අපභ්‍රංශ අත්පිටපත



‘වොයිනික් අත්පිටපත’ යනු හරිම අපූරු ගුප්ත නොවිසඳුණු අබිරහසකි. විද්‍යාඥයන්ට එය ප්‍රෙහේලිකාවකි. ‘වොයිනික් අත්පිට’ යනු අත්පිටතකි. පොතකි. මෙහි පිටු 240 ක් ඇත. පිටු කිහිපයක් කවුරුන් හෝ ඉරා ඉවත් කර තිබේ. අත්පිටපතට යොදා ඇති පිටු සත්ව සමින් සකස් කළ ඒවාය.

පිටපත අවුරුදු 600 කට වඩා පැරැණි යැයි විශ්වාස කෙරේ. ලොව වඩාත් ගුප්ත, අබිරහස් පිරි මධ්‍යතන යුගයේ ලේඛනය මෙය යැයි ද පැවැසෙයි. මෙම අත්පිටපතට දුර්ලභ මෙන්ම අසාමාන්‍ය විදියේ ශාක සහ පැළෑටිවල සිතුවම්, තරු රටාවල සිතුවම්, මානවරූපී ජීවීන්ගේ වර්ණවත් සිතුවම් ඇතුළත් වෙයි. මෙම අත්පිටපත ලියා ඇත්තේ අමුතු විදියේ භාෂාවකිනි. අත්පිටපත ලියා ඇත්තේ වමේ සිට දකුණට අසාමාන්‍ය අකුරු වර්ගයකිනි.

මෙම අත්පිටපත ‘වොයිනික් අත්පිටපත’ යන නමින් නම් කර ඇත්තේ, විල්ෆ්‍රඞ් වොයිනික් නමැති පෝලන්ත ජාතික පොත් වෙළෙන්ඳා නිසාය. මෙම අත්පිටපත විල්ෆ්‍රඞ් වොයිනික් අතට පත් වී ඇත්තේ 1912 වසරේදීය. එය සොයා ගෙන ඇත්තේ ඉතාලි දේවස්ථානයකිනි. කාබන් පරීක්ෂණ අනුව, ‘වොයිනික් අත්පිටපත’ සකස් කරන්න ඇතැයි පැවැසෙන්නේ 15 වැනි සියවසේදීය. ඒ, 1404 සහ 1438 අතර කාලයේය. ඉතාලි පුනරුද සමයේදී අත්පිටපත නිර්මාණය කරන්න ඇතැයි සැක කෙරේ. අත්පිටපතට ඇතුළත් පිටු 240 න්, බොහොමයක දළ රූප සටහන් ඇතුළත් වෙයි. ඇතැම් පිටු නවා පොතට ඇතුළත් කර ඇති අතර, ඒවා දිග හැර කියවිය යුතු වෙයි.  අදවනවිට මෙම අත්පිටපත යේල් විශ්ව විද්‍යාලයේ පුස්තකාලයේ සුරක්ෂිතව තබා ඇත. ඒ, 1969 වසරේ දී ඔස්ටි්‍රයානු ජාතික පොත් වෙළෙන්ඳකු මෙන්ම පොත් එකතු කරන්නකු ද වූ හාන්ස් පී ක්‍රවුස් එය යේල් විශ්ව විද්‍යාලයේ ඇති දුර්ලභ පොත පත සංරක්ෂණාගාරයට එය පිරිනැමීමෙන් පසුවය.

අබිරහසක් වුණු ‘වොයිනික් අත්පිටපත’ වසර ගණනාවක සිට බොහෝ මහාචාර්යවරුන්ගේත් ගුප්ත ලේඛන පිළිබඳ පර්යේෂණ පවත්වන ගුප්ත ලේඛන විද්‍යාඥයන්ගේත් අවදානයට ලක් වී ඇත. පළමු සහ දෙවැනි ලෝක සංග්‍රාමවලට සම්බන්ධ වුණු, රහස් කේතවලින් පණිවුඩ යැවීම සිදු කළ ඇමෙරිකා සහ බි්‍රතාන්‍ය ජාතික ‘කෝඞ්බ්‍රේකර්ස්’ යන නමින් හැඳින්වෙන පණිවුඩකරුවෝ ද මෙම අත්පිටපත කුමක්දැයි වටහා ගැනීමට උත්සහ කළහ. ඒ කිසිවකුට මෙම අත්පිටපතේ රහස අනාවරණය කර ගැනීමට හැකියාවක් නොලැබුණි.

එහෙයින්, මෙය මැජික් පොතක්, පිටසක්වළ අමුත්තන් පොළොවට පැමිණ කළ අධ්‍යනයක් ඇතුළත් පොතක් ආදී වශයෙන් අදහස් පළ වී තිබේ. ගුප්ත ලේඛන ලියන සහ කියවන කලාව හැඳින්වෙන්නේ ‘ක්‍රිප්ටෝග්‍රැපි’ යන නමිනි. මෙම කලාව ප්‍රගුණ කළ විශේෂඥයන්ට පවා අත්පිටපත කියවා තේරුම් ගැනීම කළ නොහැකි වී තිබේ. ඔවුන් පවසන්නේ, මෙය ඔවුන් ද නොදන්නා රහස් කේත භාවිතා කරමින් රචනා කළ අත් පිටපතක් කියාය. ඒ අනුව ලියා ඇති දේ වටහා ගැනීම කළ නොහැකිය.

වෙයිනික් අත්පිටපතේ අඩංගු වන්නේ මොනවාද? බොහෝ පිටුවල සිතුවම් දකින්න ලැබේ. අත්පිටපත එක ලේඛකයකු හෝ සිත්තරකු විසින් කළ නිර්මාණයක් නොව, ලේඛකයන් කිහිප දෙනකු සහ සිත්තරන් කිහිප දෙනකු එක් වී කළ නිර්මාණයක් බව පිළිගැනෙයි. ඔවුන් කවුරුදැයි යන්න හඳුනා ගැනීමට හැකි වී නැත. පෙර සඳහන් කළාක් මෙන්, අත්පිටපත ලිවීමට යොදාගෙන ඇති අක්ෂර සහ භාෂාව සුවිශේෂීය. මෙම අක්ෂර මිනිසාට ආගන්තුකය. එය අස්වාභාවික ගුප්ත අක්ෂර විශේෂයකි. පැලෑටි වර්ග පිළිබඳ තොරතුරු, ව්‍යුහ විද්‍යාත්මක තොරතුරු, තාරකා විද්‍යාත්මක තොරතුරු, නිරුවත් කාන්තා සිරුරු, අසාමාන්‍ය ජීවීන් පිළිබඳ රූප සටහන් ආදිය අත්පිටපතේ දකින්න ලැබේ.

2009 වසරේ, ඇමෙරිකාවේ ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරු පිරිසක් මෙම අත්පිටපත සම්බන්ධයෙන් උනන්දුවී එය පරීක්ෂා කළහ. ඔවුන් කළේ අත්පිටපතේ කාලය නිවැරදිව නිර්ණය කිරීමේ පරීක්ෂණය. ඒ අනුව, ඔවුන් සියයට 95 ක් සහතිකව කියා සිටියේ, අත්පිටපතේ ඇතැම් පිටු 1404 සහ 1438 වසර අතර කාලයේ නිර්මාණය කරන්න ඇති බවය. ඇමෙරිකාවේ චිකාගෝ නුවර මැක්රෝන් පර්යේෂණ ආයතනයේ විශේෂඥයෝ පවා අත්පිටපත සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළහ. අත්පිටපත සඳහා භාවිතයට ගත් තීන්ත ඉපැරණි බවත්, මධ්‍යතන යුගයට අයත් බවත් එහිදී අනාවරණය කර ගැණින.

වසර ගණනාවක් තිස්සේ ලොව මවිත කළ වොයිනික් අත්පිටපතේ අබිරහස විසඳීමට පරිගණක විශේෂඥයන් පිරිසක් ඉදිරිපත් වී සිටින බව පසුගිය ජනවාරි 26 වැනිදා ඬේලිමේල් පුවත් වෙබ් අඩවිය වාර්තා කළේය. පරිගණක විශේෂඥයන් මේ සඳහා කෘත්‍රිම බුද්ධි පරිගණක වැඩසටහනක් භාවිතයට ගන්නා බව පැවැසෙයි. පරිගණක විශේෂඥයන් පෙන්වා දෙන අන්දමට වෙයිනික් අත්පිටපත ලියා ඇත්තේ ඉපැරැණි හීබෲ බසින් බවය. අබිරහස් විදියට අත්පිටපත ලියා ඇති බව පෙනෙන්නේ, ප්‍රාණාක්ෂර ඉවත් කර එය ලියා ඇති නිසා යැයි කෘත්‍රිම බුද්ධි පරිගණක වැඩසටහන පෙන්වා දී තිබේ. කෙසේ නමුත් අත්පිටපතේ අඩංගු දේ මොනවාදැයි නිවැරදිව කීමට තවමත් පරිගණකයට හැකියාව ලැබී නැත. රහස් විකේතනය කරමින් එකිනෙක සෙමින් අනාවරණය කර ගැනීමට නියමිතව ඇතැයි දැනගන්න ලැබේ.

