අඳුරු පැත්තේ රහස් සොයයි



2019 නව වසර උදාවත් සමඟ අභ්‍යවකාශ වික්‍රම දෙකක් ගැන අසන්න ලැබුණි. එයින් එකක් ඇමෙරිකා නාසා ආයතනයේ නිව් හොරයිසන්ස් ගවේෂණ යානය, විශ්වය අද්දර පිහිටි ග්‍රහ වස්තුවක් අසලට ගොස් එහි ඡායාරූප ගැනීම ආරම්භ කිරීමය. අනෙක, සඳේ අඳුරු පැත්තට රොබෝ ගවේෂණ යානයක් සහ රොබෝ රෝවර් යානයක් පතිත කිරීමට චීනය සමත් වීමය. චීන ගගන පර්යේෂණ ආයතනය මෙම වික්‍රමය කළේ පසුගිය 12 වැනිදාය.

සඳ පිහිටා ඇත්තේ පෘථිවියේ සිට කිලෝ මීටර් 384,000 ක් ඈතිනි.  සඳ පෘථිවිය යටා වරක් පරිභ්‍රමණය (තමන් වටේ කැරැකීම) වීමට දින 27 යි පැය 7 යි මිනිත්තු 43 1/4 ක් ගත වෙයි. තම කක්ෂය වටා වරක් යෑමට සඳට එම කාලයම ගත වෙයි. ඒ නිසා පෘථිවියට පෙනෙන්නේ සඳේ එක් පැත්තක් පමණය. නොපෙනෙන පැත්ත, නොපෙනෙන කලාපය, අඳුරු පැත්ත ආදී නම්වලින් හැඳින්වෙයි.

සඳේ අඳුරු පැත්තට පතිත කරන ලද්දේ ‘චැංග් ඊ 4’ නමැති ගවේෂණ යානයයි. මෙම ගවේෂණ යානය මවු යානයක් සේ ක්‍රියාත්මක වෙයි. යානය ඇතුළේ කුඩා රෝවර් යානයක් ඇති අතර එය මවු යානයෙන් පිටතට පැමිණ සඳුගේ අඳුරු පැත්ත ගවේෂණය කරයි. මේ යානය ‘යුටූ 2’ යනුවෙන් නම් කර ඇත.  චීනය පතිත කරවන යානයක් සහ රෝවර් යානයක් සඳට යැවූ පළමු අවස්ථාව මෙය නොවෙයි. සඳේ අඳුරු පැත්තට පළමුවෙන්ම මිනිසා විසින් යානයක් පතිත කළ පළමු අවස්ථාව මෙයයි. ඒ, ගෞරවය චීනය විසින් හිමි කරගන්නා ලදී. සඳේ අඳුරු පැත්තට යානයක් යැවූ පළමු රට සෝවියට් දේශයයි. ඒ 1959 වසරේ දී ලූනා 3 යානයයි. ‘චැංග් ඊ 4’ යානය චීනයේ ‘ලෝංග් මාර්ච් 3 බී’ රොකට්ටුවෙන් පෘථිවි කක්ෂයට විදීම සිදුවූයේ දෙසැම්බර් 7 වැනිදාය. රොකට්ටුව උඩු ගුවනට විදීම සිදු කළේ සිචුවාන් පළාතේ, ෂීචැංග් ගගන මධ්‍යස්ථානයෙනි.

රොකට්ටුවෙන් වෙන් වූ ‘චැංග් ඊ 4’ යානය සඳ බලා ගියේය. දෙසැම්බර් 12 වැනිදා එය සඳේ කක්ෂයට ඇතුළු විය. අඳුරු පැත්තට ගොඩබෑම සිදුවූයේ පසුගිය ජනවාරි 3 වැනිදාය. සඳේ අඳුරු පැත්තේ සිට පෘථිවිය සමඟ සන්නිවේදනය කිරීම අසීරුය. සන්නිවේදන කටයුතු සිදුකිරීමට චීනය පසුගිය වසරේ මැයි 20 වැනිදා ක්වෙකියෝ නමින් විශේෂ සන්නිවේදන චන්ද්‍රිකාවක් සඳුගේ කක්ෂයේ රඳවනු ලැබීය.

