අකරතැබ්බට මුහුණ දුන් මහාචාර්යවරයා යළිත් කරළියට



බී.බී.සී. පුවත් සේවයට සජීවීව අදහස් දක්වමින් සිටිද්දී, කුඩා දරු දෙදෙනා කාමරේට කඩා වැදීමත් සමඟ දෙනෝදාහක් මැද අකරතැබ්බකට මුහුණ දුන් දකුණු කොරියාවේ සෝල් නුවර වෙසන ඇමෙරිකානු ජාතික මහාචාර්ය රොබට් කෙලී, මේ වනවිට අන්තර් ජාලයේ යූ ටියුබ් වීඩියෝ හරහා ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වී අවසන්ය.

මහාචාර්ය රොබට් කෙලී දකුණු කොරියාවේ පදිංචිකරුවෙකි. ඔහු විවාහ වී සිටින්නේ ද දකුණු කොරියානු තරුණියක සමඟය. ඇය කිම් ජංග් ඒ ය. මහාචාර්ය රොබට් කෙලී සෝල් නුවර පුසාන් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකි.

මීට දින කිහිපයකට පෙර දකුණු කොරියා ජනපතිට එරෙහිව එල්ල වූ දෝෂාභියෝගය සහ දකුණු කොරියාවේ දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් බී.බී.සී. පුවත් සේවය සෝල් නුවර සිටින මහාචාර්යවරයා වීඩියෝ ඇමැතුමක් මගින් සජීවීව සම්බන්ධ කර ගත්තේය.

බී.බී.සී. පුවත් නිවේදක බැරෑරුම් ප්‍රශ්න අසද්දී සහ මහාචාර්ය රොබට් කෙලී ඒවාට බැරෑරුම් ලෙස පිළිතුරු දෙද්දී, කාමරේ දොර විවර කරගෙන කෙලීගේ දියණියත් ඉන්පසු ‘වෝකරයක’ ආධාරයෙන් ඇවිදින කුඩා පුතාත් කාමරයට කඩා වදිති. 

‘ඔන්න ඔබේ දරුවෝ දෙන්නා ළඟට ඇවිල්ලා’ යැයි පුවත් නිවේදකයා පවසද්දී, කෙලීගේ බිරිය වහා කාමරයට දිවවිත්, මහත් ආයාසයක් යොදා දරු දෙදෙනා ඇදගෙන කාමරයෙන් රැගෙන යන්නේ දොර ද වසා දමමිනි. එය නැරැඹූ කාටත් සිනහ ගෙන දෙන සිදුවීමක් විය. යූ ටියුබ් හරහා ප්‍රසිද්ධ වුණු එම වීඩියෝ දසුන් පෙළ මිලියන 160 ක් නරඹා ඇතැයි ද වාර්තා වේ.

යළිත් වරක් පවුල පිටින්ම බී.බී.සී. පුවත් සේවය සමඟ එක් වෙමින් මහාචාර්යවරයාත්, බිරියත් එදා සිදුවුණු දේ ගැන සමාව ඉල්ලා සිටියහ. එම අවස්ථාවේදී දඟකාර තම දියණිය සහ සිඟිති පුතා වෙනුවෙන් කැප වී සිටින තම බිරිය අගයමින් මහාචාර්ය කෙලී කියා සිටියේ ඇයට සම්මානයක් දිය යුතුයි කියාය.

ලුසිත ජයමාන්න
ඬේලිමේල් ඇසුරිනි

 

 


RECOMMEND POSTS