කෘත්‍රිම බුද්ධි පරිණක වැඩසටහන යොදා ගනිමින් වොයිනික් අත්පිටපතේ අබිරහස විසඳීමට උත්සාහ දරන්නේ, ඇමෙරිකාවේ ඇල්බර්ටා විශ්ව විද්‍යාලයේ පරිගණක විශේෂඥ ග්‍රෙග් කොන්ඩාර්ක් ප්‍රමුඛ කණ්ඩායමය. කෘත්‍රිම බුද්ධි පරිගණක වැඩසටහන යොදාගෙන, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සුරැකීම සිදුවිය යුත්තේ කෙසේදැයි යන්න සම්බන්ධ ලියවිල්ල, සියයට 97 ක් නිවැරදිව, ලොව භාෂා 380 කට පරිවර්තනය කිරීමට ග්‍රෙග් කොන්ඩාර්ක් ඇතුළු කණ්ඩායමට හැකිවී ඇතැයි ද පැවැසෙයි.

ඔවුන් ඒ සඳහා ද භාවිතා කර ඇත්තේ ඔවුන්ගේ මෙම කෘත්‍රිම  බුද්ධි පරිගණක වැඩසටහන යැයි ද පැවැසෙයි. වොයිනික් අත්පිටපතේ ඇත්තේ කිසියම් අරාබි භාෂාවක් බවට ගුප්ත ලේඛන ලියන සහ කියවන කලාව පිළිබඳ ඇතැම් විද්‍යාඥයෝ උප කල්පනය කර තිබුණාහ. ග්‍රෙග් කොන්ඩාර්ක් ඇතුළු කණ්ඩායම එම උපකල්පනය අනුව යමින්, සිදු කළ පර්යේෂණ සිදු කළේය. වොයිනික් අත්පිටපතේ ලියා ඇත්තේ පුරාණ හීබෲ බසින් යැයි අනාවරණය වූයේ ඒ අනුවය. ‘වොයිනික් අත්පිටපත ලියා ඇත්තේ කුමන බසින් ද අපට පැහැදිලි වුණා. වොයිනික් පිටපතේ අබිරහස විසඳීමේ පළමු පියවර එයයි. දැන් තමයි අසීරු කටයුත්ත. ලියා තියෙන්නේ මොනවාදැයි තේරුම් ගැනීම.’ යැයි ග්‍රෙග් කොන්ඩාර්ක් ඬේලිමේල් පුවත් වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් පවසා ඇත.

වොයිනික් අත්පිටපත ලියනාඩෝ ඩාවින්සි ළමා කාලයේ දී සකස් කළ අත්පිටපතක් යැයි ද විශ්වාසයක් පවතී. ඇතැමුන්ගේ විශ්වාසය වී ඇත්තේ ඊශ්‍රායලයේ සැඟවුණු ගෝත්‍රික පිරිසක් හෝ ඇස්ටෙක් ගෝත්‍රිකයන් විසින් හෝ මෙම අත්පිටපත සකස් කරනු ලැබූ බවය. ගුප්ත මෙන්ම අබිරහසක් ද වුණු වොයිනික් පිටපත ජනප්‍රිය සංස්කෘතියට ද එක් වී ඇත. ‘ඉන්දියානා ජෝන්ස්’ නවකතාවලට ද මෙය පාදක වී තිබේ.

වීර වික්‍රමවල යෙදෙන මහාචාර්ය ජෝන්ස්, ‘ෆිලොසොෆර්ස් ස්ටෝන්’ සොයා ගන්නේ මෙම අත්පිටපතේ ඇති රහස් අනාවරණය කර ගනිමිනි. ‘ෆිලොසොෆර්ස් ස්ටෝන්’ එසේත් නැතිනම් ‘දාර්ශනවේදීන්ගේ මැණික’ යනුවෙන් හැඳින්වෙන්නේ, අදිරසායනික මැණිකකි. ඕනෑම රසායිනක සංයුතියක් වෙනස් කිරීමටත්, ඒවායේ රහස් දැනගැනීමටත් මෙය හරහා හැකිවෙනවා යැයි පැවැසෙයි. මෙය හුදෙක් පුරාවෘතයක් පමණි.

මීට අමතරව ලොව අතිශයින් ජනප්‍රිය, ලොව අංක එකේ පරිගණක ක්‍රීඩාව ලෙස සැලකෙන්නේ ‘ඇසැසින්ස් ක්‍රීඞ්’ ය. මෙම පරිගණක ක්‍රීඩාව ඇසුරින් පසුගිය 2017 වසරේ දී චිත්‍රපටයක් ද නිර්මාණය විය. ‘ඇසිසින්ස් ක්‍රීඞ්’ සඳහාත් වොයිනික් අත්පිටපත යොදා ගෙන තිබේ.

ඬේලිමේල් ඇසුරිනි

 


RECOMMEND POSTS