එම ඓතිහාසික අවස්ථාවට මාධ්‍යවේදීන් පමණක් නොව, නිව්යෝක් ආණ්ඩුකාර ඇන්ඩෲ කුමෝ ද එක් විය. ලින්ඩ්සේ ට එන්නත ලබා දුන් අවස්ථාවේදී, ආණ්ඩුකාරවරයා සිය සතුට පළ කළේ අත්පොළසන් නාදයකිනි. මාධ්‍යවේදීන් හෙදිය වට කර ගත්තේ ඉන්පසුවය.

“ඒක මට තවත් එන්නතක් ලබා ගැනීමක් වගේ. විශේෂයක් දැණුනේ නැහැ. ඒත් කොරෝනා වසංගතය පරද්දන්න අද අප තුළ බලාපොරෙත්තු ඇතිවෙලා. ඒක විශේෂත්වයක් තමයි. අප ගත කරන්නේ ඉතිහාසයේ වේදනාකාරී කාල පරිච්ඡේදයක. මම ඇමෙරිකන් වැසියන්ට කියන්න කැමතියි, එන්නත ලබා ගන්න ඉදිරිපත් වෙන්න. බය වෙන්න දෙයක් නැහැ. එන්නත ආරක්ෂිතයි” යැයි ලින්ඩ්සේ මාධ්‍ය හමුවේ පැහැදිලි කළාය.

සැන්ඩ්‍රා ලින්ඩ්සේ, ‘ෆයිසර්’ එන්නත ලබා ගැනීමෙන් මිනිත්තු කීපයක් ගත වෙද්දී, ඇයට සුබ පතමින් ට්විටර් පණිවුඩයක් නිකුත් විය. එය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙනි. ‘කොරෝනා ප්‍රතිශක්තිකරණ පළමු එන්නත ලබා දීම සිදුවුණා. සුබ පැතුම් ඇමෙරිකාවට. සුබ පැතුම් ලෝකයට’ යැයි ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩයේ සඳහන් විය. ඇමෙරිකාව පුරා තෝරාගත් රෝහල් හරහා එන්නත ඇමෙරිකානුවන්ට ලබා දීම සිදුවෙයි.

ධවල මන්දිරයේ කාර්ය මණ්ඩලයට ද පළමු අදියර යටතේ එන්නත් ලබා දීම සිදුවෙයි. එම පිරිස අතරේ ට්‍රම්ප්ගේ දෙවැනියා මෙන්ම ඇමෙරිකාවේ උප ජනාධිපතිවරයා ද වන මයික් පෙන්ස් ද සිටී. ධවල මන්දිරයේ, ට්‍රම්ප් පරිපාලනයට සම්බන්ධ තෝරාගත් සාමාජික සාමාජිකාවන්ට පමණක් නොව, ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයේ (පාර්ලිමේන්තුව) තෝරාගත් මහජන නියෝජිතයන්ට සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඇතුළු තෝරාගත් සාමාජික සාමාජිකාවන්ට ද එන්නත ලබා දීමට නියමිත බව පැවැසෙයි. මේ බව ඇමෙරිකන් ජාතික ආරක්ෂක මණ්ඩලය ද සහතික කර තිබේ.  ධවල මන්දිරයට, කොංග්‍රස් මණ්ඩල නියෝජිතයන්ට එන්නත් ලබාදීම සිදු කරන්නේ එන්නත ආරක්ෂිත බව ඇමෙරිකන් ජනතාවට සහතිකයක් දීමේ අරමුණින් බව ජාතික ආරක්ෂක මණ්ඩලය නිකුත් කළ නිවේදනයක සඳහන් වී තිබේ.

ට්‍රම්ප් පවසා ඇත්තේ ඔහු දැන්ම එන්නත ලබා ගැනීමට උනන්දුවක් නොදක්වන බවය. ඊට හේතුව, ජනාධිපතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී ට්‍රම්ප් ‘කොවිඩ් 19’ ආාසදිතයකු වීමය. කෙසේ නමුත්, රෝහල්ගත වී දින 3 කින් ට්‍රම්ප් සුවය ලැබුවේය. ඒ, වෛද්‍යවරුන් පර්යේෂණ මට්ටමේ පවතින ඖෂධ රැසක් ට්‍රම්ප්ට ලබා දීම නිසාය. තමන් වයිරසය ආසාදනය වී සුවය ලැබූ නිසා එන්නත ලබා ගැනීමට හදිසි නොවන බව ට්‍රම්ප් පැහැදිලි කර තිබේ. ජනාධිපති ට්‍රම්ප් පමණක් නොව, බිරිඳ මෙලානියා, පුතු බැරන් ද කොරෝනා ආසාදනය වී සුවය ලැබූහ. ට්‍රම්ප් එන්නත ප්‍රතික්ෂේප කිරීමට තවත් හේතුවක් වන්නේ ඔහු වයිරසය ආසාදනය වී සුවය ලැබීමය.

වෛද්‍යවරුන් පෙන්වා දෙන අන්දමට ‘කොවිඩ් 19’ ආසාදනය වී සුවය ලබන්නන්ගේ සිරුරේ ස්වභාවිකව ඇතිවන ප්‍රතිශක්තිය පවතින්නේ කෙටි කාලසීමාවකට පමණි. ‘කොවිඩ් 19’ වයිරසය එකම පුද්ගලයකුට වාර ගණනාවක් ආසාදනය විය හැකි බව වෛද්‍යවරුන් පැහැදිලි දී තිබේ. ධවල මන්දිරයට සම්බන්ධ පුද්ගලයන්ගෙන් එන්නත පළමුවෙන් ලබා දෙන්නේ තම පරිපාලනයට සම්බන්ධ, වයිරසයෙන් අවදානමක් එල්ල විය හැකි සාමාජික සාමාජිකයන්ට යැයි ඒ අනුව ජනපති ට්‍රම්ප් අවධාරණය කර තිබේ. එන්නත ලබා ගන්නා ධවල මන්දිර සාමාජිකයන් අතර උප ජනාධිපති මයික් පෙන්ස් සිටින බව පැවැසෙයි.

ඇමෙරිකන් මැතිවරණ කොමිසම නිල වශයෙන් ජෝ බයිඩන්ගේ ජය තහවුරු කරද්දී, බයිඩන් රූපවාහිනියෙන් ජාතිය ඇමතීමක් කළේය. ඒ, පැවැති ජනාධිපතිවරණය මුල්කොට ගනිමිනි. ජනතාවගේ කැමැත්තට ඉඩ දී, පරාජය බාර ගන්නා ලෙස බයිඩන්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කළේය. බයිඩන් සිය කතාව පවත්වද්දී, කැස්සේය. උගුරේ බැරැන්ඩිවීමක් පෙන්නුම් කළේය. බයිඩන් කතා කළේ යම් අපහසුතාවකිනි.

බයිඩන්ගේ කතාව නරඹන්න වූ ඔහුගේ පාක්ෂිකයන් බොහෝ දෙනකුට එය ගැටලුවක් විය. ‘කොවිඩ් 19’ අවදානම පවතින බැවින්, බොහෝදෙනා බයිඩන් ගැන සොයා බලන්න පටන් ගත්තේය. තමන් සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයකින් පෙළෙන බව බයිඩන්, ඊට පිළිතුරු දෙමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබුණි. ‘කොවිඩ් 19’ අවදානම හමුවේ, එය බයිඩන් පාක්ෂිකයන්ට කිසිසේත් අස්වැසිල්ලක් වූයේ නැත.

සී.එන්.එන්. ඇසුරිනි


RECOMMEND POSTS