අල්ලා ගත්තොත් මිලියනයක තෑග්ගක්



2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා, අල් කයිඩා ත්‍රස්ත සංවිධානය ඇමෙරිකාවට බිහිසුණු ප්‍රහාරයක් එල්ල කළේය. ඒ, මගී ගුවන් යානා පැහැර ගනිමින්, ඒවා නිව්යෝක් නුවරටත් වොෂින්ටන් අනුවරටත් කඩා වැටෙන්න සලස්වමිනි.

එම ප්‍රහාරයෙන් 3,000 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. ඔවුන් අතර විදේශිකයෝ ද වෙති. 2001 වෙද්දී, ලොව බිහිසුණු ත්‍රස්ත සංවිධානයක් බවට අල් කයිඩාව පත්ව තිබුණි. සංවිධානයට නායකත්වය දුන්නේ සෞදි ජාතික ඔසාමා බින් ලාඩන් ය. සැප්තැම්බර් 11 ප්‍රහාරය එල්ල වෙද්දී, බින් ලාඩන් සැඟවී සිටියේ ඇෆ්ගනිස්තානයේය.

එවකට ඇෆ්ගනිස්තානයේ පැවැති තලේබාන් රජයේ ආරක්ෂාව ඔසාමා බින් ලාඩන්ට නොඅඩුව ලැබුණි. ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ අණ පරිදි, ඇමෙරිකන් හමුදාව, සෙසු නේටෝ රටවල හමුදා සමඟ එක් වී, තලේබාන් පාලනය පෙරළා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ ඒ නිසාය. වසර 2011 දී පාකිස්තානයේ සැඟවී සිටි ඔසාමා බින් ලාඩන් සොයා ගැනීමටත්, ඔහු රහසේ ඝාතනය කිරීමටත් ඇමෙරිකාව සමත් විය. එසේ වුවත්, වසර 17 කට වැඩි කාලයක් තිස්සේ ඔඩුදුවමින් පවතින ඇෆ්ගන් යුද්ධය තවමත් අවසන් නැත.

ඇෆ්ගනිස්තානයට සාමය උදා කිරීමේ අරමුණින්, මේ වනවිට ඇෆ්ගන් තලේබාන් සංවිධානය සහ ඇමෙරිකන් රජයේ නියෝජිතයන් අතරේ සාම සාකච්ඡා පැවැත්වෙයි. ඒ, දෝහා කටාර් හි පිහිටුවා ඇති තලේබාන් සාම කාර්යාලය හරහාය. එම සාකච්ඡා සාර්ථක වෙමින් පවතින බව විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

ඔසාමා බින් ලාඩන්ට බිරින්දෑවරුන් මෙන්ම දරුවන් ද බොහෝ දෙනකි. එම දරුවන් අතරින් එක් පුතකු පසුගිය දා පුවත් මවන්න විය. ඔහු හමාසා බින් ලාඩන්ය. හමාසා බින් ලාඩන්ගේ නම ජාත්‍යන්තර පුවත් අතරට එක් වූයේ, ඔහු අල්ලා ගැනීමට හෝ මරා දැමීමට හෝ ඔත්තුවක් දෙන්නේ නම්, ඒ වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් ලබා දෙන බවට ඇමෙරිකාව නිවේදනය කිරීමත් සමඟය.

ඔසාමා බින් ලාඩන් සේම, හමාසා බින් ලාඩන් ද සෞදි වැසියෙකි. හමාසා වෙනුවෙන් ඩොලර් මිලියනයක් දෙන බව ඇමෙරිකාව නිවේදනය කිරීමත් සමඟ සෞදි රජය තීරණය කළේ හමාසා බින් ලාඩන්ගේ පුරවැසිභාවය වහා අහෝසි කිරීමටය. සෞදිය ඒ බව ගැසට් නිවේදනයකින් දැනුම් දුන්නේය.

ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව, හමාසා හඳුන්වා දී ඇත්තේ අල් කයිඩා සංවිධානයේ සිටින ‘නැගී එන ත්‍රස්ත නායකයකු’ ලෙසය. රාජ්‍ය දෙපාර්තමේන්තුව එසේ කළේ සී.අයි.ඒ. බුද්ධි අංශ වාර්තා අනුවය.

ඇමෙරිකාව හමාසා ත්‍රස්තවාදියකු ලෙස සලකන්නේ 2017 වසරේ සිටය. මේ වනවිට ඔහු සිටින්නේ කොහෙදැයි ඇමෙරිකාව නොදනී. ඇමෙරිකාව අනුමාන කරන්නේ හමාසා, ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවේ සැඟවී සිටිනවා විය හැකි බවය. තම පියා මැරූ පළිය ගන්නා බව පවසමින්, පසුගිය කාලය පුරාවට හමාසා ඇමෙරිකාවට පහර දෙන බවටත් විදේශවල ඇමෙරිකන් පුරවැසියන්ට පහර දෙන බවටත් අනතුරු අඟවා ඇත. එපමණක් නොව, සෞදි සන්නද්ධ කල්ලි එකමුතු කරගැනීමේ මෙහෙයුමක් ද ඇරැඹීය.

අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතනය කෙරුණේ 2011 මැයි දෙවැනිදාය. ඒ වනවිට ඔහු පාකිස්තානයේ ඇබොට්ටාබාද් නගරයේ මහල් නිවසක සැඟවී ජීවත් විය. බින් ලාඩන් ඝාතනය සිදු කළේ ඇමෙරිකන් හමුදාව කළ රහස් මෙහෙයුමකිනි. ඒ වනවිට ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබ වූයේ බැරැක් ඔබාමාය. ඉන්දීය ප්‍රහාරක යානා, පසුගිය 26 වැනිදා, පාකිස්තාන දේශසීමාව උල්ලංඝනය කරමින් බලාකොත් නමැති ප්‍රදේශයේ ඉස්ලාමීය ත්‍රස්ත පුහුණු කඳවුරකට පහර දී විනාශ කළ බව පැවැසෙයි. බලාකොත් ප්‍රදේශය පිහිටා ඇත්තේ ඇබොට්ටාබාද් නුවරට ඔබ්බෙනි.

හමාසා බින් ලාඩන්ගේ වයස අවුරුදු 30 ක් යැයි පැවැසෙයි. සැප්තැම්බර් 11 ප්‍රහාරයට පෙරත්, ඉන්පසුවත්, හමාසා, පියා බින් ලාඩන් සමඟ ඇෆ්ගනිස්තානයේ සිටියේය. පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර සැඟවී ජීවත් වෙද්දී බින් ලාඩන් සහ හමාසා අතර ලිපි හුවමාරු විය. ඇමෙරිකා හමුදා විසින් එම ලිපි සොයා ගන්නා ලදී. අල් කයිඩා ත්‍රස්ත සංවිධානය ඉදිරියට ගෙන යෑමට සුදුස්සා හමාසා යැයි බින් ලාඩන් එම ලිපිවල සඳහන් කර තිබුණු බව ඇමෙරිකාව පවසයි. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙන අන්දමට, හමාසා බින් ලාඩන් විවාහ වී සිටින්නේ, මොහොමද් ආටාගේ දියණියක සමඟය. 2001 ප්‍රහාරයේදී එක් මගී ගුවන් යානයක් පැහැර ගත් ත්‍රස්තයකු වන්නේ මොහොමද් ආටාය.

හමාසා බින් ලාඩන් පළමුවෙන්ම ලොවට හඳුන්වාදීම සිදුවූයේ 2015 දීය. එය කළේ ඔසාමා බින් ලාඩන්ගෙන් පසු අල් කයිඩාවේ නායකයා වූ අයිමාන් අල් සවාරීය. මොහු තවමත් අල් කයිඩාවේ නායකයාය. සවාරි, බින් ලාඩන් පුත්‍රයා හඳුන්වා දීම කළේ 2015 වසරේ දී හඬ පටයක් නිකුත් කරමිනි.

2001 වසරේ ඇමෙරිකාව ඇතුළු විදෙස් හමුදා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීමත් සමඟ අල් කයිඩාව අඩපණ විය. බින් ලාඩන්ගේ ඝාතනයෙන් පසු අල් කයිඩාව අකර්මණ්‍ය විය. සවාරි, බින් ලාඩන් මෙන් සිත් පිත් නැති කුරිරු නායකයකු නොවේ. අල් කයිඩා සංවිධානයට එක් වී සිටි කුඩා ත්‍රස්ත කල්ලි අල් කයිඩාව අතහැර ගියේය. එවැනි එක් කල්ලියක් අදටත් ලොව බිහිසුණු ත්‍රස්ත සංවිධානයක් වී ඇත. ඒ, අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයයි.

තවමත් අල් කයිඩාවට සහාය දක්වමින් ඔවුන් සමඟ එක් වී සිටින්නේ උතුරු අප්‍රිකාවේ සන්නද්ධ කල්ලි පමණය. අල් කයිඩා සංවිධානයේ පිහිටුවීම සිදුවූයේ 1988 වසරේදීය. ඔසාමා බින් ලාඩන්ගේ අඩි පාරේ යන හමාසා බින් ලාඩන්ට අල් කයිඩා සංවිධානය යළි ශක්තිමත් කිරීමට හැකියාව ඇති බව ඇමෙරිකාවේ විශ්වාසයයි. අල් කයිඩාව ඇමෙරිකාව විසින් පමණක් නොව, සෙසු රටවල් විසින් ද එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය විසින් ද ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරනු ලැබ ඇත.

අල් ජසීරා ඇසුරිනි


RECOMMEND POSTS