අබුඩාබියට පහර දුන් හවුති සටන්කාමීන්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අබුඩාඩි ගුවන්තොටුපොළ ආසන්නයේ ඉන්ධන රැගත් ට්‍රක් රථ තුනක් ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල විය. ට්‍රක් රථ පුපුරා මහා විනාශයක් සිදුවිය.

මෙම ඩ්‍රෝන යානා ට්‍රක් රථවල ගැටීමට සලස්වා ඒවා පුපුරුවා හැරීම ප්‍රහාරකයන්ගේ අරමුණ වූ බව පසුව හෙළි විය. ඒ, 'එම ප්‍රහාරය කළේ අපි' යැයි යේමනයේ හවුති ෂියා මුස්ලිම් සටන්කාමීන් ප්‍රහාරයේ වගකීම බාර ගැනීමත් සමඟය.

ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්ට ලොව ප්‍රධාන මෙන්ම විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයේ සහාය සහ අනුග්‍රහය ලැබේ. ඒ අනුව බටහිර මාධ්‍ය, විශේෂයෙන් ඇමෙරිකාව ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් හඳුන්වා දෙන්නේ, 'ඉරානයේ සහාය ලබන හවුති සටන්කාමීන්' යන විශේෂණ පදයෙනි.

17 වැනිදා උදෑසන සිදුවුණු එම සිද්ධිය ගැන කීවොත්, ඩ්‍රෝන යානා යොදා ගනිමින් කළ ප්‍රහාරයෙන් තිදෙනෙක් මියගියහ. සය දෙනෙක් බරපතල තුවාල ලැබූහ. ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමේ හවුති සටන්කාමීන්ගේ අරමුණ වූයේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට 'අතුල් පහරක්' එල්ල කිරීමය. හවුති සටන්කාමීන්ගේ ඉලක්කය පැහැදිලිවම එමිරේට්ස් වැසියන්ය.

ඒත් අවාසනාවකට මියගිය තිදෙනාගෙන් දෙදෙනකු ඉන්දීය ශ්‍රමිකයන් වන අතර තෙවැන්නා පාකිස්තාන ජාතික ශ්‍රමිකයෙකි. යේමනය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය අතර පවතින විරසකය මැදි වී මියගියේ අහිංසකයන් තිදෙනෙකි. එය කනගාටුවට කරුණකි.

එක්සත් ජාතීන්ගේ මහ ලෝකම් අන්තෝනියෝ ගුටේරස් පවා මෙම ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රකාශයක් නිකුත් කළේ එහෙයිනි. සිවිල් වැසියන් සහ සිවිල් යටිතල පහසුකම් ඉලපක්ක කර ගනිමින් එල්ල වුණු එම කුරිරු ප්‍රහාරය කිසිසේත් අනුමත කළ නොහැකි යැයි ජගත් මහ ලේකම්වරයා පැවැසීය.

යේමන කැරැලිකරුවන්ගේ ප්‍රහාරයෙන් ඉන්දියානුවන් මියයෑම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශෝකය පළ කළේය. එසේ ශෝකය පළ කරන ගමන් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ එක්සත් අරාබි එමිරේස්ට් රාජ්‍යය ඉන්දියානුවන්ට ආරක්ෂිත තැනක් බවය.

එමිරේට්ස් රාජ්‍යය ද ප්‍රතිඥාවක් දුන්නේය. ඒ, එම ප්‍රහාරය සම්බන්ධයෙන් යේමන හවුති සටන්කාමීන්ට කිසිදු සමාවක් නොදෙන බවටය. අබුඩාඩි ගුවන්තොටුපොළට එල්ල වුණු මෙම ප්‍රහාරය පැහැදිලිවම ත්‍රස්ත ප්‍රහාරයකි.

හවුති සටන්කාමීන් සහ එමිරේට්ස් රාජ්‍යය අතර පවතින අර්බුදය වටහා ගැනීමට නම්, වසර 7 ක් පමණ අතීතයට යා යුතුය. යේමනයේ මේ වනවිට සිවිල් යුද්ධයක් පවතී. එය ආරම්භ වූයේ 2014 වසර අවසන් වෙද්දීය. යේමනය අරාබි අර්ධද්වීපයේ පිහිටා ඇත.

යේමනයේ උතුරින් සිටින අසල්වැසියා සෞදියයි. බටහිරින් ඇත්තේ රතු මුහුදය. දකුණින් අරාබි මුහුද සහ ඒඩන් බොක්ක පිහිටා ඇති අතර, නැගෙනහිරින් ඕමානයට මායිම් වෙයි. යේමන භූමි ප්‍රමාණයට කුඩා දූපත් 200 ක් පමණ අයත් වෙයි. එහි විශාලම දූපත සොකෝට්‍රා ප්‍රධාන භූමියට කි. මී. 415 කි. එය දකුණින් සෝමාලියානු මුහුදු තීරයට ආසන්නයේ පිහිටයි. යේමනය නිල වශයෙන් ජනරජයක් ලෙස හැඳින්වෙයි. ඒ අනුව, අරාබියාවේ ඇති එකම ජනරජය යේමනයයි.

 2014 වසර වනවිට යේමන රජයට සෞදියේ සහාය හිමිවුණු අතර යේමනයේ පැවැතියේ සෞදි හිතවාදී රජයකි. ෂියා මුස්ලිම් හවුති බෙදුම්වාදී කැරැලිකරුවන් ඉරානයේ සහාය ඇතිව අවි අතට ගනිමින් සටන්කාමීන් ලෙස යේමනයේ සෞදි හිතවාදී රජය පෙරළා දැමීය. ඒ අනුව යේමන හිතවාදී රජය සහ හමුදාව, හවුති සටන්කාමීන් සමඟ සිවිල් යුද්ධයක් ඇති විය.‍

මේ වනවිට වසර 7 කට ආසන්න කාලයක් තිස්සේ ඔඩුදුවමින් ඇත්තේ එම සිවිල් යුද්ධයයි. යේමන සිවිල් යුද්ධය මහා මානව ඛේදවාචකයකි. හවුති සටන්කාමීන්ට එරෙහි සටනට යේමන රජයටත් හමුදාවටත් සෞදියේ සහාය ලැබේ.

සෞදි ගුවන් ප්‍රහාරවලින් යේමන සිවිල් වැසියන් එක පොදියට මියයන බව පසුගිය වසරවලදී අසන්න ලැබුණි. සිවිල් යුද ගැටුම් නිසා යේමන දරුවන්ට අධ්‍යාපනයක් නැත. කුසට අහරක් නැත. කුසගින්නේ දරුවන් මියැදෙන බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් පවසා තිබේ.

යේමන අර්බුදයේ දී සෞදිය කළ ඉල්ලීමකට අනුව, සෞදියට 'බෑ කීමට' නොහැකි ව එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ද හවුති සටන්කාමීන්ට එරෙහිව හමුදාව යෙදවීය. පසුගිය 17 වැනිදා අබුඩාඩි ගුවන්තොටුපොළට එල්ල වූ ප්‍රහාරය හවුති සටන්කාමීන් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට එල්ල කළ අතුල් පහරක් වන්නේ ඒ අනුවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS