සූ කීගේ ඉරණම



මියන්මාරයේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ නායිකාව වන අවුන් සාන් සූ කී යළිත් වරක් නිවාස අඩස්සියේ පසුවෙයි. ඒ, මියන්මාර හමුදාව, කුමන්ත්‍රණයක් මගින් රටේ බලය අත්පත් කර ගැනීමෙන් පසුවය. සූ කී පමණක් නොව, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ නායකයන්, මියන්මාර ජනාධිපතිවරයා, මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු 44 දෙනකු හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුණි.

මියන්මාරයට හමුදා පාලනය අලුත් දෙයක් නොවෙයි. මියන්මාර හමුදාව, කුමන්ත්‍රණය කරමින්, පළමු වරට, මියන්මාර ආණ්ඩුවක් පෙරළා බලය අත්පත් කර ගැනීම පළමුවෙන් සිදුවූයේ 1962 වසරේ දීය. තායිලන්තයේ පාකිස්තානයේ සහ අප්‍රිකා රටවල මෙන්ම මියන්මාරයේ අතිශය ප්‍රබල හමුදාව ද එරට දේශපාලනයේ විශාල භූමිකාවක් නිරූපණය කරයි. හමුදාව සෘජුව සිවිල් පාලනයට බලපෑම් එල්ල කරමින් පාලන බලය අත්පත් කර ගැනීමක් සිදු කරයි. ඒ අනුව, පසුගිය පෙබරවාරි පළමු වැනිදා හිරු උදාවත් සමඟ මියන්මාරයේ පැවැති ළදරු ප්‍රජාතන්ත්‍රවාදය හමුදාව විසින් අවසන් කර දමනු ලැබුණි. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල විරෝධය සහ සම්බාධක මැද 1962 වසරේ සිට වසර 50 ක් එක දිගට මියන්මාර හමුදාව එරට පාලනය කළේය. වසර 20 ක් තිස්සේ නිවාස අඩස්සියේ පසුවුණු මියන්මාරයේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ නායිකාව වන්නේ අවුන් සාන් සූ කීට නිදහස ලබා දීමට හමුදා පාලකයන් 2010 දී තීරණය කළ අතර 2011 දී හමුදා පාලනය අවසන් කරමින් සිවිල් පාලනයකට යොමුවන බව පැවැසීය. ඒ අනුව 2015 දී මහ මැතිවරණය පැවැත්වුණු අතර, සූ කී සහ ඇගේ පක්ෂයට හිමිවූයේ බහුතර බලයක් හිමිවිය. 2015 දී හමුදා පාලකයන්, ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දුන්නේ හමුදාවට වාසිදායක කොන්දේසි යටතේය. මියන්මාර හමුදාව එරට ව්‍යවස්ථාව සකසා ඇත්තේ, හමුදාවට බලය රඳවා ගැනීමට හැකිවන ලෙසටය.  පාර්ලිමේන්තු ආසනවලින් හතරෙන් එකක් සහ රටේ බලවත්ම අමාත්‍යාංශ පාලනය කිරීමේ හැකියාව හමුදාවට ව්‍යවස්ථාවෙන් ම ලබා ගෙන තිබුණි.

2015 සිට 2020 නොවැම්බර් තෙක් අවුන් සාන් සූ කී ප්‍රමුඛ ඇගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය පිහිටුවූ රජය රාජ්‍ය පාලන කටයුතු කරගෙන ගිය අතර, 2020 නොවැම්බර් 8 වැනිදා මියන්මාරයේ මහ මැතිවරණය පැවැත්විණි. සූ කී ප්‍රමුඛ ඇගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගය ඊට ඉදිරිපත් වුණු අතර, හමුදාවට පක්ෂව, හමුදාවේ සහාය ලබමින් විපක්ෂ දේශපාලන කණ්ඩායම් ද මැතිවරණයට ඉදිරිපත් විය. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබා ගනිමින්, ජනමත විමසුමක් පවත්වා, ව්‍යවස්ථා සංශෝධනයක් කරමින්, දේශපාලනයෙන් හමුදාව ඉවත් කිරීම සූ කී ප්‍රමුඛ ඇගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය ලීගයේ ප්‍රධාන අරමුණ විය. නොවැම්බර් 8 මහ මැතිවරණයෙන් සූ කී ප්‍රමුඛ ඇගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය ජයග්‍රහණය කළේ බහුතර බලයක් ද සමඟය. ඒ අනුව, පසුගිය පළමු වැනිදා පාර්ලිමේන්තුව පළමු වරට රැස්වීමට නියමිතව තිබුණි.

නොවැම්බර් 8 මහ මැතිවරණයේ ප්‍රතිඵලය විපක්ෂ දේශපාලන කණ්ඩායම් පිළිගත්තේ නැත. මැතිවරණය දූෂිත බවත්, හොර ඡන්ද දැමීමක් සිදුවුණු බවත් විපක්ෂ කණ්ඩායම් චෝදනා කරන්න පටන් ගත්තේය.  මිලියන 10 ක හොර ඡන්ද දැමීමක් සිදුවී ඇති බවට සූ කී ප්‍රමුඛ රජයට චෝදනා එල්ල විය. එම චෝදනා සම්බන්ධයෙන් හමුදාව මැදිහත් වීම ඒ අනුව සිදුවිය. ඒ සම්න්ධයෙන් සොයා බැලීමක් කරන්නැයි මියන්මාර හමුදාව මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටි නමුත්, ඊට යහපත් ප්‍රතිචාර නොලැබුණු බව පැවැසෙයි. ඒ අනුව, විපක්ෂ ක්‍රියාකාරීහු මියන්මාරයේ ප්‍රධාන නගර රැසක විරෝධතා රැලි පවත්වන්න විය. භික්ෂූන් වහන්සේලා පවා ඊට එක් වූහ. මැතිවරණය දූෂිත බවත්, ඒ සම්බන්ධයෙන් ඕනෑම ක්‍රියා මාර්ගයක් ගැනීමට තමන් පසුබට නොවන බවත් මියන්මාර හමුදාපති ජනරාල් මිංග් අවුන්ග් ලැයිංග් අවස්ථා කීපයකදී අනතුරු ඇඟවීම් කළේය. අවසානයේ, මියන්මාර පාර්ලිමේන්තුව පළමු වරට රැස්වීමට නියමිතව තිබියදී, ඊට පෙර හමුදාව වහා ක්‍රියාත්මක වී, මැතිවරණය දූෂිත යැයි චෝදනා කරමින් හමුදාව සූ කී ඇතුළු ඇගේ පක්ෂයේ නායකයන්, මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ සිවිල් ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය. හමුදාවට අයත් රූපවාහිනී නාළිකාව සහ පුවත්පත් හැර සෙසු මාධ්‍ය, අන්තර් ජාල සේවා, සමාජ මාධ්‍ය, පුවත්පත් ආදී සියල්ල අවහිර කරනු ලැබුණි.

මැතිවරණය දූෂිතක බවත් යළි වසරකින් මැතිවරණයක් පැවැත්වීමේ අරමුණින් රටේ පාලනය අත්පත් කර ගැනීම හැර වෙන විකල්පයක් නොතිබුණු බවත්, හමුදාවේ නිල ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශ කරමින් ජනාධිපති ධුරය බාරගත් හමුදාපති මියින්ත් ස්වේ පැවැසීය. මියන්මාර රාජ්‍ය නායකයා ලෙස සේනාධිනායක මින් අවුන්ග් ලැයිංග් පත් කෙරුණි. අමත්‍යාංශවලට හමුදා ප්‍රධානීන් පත් කෙරුණි. නොවැම්බර් මහ මැතිවරණයේ සිදුවුණු දූෂණ සම්බන්ධයෙන් විශේෂ විමර්ශන මණ්ඩලයක් පත් කර ඒ ගැන පුළුල් විමර්ශනයක් පවත්වන්නැයි අණ කෙරුණි. බටහිර දේශපාලන විශ්ලේෂකයන් බිය පළ කරන්නේ මියන්මාර හමුදාව වසරක කාලයක් ඇතුළත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය දැඩි ලෙස මර්දනයට ලක් කර ඇති බව හෝ අතීතයේ කළාක් මෙන් තහනමකට ලක් කිරීමට කටයුතු කරනු ඇති බවය.

මියන්මාර හමුදාව, බලයෙන් පහ කළ, අවුන් සාන් සූකීට එරෙහිව නඩු ගොනු කිරීමට මියන්මාර පොලිසිය පසුගිය 3 වැනිදා කටයුතු කළේය. නීතිවිරෝධී ලෙස සන්නිවේදන උපකරණ ආනයනය කළ බවට චෝදනා කරමින් මෙලෙස නඩු පැවැරීමට පියවර ගෙන ඇති අතර ඇය ලබන 15 වැනිදා දක්වා රැඳවුම්භාරයේ තබාගන්නා බව ද පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්විණි. මියන්මාරයේ අගනුවර නායිපායිඩේව් හි පිහිටි අවුන් සාන් සූකීගේ නිවසේ තිබී ‘වෝකී ටෝකී රේඩියෝ’ හමු වී ඇති බවත් ඒවා ආනයනය කර ඇත්තේ නීති විරෝධීව බවත් එරට පොලිසිය සඳහන් කළේය. ඒ අනුව ඊට අදාළ අධිකරණ නියෝග නිකුත් කරන්නැයි පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් වාර්තාවල දැක්විණි. නීති විරෝධී ලෙස ආනයනය කිරීමට අමතරව කිසිදු අවසරයක් නොමැතිව ‘වෝකී ටෝකී රේඩියෝ’ භාවිත කර ඇති බවට ද පොලිසිය චෝදනා ගොනු කර ඇතැයි විදෙස් වාර්තාවල වැඩි දුරටත් සඳහන් විය.

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවුණු එරට ප්‍රජාතන්ත්‍රවාදී සංකේතය ලෙස සැලකෙන්නේ අවුන් සාන් සූ කී ය. සූ කී සම්බන්ධයෙන් විවිධ විවේචන පවතී. ඇය දැඩි බටහිර ගැති තැනැත්තියක බවට මතවාද පවතී. කෙසේ නමුත්, අවුන් සාන් සූ කී යනු මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව මතුවුණු ගිනි පුපුරය. මියන්මාරයේ දේශපාලනය වෙනුවෙන් ඇය කළ කැප කිරීම් අතිමහත්ය. මියන්මාරය දශක පහකට වැඩි කාලයක් හමුදා පාලනයේ පැවැති අවස්ථාවේදී, එයින් දශක දෙකක් සූ කී නිවාස අඩස්සියේ පසුවූවාය. ඒ, 1989 වසරේ සිට 2010 තෙක් කාලයේය. අවුන් සාන් සූ කී දීර්ඝ කාලීන දේශපාලන සිරකාරියක වූවාය. හමුදා පාලනයට එරෙහි කළ අරගලය වෙනුවෙන්, 1991 දී සූ කී ඇගැයීමට ලක් වූයේ නොබෙල් සාම ත්‍යාගය පවා පිරිනැමීමෙනි. 2010 දී මියන්මාර හමුදා පාලකයෝ සූ කී නිදහස් කිරීමට තීරණය කළහ. එමෙන්ම, මහ මැතිවරණයක් පැවැත්වීමටත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයකට යෑමටත් තීරණය කළහ. 2015 මියන්මාර මහ මැතිවරණය පැවැත් වූයේ ඒ අනුවය. සූ කී සහ ඇගේ ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය’ බලයට ආවේ එම මැතිවරණයෙනි. මියන්මාර හමුදාව විසින් සකස් කර ඇති එරට ව්‍යවස්ථාවට අනුව, විදේශිකයකු සමඟ විවාහ වන තැනැත්තකුට රටේ ජනපති ධුරයට පත් විය නොහැකිය. හමුදාව මෙම කොන්දේසිය ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇත්තේ සූ කී වෙනුවෙන්මය. සූ කී විවාහ වී සිටියේ කියුබාවේ උපත ලැබූ බ්‍රිතාන්‍ය ජාතික මයිකල් ඒරිස් සමඟය. 1999 දී මයිකල් ඒරිස් මියගියේය. සූ කීට දරු දෙදෙනකු සිටින අතර ඔවුහු බ්‍රිතාන්‍යයේ ජීවත් වෙති. සූ කී ප්‍රමුඛ ඇගේ ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය’ 2015 වසරේ දී මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගත්තේය. එහෙත් සූ කී ට රටේ ජනාධිපති ධුරයට පත් විය නොහැකි වූ හෙයින් ඇය නිල නොවන නායිකාව බවට පත්විය. ඇගේ තනතුර වූයේ රාජ්‍ය උපදේශිකාව ය. රාජ්‍ය උපදේශිකාව ලෙස සූ කී ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කරද්දී, සූ කී වෙනුවට, ජනපති ධුරයට පත් කෙරුණේ ඇගේ හිතවතෙකි. ඔහු හිටින් කෝව්ය.

2015 සිට 2020 තෙක් කාලයේ අවුන් සාන් සූ කී සහ ඇගේ රජය අභියෝගවලට මුහුණ දුන්නේය. 2016 සිට 2017 දක්වා කාලයේ මියන්මාරය යළි ලෝකයේ අවධානයට ලක්විය. ඒ, රොහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් නිසාය. රොහින්ග්‍යා යනු මියන්මාරයේ රකීන් පළාතේ වෙසෙන මුස්ලිම් වැසියන්ය. මොවුහු රකීන් පළාත වෙනුවෙන් වෙනම පාලනයක් ඉල්ලති. මියන්මාර හමුදාව හෝ බහුතර බෞද්ධයන් හෝ ඊට කැමැත්ත පළ කරන්නේ නැත. රොහින්ග්‍යා මුස්ලිම්වරුන් චෝදනා කරන්න වූයේ මියන්මාර හමුදාවෙන් ඔවුන්ට කෙණෙහිලිකම් එල්ල වන බවය. රොහින්ග්‍යා වැසියන් ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත කල්ලිවල සහාය ලබන බවට හමුදාව චෝදනා කරයි. අවසානයේ, රොහින්ග්‍යා වැසියන් දහස් ගණනින් ගම්බිම් අතහැර බංග්ලාදේශයට පලා ගිය අතර, ඔවුහු බංග්ලාදේශ දේශසීමාවේ සරණාගත කඳවුරුවල අදත් ජීවත් වෙති. රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් මුල්කොට ගනිමින්, මියන්මාර රජයට බටහිර රටවලින් චෝදනා එල්ල විය. මානව අයිතිවාසිකම් වෙනුවෙන් සහ මානව නිදහස වෙනුවෙන් පෙනී සිටින තැනැත්තියක ලෙස බටහිර පිළිගැනීමකට ලක් වූ සූ කී ට මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ සිදු කළේ යැයි චෝදනා එල්ල වීමට පටන් ගත්තේය. ජාත්‍යන්තර නඩු විභාග පවා පැවැත්විණි.

මෙම අර්බුදයේ දී සූ කී මියන්මාරයේ ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටියාය. මියන්මාර රජය හෝ හමුදාව හෝ වරදක් නොකළ බව තරයේ කියා සිටියාය. ඇය මියන්මාරය වෙනුවෙන් ස්ථාවරව නැගී සිටිද්දී, මියන්මාර හමුදා පාලකයන්ගේ සහාය ද ඇයට හිමිවිය. ලබා දුන් නොබෙල් සාම ත්‍යාගය පවා ආපසු ගන්නා බවට නොබෙල් කමිටුව පවා තර්ජනය කරන්න වූයේ මෙම රොහින්ග්‍යා අර්බුදය මුල්කොට ගනිමිනි. ඇතැම් ජගත් සංවිධාන සූ කී ට දුන් නම්බුනාම සම්මාන අහෝසි කළේය. ජාතිකත්වය සහ මානම හිමිකම් යන ක්ෂේත්‍ර දෙක අතරේ, සූ කී සිරවුණු බව දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබේ.

75 හැවිරිදි සූ කී දැන් යළිත් වරක් මියන්මාරය තුළ සිරකාරියක වී සිටී. ඇගේ ඉරණම අවිනිශ්චිතය. ඉදිරියේ ඇය මියන්මාර දේශපාලනයේ පමණක් නොව ලෝක දේශපාලනයේ ද යළිත් වරක් කතාබහට ලක්වනු නොඅනුමානය.

මියන්මාර හමුදාවට බලය අත්පත් කර ගත් අවස්ථාවේදී ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඊට විරුද්ධ වන ලෙසය. අසල්වැසි කලාපීය රටවල් රැසක් සූ කී ට සහාය පළ කරමින්, හමුදාව යළි බලය අල්ලා ගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කළේය.

ජපානයේ, තායිලන්තයේ විරෝධතා රැළි පවා පැවැත්විණි. මහා බ්‍රිතාන්‍යය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සහ ඇමෙරිකාවත්, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාවත් මෙම හමුදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන්නට විය. මියන්මාරයේ හමුදා පාලකයන්ට එරෙහිව සම්බාධක පැනැවීමට පසුබට නොවන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ද අනතුරු ඇඟවීය.

රොයිටර් ඇසුරිනි


RECOMMEND POSTS

RELATED POSTS