 ‘චැංග් ඊ 4’ යානය සඳේ අඳුරු පැත්තට ගොඩබෑමෙන් පසු, ලබාගත් ඡායාරූප සහ දසුන් චීන ගගන විද්‍යාඥයන් අතට පත් වූයේ ක්වෙකියෝ චන්ද්‍රිකාව හරහාය. ‘ක්වෙකියෝ’ යන්නෙහි අර්ථය ‘පොල්කිචි පාලම’ යන්නය. ‘චැංග් ඊ’ යනු චීන මිත්‍යා කතාවල සඳහන් සඳුට අධිපති දෙවඟනය. ‘යූටූ’ යනු ‘ජේඞ් හාවා’ යන්නය. සඳේ හාවකු සිටිනවා යැයි චීන මිත්‍යා කතාවල පදනම් කරගත් සාහිත්‍යයේ සඳහන් වෙයි. මේ හාවා චීන සාහිත්‍යයේ වඩාත් කැපී පෙනෙන චරිතය ලෙස සැලකෙන වූකොං සමඟ සටන් කරයි. වූකොන් යනු දෙව්ලොව කලබල කළ, ත්‍රිපිටකය සොයා ඉන්දියාව​ට ගිය මල් පළතුරු කන්දේ වානර රජුය.

‘චැංග් ඊ 4’ යානය ගොඩබෑම සිදු කරනු ලැබුවේ, එයිකන් ද්‍රෝණියේ වොන් කර්මාන් ආවාටයටය. සෞරග්‍රහ මණ්ඩලයේ ඇති විශාලතම ඝට්ටන ආවාටය ලෙස මෙම ආවාටව සැලකෙයි. විශ්කම්භය කිලෝ මීටර් 2,500 කි. ගැඹුර කිලෝ මීටර් 13 කි. ‘චැංග් ඊ 4’ යානය ආවාටය පතිත කිරීම සිදුවූයේ ජනවාරි තුන් වැනිදා චීනයේ වේලාවෙන් උදේ 10.26 ටය. සඳට පතිත කිරීමෙන් පසු වර්ණ ඡායාරූප එවීම සිදු කළේය. ඒ, ‘ක්වෙකියෝ’ චන්ද්‍රිකාව හරහාය. යානය තුළ රඳවා තැබුණු රොබෝ රෝවර් යානය, එළියට පැමිණ එහෙමෙහෙ යමින් ගවේෂණ කටයුතු ඇරැඹීය. එම දසුන්ට චීන විද්‍යාඥයවන් අතට පත් විය. ‘චැංග් ඊ 4’ එසේ මෙසේ එකක් නොවෙයි. එය කුඩා පර්යේෂණාගාරයකි. එය කුඩා ජෛව ගෝලයක් යැයි චීන විද්‍යාඥයන් විසින් හඳුන්වා දෙනු ලැබ ඇත.

‘චැංග් ඊ 4’ යානය සඳේ අඳුරු පැත්තේ පරීක්ෂණ රැසක් සිදු කිරීමට සූදානම් වී සිටී. ‘චැංග් ඊ 4’ යානය කුඩා ජෛව ගෝලයක් සහිත පර්යේෂණාගාරයකින් සමන්විත වෙයි.  පර්යේෂණාගාරයේ කෘත්‍රිම හරිතාගාරයකි. අර්තාපල්, ගෝවා, බෝංචි ආදිය මෙහෙි පැල කර ඇත. පටපණුවන්ගේ බිත්තර ද එක් පර්යේෂණ කුටියකට ඇතුළ්ය. එකිනෙකට වෙනස් පරිසර තත්ත්වයන් යටතේ මේවායේ වර්ධනය සිදුවන අයුරු සොයා බැලෙයි.  ඊට අමතරව, ඡායාරූප ගැනීම් සිදුවන අතර පස් සාම්පල ලබා ගැනීම සහ ඒවා විශ්ලේෂණය ද සිදුවෙයි. විකිරණ ක්‍රියාකාරීත්වය සිදුවන ආකාරය ගැන සොයා බැලෙයි.

චීනය ඔවුන්ගේ අභ්‍යවකාශ වික්‍රම ආරම්භ තළේ 2007 දීය. ඒ, 2007 ඔක්තෝබර් 24 වැනිදා චැංග් ඊ 1 යන නමින් මිනිසුන් රහිත චන්ද්‍රිකාව අභ්‍යවකාශයට යවමිණි. එම යානය වසරක කාලයක් ඉතා හොඳින් ක්‍රියාත්මක විය. 2010 ඔක්තෝබර් 1 වැනිදා චීනය චැංග් ඊ 2 නමැති චන්ද්‍රිකාව සඳුගේ කක්ෂයට යැවීය. චීන චන්ද්‍ර ගවේෂණ මෙහෙයුමේ ආරම්භය මෙය යැයි සැලකෙයි. චැංග් ඊ 2 චන්ද්‍රිකාව සඳුගේ කක්ෂයේ රඳවනු ලැබුවේ ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත චැංග් ඊ 3 මෙහෙයුමේ දී දත්ත එක් රැස් කිරීමටය. 2011 සැප්තැම්බර් 29 දා චීනය ටියැංගොන් 1 ගගන පර්යේෂණාගාරය උඩු ගුවනට යවා රැඳවීය. 2013 සැප්තැම්බර් 15 වැනිදා ටියැංගොන් 2 නමැති දෙවැනි ගගන පර්යේෂණාගාරය උඩු ගුවනට යැවිණි. එම වසරේ දෙසැම්බරයේ චැංග් ඊ 3 ගුවන්ගත කෙරුණි. දෙසැම්බර් 14 වැනිදා  කිලෝ ග්‍රෑම් 1,200 ක් බරින් යුත්, චැංග් ඊ 3 චන්ද්‍ර යානය සඳේ පෙනෙන පැත්තට සාර්ථකව ගොඩබෑම සිදුවිය. 1976 වසරේ ලූනා 24 යානයෙන් පසු, සඳ මතුපිටට මෘදු ගොඩබෑමක් කළ පළමු වස්තුව මෙය විය. පසුගිය 2018 අප්‍රේල් පළමු වැනිදා උඩු ගුවනේ රඳවා තිබුණු ටියැංගොන් 1 ගගන පර්යේෂණාගාරය, පැයට සැතපුම් 17,000 ක වේගයකින් පෘථිවියට කඩා වැටුණි. එය කඩා වැටුණේ ටහීටි දූපත් රාජ්‍යයට ඔබ්බෙන් සාගරයටය. 2018 මැයි 20 වැනිදා ‘පොල්කිචි පාලම’ යන අර්ථය ඇති ‘ක්වෙකියෝ’ සන්නිවේදන චන්ද්‍රිකාව, සඳුගේ කක්ෂයට යැවීම සිදුවිය. චැංග් ඊ 4 යානය චීන විද්‍යාඥයන් සමඟ සම්බන්ධ වෙන්නේ මෙම චන්ද්‍රිකාව ආධාරයෙනි. පසුගිය දෙසැම්බර් 7 වැනිදා  චැංග් ඊ 4 යානය රැගත් රොකට්ටුව ගුවන්ගත කෙරුණු අතර දෙසැම්බර් 12 වැනිදා  චැංග් ඊ 4 යානය කුඩා රොකට් පද්ධතිය ක්‍රියාත්මක වූ අතර සෙමින් සෙමින් යානය සඳේ කක්ෂයට පිවිසිණි. යානය 31 වැනිදා යානය සඳේ අඳුරු පැත්තට ගොඩබෑමට සූදානම් විය. වසර 2020 වනවිට ටියැංගොන් 3 මොඩියුලය උඩු ගුවනට යැවීමට නියමිත අතර එය ටියැංගොන් 2 සමඟ එක් වනු ඇති අතර,  වසර 2033 වසර වෙද්දී චීනය අඟහරු වෙත මිනිසුන් රහිත යානයක් යැවීමට සූදානම් බව පැවැසෙයි. ඉන්පසු  වසර 2040 සිට 2060 අතර ආසියානු බලවතා වන චීනය අඟහරු බලා ගගනාමීන් සමඟ ගගන මෙහෙයුමක් සිදු කිරීමට ද බලාපොරොත්තු වෙයි.

ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS