අපෙන් සමුගත් සිබිල් නැන්දා



ඇය සියලුම දරුවන්ට 'සිබිල් නැන්දා' වූවාය. ‍සිය තෙලිතුඩින් ඇඳුණු සිතුවමින් මෙන්ම තම සිතෙහි මැවුණු අපූරු කතාවලින් ළමා ලෝකය පුරවාලන්නට ඇය සමත් වූවාය. ඇය මවා දුන් අපූරු ලෝකයේ ගත කළ ළමා ලෝකය අතිශය සුන්දර විය.

"කවදා හරි මම මේ ලෝකෙන් යන දවසට යන්නේ පුදුමාකාර සතුටකින්...මම යන්නෙ ළමයින් වෙනුවෙන් මහා වස්තු සම්භාරයක් ඉතිරි කරලා. එහෙම හිතද්දී දැනෙන්නේ පුදුමාකාර සතුටක්..." සිය 90 වැනි ජන්ම දිනය දා  පැවති ‍චිත්‍ර ප්‍රදර්ශනයට එක්වෙමින් ඇය කීවේ එසේය.

ඇය කතා ලීවේ මෙරට දරුවන් වෙනුවෙන් පමණක් නොවේ. ඇගේ කතා විවිධ භාෂාවන්ගෙන් මුද්‍රණය වී ඇති නිසා ලෝකයේම දූ දරුවන් සිබිල් නැන්දා හඳුනන්නේය. ඇය මෙලොවින් සමුගැනීම අපට සේම ඔවුන්ටද විශ්වාස කිරීමට පවා නොහැකි ශෝකජනක පුවතක් වී තිබෙනවාට නම් සැක නැත. නමුත් ඇය යන්නටම ගොසිනි. අද සිට ඇය දෙව්ලොව ගොස් දෙව්ලොවද සිතුවමින් පුරවන්නට කටයුතු කරනු ඇත. එම ලෝකය ද සුන්දර කරනු ඇත.

ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පිනියක් සහ ළමා කතා ලේඛිකාවක් වූ සිබිල් වෙත්තසිංහ මහත්මිය මියයන විට 93 හැවිරිදි  වියෙහි පසුවූවාය. 1927 දී දකුණු ලක දී උපත ලැබූ ඇගේ ළමා වියේ පළමු වසර හය ගත කළේ ගිංතොට ගම්මානයේ ය. පසුකාලීනව පවුලේ අය සමඟ කොළඹට පැමිණි ඇය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට ඇතුළුවී අධ්‍යාපනය ලැබුවාය. වයස 17 දී ඇය ලංකාදීප පුවත්පත හා එක්වූ ඇය ලංකාදීපයට එක්වූ පළමු කාන්තාව ද වූවාය. 1952 වසරේ ලේක්හවුස් ආයතනයට එක්වන විට 25 හැවිරිදි වියෙහි පසුවූවාය.

ලේක්හවුස් ආයතනයේ ජනතා පුවත්පතෙහි ප්‍රධාන චිත්‍ර ශිල්පිනිය ලෙස ද කටයුතු කර ඇති සිබිල් වෙත්තසිංහ මහත්මිය එම ආයතනය මගින් මුද්‍රණය කළ සන්ඩේ ඔබ්සවර්, සිළුමිණ, ඩේලිනිවුස්, සරසවිය ආදී පුවත්පත්ද තම සිතුවමින් හැඩගැන්වූවාය.

ඇය ජනතා පුවත්පතේ සේවය කරමින් සිටියදී ඒ වෙනුවෙන් සිතුවම් සහිතව රචනා කළ කුඩ හොරා ළමා කතාව පසුකලෙක දේශීයව මෙන්ම ජාත්‍යන්තරව ද ඉතා ජනප්‍රිය විය. ඇය ළමා ලෝකය ආක්‍රමණය කරන ලද්දේ ද 1956 දී රචනා කළ මෙම කුඩ හොරා නැමති ග්‍රන්ථය රචනා කරමිනි.

ජපානයේ දී 1982 වර්ෂයේ පැවැත්වුණු පොත් චිත්‍ර ශිල්පීන්ගේ තරඟයකදී 'කුඩ හොරා' ළමා කතාවට ලෝකයෙන්ම තෙවෙනි ස්ථානය හිමිවූ අතර 1987 දී ජපානයේ පළ වූ ජනප්‍රියම විදෙස් කතාව වූයේ ද 'කුඩ හොරා' ය.

නෝර්වේ, ඩෙන්මාර්කය, ‌ඇමෙරිකා එක්සත් ජනපදය, කොරියාව ඇතුලු රටවල් 12ක භාෂාවන්ට මෙම කෘතිය පරිවර්තනය විය.

ඇය 'එන්දො මුත්තා', 'කිරියට ලැවරිය', 'අලිනෑම', 'අවිශ්වාසය', 'ඉදුණු පේර', 'දිය රකුසා', 'මහා ගිරා', 'කපුටා කළු වුණ හැටි', 'රන් පිහාටු', 'අමුතු කෑමක්' ආදී ළමා කතා 250ක් පමණ සිංහල හා ඉංග්‍රීසි භාෂාවන්ගෙන් රචනා කළාය.

2019 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී 'හොඳම ළමා කතාවට' හිමි සම්මානය ද ඇය දිනාගත්තාය.

කවුරුත් දන්නා පරිදි කිවහොත් සිබිල් නැන්දා දරුවන්ගේ චින්තනය සේම කුසලතා වර්ධනය වෙනුවෙන් කළ මෙහෙවර මෙතෙකැයි කිව නොහැක.

මෙරට විවිධ ප්‍රදේශවල දරුවන් 20,000ක් එක්කරගෙන එකම කෘතියක් අවසානයන් 20,000ක් සහිතව රචනා කරමින් ඉකුත් මාර්තු මාසයේ දී ඇය ගිනස් වාර්තාවක් ද පිහිටවූවාය.

ඒ ලෝක ළමා දිනයට සමගාමීව ”පුදුම පළිඟුව” ළමා කෘතිය රචනා කරමිනි.

ගිනස් වාර්තා අතරට එක් වෙමින් ...

මෙම වාර්තාවට අදාළ සහතිකය සිබිල් වෙත්තසිංහ මහත්මිය ඇතුළු දරු දැරියන් වෙත ප්‍රදානය කිරීම කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ඉකුත් මාර්තු 5 වැනිදා උත්සවාකාරයෙන් සිදුකෙරිණි.

හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් දින 4ක පමණ කාලයක් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි සිබිල් නැන්දා මියගියේ ඊයේ (30) රාත්‍රියේය.

1955 වසරේදී විවාහ වූයේ ලේක්හවුස් පුවත්පත් සමූහයේ ප්‍රධාන කර්තෘවරයා ලෙස සේවය කළ ධර්මපාල වෙත්තසිංහ මහතා සමඟය. ඔවුන්ට දූ දරුවන් සිව් දෙනෙකු වූ අතර මුණුපුරු මිණිපිරියන් 5 දෙනකි.

ඉතින් අද සිත්තරාවිය සදෙව් ලොව සිතුවම් අඳින්නට ගොසිනි.

සිබිල් නැන්දේ ඔබට සුබ ගමන්.....

සටහන - ඩයනා උදයංගනී


RECOMMEND POSTS