අඟහරු යන්න කලින් දෙවරක් හිතන්න



ඉදිරි සියවසේ මිනිසා ජය ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ප්‍රධානතම අභියෝගය වනු ඇත්තේ රතු ග්‍රහයා හෙවත් අඟහරු ජය ගැනීමය. අඟහරු මෙහෙයුමකට අභ්‍යවකාශ කටයුතුවලට සම්බන්ධ ලොව ප්‍රධාන රටවල් සියල්ල මේ වනවිට පිඹුරුපත් කසක් කරමින් සිටී.

ඉදිරියේ දී තිරගත වීමට නියමිත ‘ලයිෆ්’ චිත්‍රපටයේ මෙන්, අඟහරු ජය ගැනීම ඇමෙරිකාව, රුසියාව, චීනය, ජපානය, ඉන්දියාව සහ යුරෝපා රටවල එකමුතුවෙන් සිදුවිය හැක. ඒත් අඟහරු යෑමට පෙර දෙවරක් සිතා බැලිය යුතු බවත්, එය ලොකු ජීවිත අවධානමක් බවත් ඇමෙරිකාවේ නාසා ආයතනය පසුගිය දා පෙන්වා දුන්නේය.

නව අධ්‍යනයකින් පෙනී ගොස් ඇත්තේ අඟහරු ගමනකට එක්වන ගගනගාමීන් ලියුකේමියා රෝගීන් වීමේ අවධානය ඉතා වැඩි බවය. මේ බව නාසා ආයතනය පවා තහවුරු කර තිබේ. අඟහරු යෑමට වසර තුනක් ගතවෙයි. එය සැතපුම් මිලියන 140 ක දීර්ග ගමනකි.

එහිදී අඟහරු යන ගගනගාමීන් විකිරණවලට නිරාවරණය වෙයි. නාසා ආයතනයේ අනුග්‍රහය මත විද්‍යාඥයන් මේ බව අනාවරණය කළේ මීයන් යොදා ගනිමින් කළ පරීක්ෂණවලදීය. අභ්‍යවකාශයේදී නිරාවරණය වන ආකාරයේ විකිරණ ප්‍රමාණයකට මෙම මීයන් ද ලක් කිරීමට විද්‍යාඥයෝ කටයුතු කළහ.

ඒ අනුව, ලේ විස වී, මෙම මීයන්ගේ සිරුරේ පිළිකා සෛල සීඝ්‍රයෙන් වර්ධනය වී තිබේ. ඒ සති දෙකක් ඇතුළතදීය. මීයන්ගේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ද දරුණු ලෙස හානි සිදුවී ඇති අතර ඔවුන්ගේ සිරුරු දුර්වල වී තිබේ. මේ බව අනාවරණය කළේ ‘වේක් ෆෙරස්ට්’ වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරීක්ෂකයන්ය.

අඟහරු ග්‍රහයාට යෑම පමණක් නොව, කෙසේ හෝ අඟහරු ගියාට පසු ගගනගාමීන් අඳින ඇඳුම මොකක්ද යන්නත් ප්‍රශ්නයක් වී ඇතැයි පැවැසෙයි. වර්තමානයේ ගගනගාමීන් පලඳින ගගනගාමී ඇඳුම් කට්ටල අඟහරු ලොවට යන්න ප්‍රමාණවත් නොවෙයි. සඳට ගිය නීල් ආම්ස්ට්‍රෝං සහ එඞ්වින් ඕල්ඞ්රීන් ඇඳපු ගගනගාමී ඇඳුම් කට්ටල අඟහරු ග්‍රහයාට ගැළපෙන්නේ ද නැත.

ප්‍රථම වරට අඟහරුගේ රතු පස මත පා තබා ඉතිහාසගත වන ගගනගාමීන් කිහිප දෙනා පලඳිනු ඇත්තේ ඇඳුම් නිර්මාණ ශිල්පිනියක වන දේවා නිව්මන් නිර්මාණය කළ ‘බයෝ සූට්’ ඇඳුම් කට්ටලය වැනි ඇඳුමක් යැයි නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති. 

ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS