අගමැති ටෘඩෝට සිඟිති ටෘඩෝ හමුවෙලා



ගැටුම්වලින් බේරී සංක්‍රමණිකයන් ලෙස කැනඩාවට පැමිණි සිරියානු සංක්‍රමණික යුවලක් ඔවුන්ගේ සිඟිති පුතු කැනඩා අගමැතිට ගෞරව කිරීමක් ලෙස ජස්ටින් ටෘඩෝ යනුවෙන් නම් කර ඇත.

ඉකුත් 15 වැනිදා, කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝට, එම බිළිඳු ජස්ටින් ටෘඩෝ හමුවීමට අවස්ථාවක් ලැබුණි.

කැනඩා අගමැති ටෘඩෝ ට සිඟිති ජස්ටින් ටෘඩෝ හමුවීමට ලැබුණේ කැනඩාවේ කැල්ගරි නුවර වාර්ෂිකව පැවැත්වෙන ගොපලු උත්සවයක් අතරතුරේය. ඇල්බර්ටාහි පිහිටි කැල්ගරි නුවර වාර්ෂිකව පැවැත්වෙන ගොපලු සංදර්ශනයට කැනඩා අගමැති ටෘඩෝ සහභාගී වූයේ ගොපල්ලකු (කවුබෝයි) ලෙසිනි.

බිළිඳු ටෘඩෝ කැනඩා අගමැතිට හඳුන්වා දීම සිදුවෙද්දී, බිළිඳා වඩා ගනිමින් සුරතල් කිරීමට පවා අගමැති ටෘඩෝ අමතක නොකළේය. ඉන්පසු අගමැතිවරයා බිළිඳාගේ මව සහ පියා සමඟ ඡායාරූප කීපයකට ද පෙනී සිටියේය.

ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්, මැදපෙරදිග රටවලින් පැමිණෙන සංක්‍රමණිකයන් බාර ගැනීම ප්‍රතික්ෂේප කරද්දී, කැනඩා අගමැතිවරයා එම සංක්‍රමණිකයන්ට අනුකම්පා කරමින්, ඔවුන්ට කැනඩාවට පැමිණීමට ඉඩ දී ඇත.

අගමැති ටෘඩෝ ගෙන ඇති මෙම තීරණයට කැනඩා වැසියන් එකා මෙන් කැමැත්ත පළ කර ඇතැයි ද පැවැසෙයි.

ගැටුම් මැද මුහම්මද් බිලාන් සහ අෆ්රා බිලාන් ඔවුන්ගේ වැඩිමල් දරු දෙදෙනා ද සමඟ සිරියාවේ ඩමැස්කස් අගනුවරින් පලා ගොස් ලෙබනනය හරහා කැනඩාව පැමිණියහ. ඒ වනවිට අෆ්රා බිලාන් ගැබිනියක වී සිටියාය.

බිලාන් පවුල කැනඩාවේ මොන්ත්‍රියාල් බලා ගුවන් මගින් පැමිණෙද්දී ඔවුන් පිළිගැනීමට කැනඩා අගමැති ටෘඩෝ පැමිණ සිටියේ නැත.  කෙසේ නමුත් ඊට පෙර කැනඩාවට පැමිණි සිරියානු සංක්‍රමණිකයන් පිළිගනු ලැබුවේ අගමැති ටෘඩෝ විසිනි.

එසේ වුව ද කැනඩාවට පැමිණීමට තමන්ට ඉඩ ලබා දීම වෙනුවෙන් කෘතඥවෙමින්, කැනඩාවේ උපන් තම සිඟිති පුතු ජස්ටින් ටෘඩෝ ඇඩම් බිලාන් යනුවෙන් නම් තැබීමට ෆ්රා බිලාන් සහ සැමියා මුහම්මද් බිලාන් කටයුතු කර තිබේ.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS