අමුතු විදියේ පියාඹන යන්ත්‍රයක් එනවා



තාක්ෂණයෙන් පෙරැළි කරන ඇමෙරිකාවේ ගූගල් සමාගම, අපූරු පියාඹන යානයක් හඳුන්වා දී ඇති අතර එය ‘පියාඹන මෝටර් රථය’ යනුවෙන් මේ වනවිට ලොව පුරා ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.

‘කිටී හෝක්’ යන නමින් හැඳින්වෙන මෙම ‘පියාඹන යානය’ හඳුන්වා දීම පසුගිය දා සිදුවූයේ කැලිෆෝනියාවේ ගූගල් සමාගමේ ප්‍රධාන කාර්යාලය අසල පිහිටි විල ආසන්නයේය.

නිර්මාණකරුවන් පවසා ඇත්තේ මෙම ‘පියාඹන මෝටර් රථය’ මේ වසර අවසානයේදී, වෙළෙඳපොළට නිකුත් කිරීමට අදාල බලධාරීන්ගේ අනුමැතිය ලැබී ඇති බවය. කෙසේ නමුත් එහි මිල කොපමණ වේවිදැයි ඔවුන් පවසා නැත.

‘කිටී හෝක්’ යන්ත්‍රය විලට ඉහළින් පියාසර කරවා පෙන්වූයේ ගූගල් සමගම පිහිටුවීමට මූලිකත්වය දුන් ලැරී පේජ් ය.
පේජ්, ‘කිටී හෝක්’ යන්ත්‍රය පියාසර කර පෙන්වන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පෙළක් ද මේ වනවිට අන්තර් ජාලයට එක් වී ඇත.

නව නිපැයුම් ලොවට හඳුන්වා දෙන ගූගල් සමාගම සහ ලැරී පේජ් එක් වී, මාර්ගයේ වාහන තදබද ඇතිවිට පියාසර කර යා හැකි කුඩා පියාඹන මෝටර් රථයක් හඳුන්වා දීමට උත්සාහ ගත්තේ මීට වසර කිහිපයකට පෙර සිටය.
එම උත්සාහයේ පළමු පියවර ලෙස ‘කිටී හෝක්’ යානය හැඳින්විය හැකි යැයි නිර්මාණකරුවෝ පවසති. ‘කිටී හෝක්’ යානය කුඩා විදුලි ගුවන් යානයක් බඳුය.

මකුළු දැලක් වැනි වේදිකාවක් මත රියදුරු අසුන සහ පාලක පුවරුව සවි කර ඇත. ප්‍රබල ඇන්ජිමකින් බලය සැපයීම සිදුවෙයි. යානය ජලයට හෝ ගොඩබිමට හෝ සෙමින් පතිත කර කිරීමට හැකියාව ඇති අතර, යානයට ඇත්තේ නියමු අසුන පමණි. එහෙයින් මෙම ‘පියාඹන මෝටර් රථය’ එක් අයකුට සීමා වෙයි.

‘කිටී හෝක්’ සදහා ගුවන් යානා බලපත්‍රයක් අවශ්‍ය නොවන අතර, එහි බර කිලෝ ග්‍රෑම් 100 කි. පැයට කිලෝ මීටර් 40 ක උපරිම වේගයකින් ගුවනේ සැරිසැරීමට හැකි බව ද පැවැසෙයි.

(ඬේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS