ඇඟිලි දෙකේ ඩයිනසෝරයා



ගිරවකුගේ මෙන් හොටක් සහ මුහුණක් ඇති, ඇඟි දෙකකින් ද සමන්විත අමුතු පෙනුමින් යුත් ඩයිනසෝරයකුගේ පොසිල සාක්ෂි මතු කර ගැනීමට විද්‍යාඥයෝ පසුගිය දා සමත් වූහ.

මෙම අමුතු ඩයිනසෝරයාගේ පොසිල අස්ථි සොයා ගැනීමට හැකිවූයේ මොංගෝලියාවේ ගෝබි කාන්තාරයේ සිදු කළ කැණීම්වලිනි.

විද්‍යාඥයන්ට හමුවුණු අමුතු විදියේ ඩයිනසෝරයා

නව සොයා ගැනීමට දායක වූයේ එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ පොසිල විද්‍යාඥයන් ඇතුළු පර්යේෂණ කණ්ඩායමකි.

විද්‍යාඥ කණ්ඩායමට, මෙම නව ඩයිනසෝරයාගේ අංග සම්පූර්ණ පොසිල ඇටසැකිලි කීපයක් හමුවුණු බව පැවැසෙයි.

‘ඔක්සොකා ඇවැර්සැන්’ යන සත්ව විද්‍යාත්මක නාමයෙන් ඩයිනසෝරයා නම් කෙරුණි. මේ ඩයිනසෝරයා සර්වභක්ෂකයෙකි.

‘ඔක්සොකා ඇවැර්සැන්’ පොසිල අස්ථි

‘ඔක්සොකා ඇවැර්සැන්’ ජීවත් වන්නට ඇතැයි පැවැසෙන්නේ මීට අවුරුදු මිලියන 68 ක පෙරය.

අද ගෝබි කාන්තාරය අයත් මොංගෝලියාව ඈත අතීතයේ, ඩයිනසේරයන් රජ කළ අවදියේ, ජීවය පිරි වගුරු බිමක් වී තිබුණි.

ගෝබි කාන්තාරය ආශ්‍රිතව නිරන්තරයෙන් ඩයිනසෝර පොසිල අස්ථි හමුවෙයි.

‘ඔක්සොකා ඇවැර්සැන්’ මීටර් දෙකක් පමණ උසය. දෙපාවෙකි. ඇඟිලි දෙකකින් යුත් දිගු අත් පමණක් නොව සිරුර ද පිහාටුවලින් පිරී තිබුණු බව පැවැසෙයි.

මේ බව අනාවරණය කර ගැනීමට හැකි වී ඇත්තේ සොයා ගත් පොසිල අස්ථි සියුම් ලෙස ස්කෑන් කර බැලීමේදීය.

‘ඔක්සොකා ඇවැර්සැන්’ගේ ගිරවකුගේ මෙන් හොටක් තිබුණත් එහි දත් නොතිබුණි.

සුවිශේෂී ඇඟිලි දෙක

‘ඔක්සොකා ඇවැර්සැන්’ සමානකම් දක්වන්නේ ඕවිරැප්ටරයන්ටය.

ඕවිරැප්ටර් යනු දෙපා ඩයිනසෝරයකු වන අතර සිරුර පිහාටුවලින් වැසී තිබුණි. වර්තමානයේ අප දකින කුරුල්ලන්ගේ ආදීතමයන් ඩයිනසෝරයන් යැයි යන මතය සනාථ කිරීමට ඕවිරැප්ටරයා සමත් වී තිබේ.

‘ඔක්සොකා ඇවැර්සැන්’ ඕවිරැල්ටරයනුට සමාන වුවත්, ඇත්තේ ඇඟිලි දෙකක් පමණි. එය සුවිශේෂත්වයකි. ඔවිරැප්ටර් ඇතුළු රැප්ටර් විශේෂයන්ට අත්වල ඇඟිලි තුනකි.

ආහාර රටාව අනුව ජීවත් වෙද්දී, පරිණාමයේ ප්‍රතිඵලයක් ලෙස තෙවැනි ඇඟිල්ලක් නිර්මාණය වන්න ඇතැයි අනුමාන කෙරේ.

හමුවුණේ මොංගෝලියාවට අයත් ගෝබි කාන්තාරයේ සිදුකළ කැණීමකදීය

ඩයිනසෝරයන් මිහිමත රජ කරන්න ඇත්තේ මීට අවුරුදු මිලියන 65 කට හෝ 66 කට හෝ පෙරය.

පොසිල විද්‍යාඥයන් සහතික වන්නේ එය අවුරුදු මිලියන 66 ක් විය යුතු බවය. ඒ, සොයා ගත් නවතම පොසිල සාක්ෂි අනුවය.

ඒත් ඩයිනසෝරයෝ හිටිහැටියේ මිහිමතින් වදවී ගියහ. ඩයිනසෝරයන් හිටිහැටියේ වදවී යෑමට හේතු රැසක් ඉදිරිපත් වී තිබේ.

යෝධ උල්කාපාතයක් පෘථිවියේ ගැටීමෙන් සිදුවුණු මහා විනාශය ඩයිනසෝරයන්ගේ අභාවයට හේතුවක් වුණැයි යන අදහස ප්‍රචලිතය‍.

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS